පිත කෝප වුණොත් ලෙඩ ගොඩයි | සිළුමිණ

පිත කෝප වුණොත් ලෙඩ ගොඩයි

පුද්ගල සිරුරේ පිත ඇති වීම ජාන­මය බල­පෑ­ම­කින්ද සිදු විය හැක. මවු­පි­යන් ගේ ශරීර අධික උෂ්ණ ස්වභා­ව­ය­කින් යුතු නම් උප­දින දරු­වාගේ ශරී­ර­යද බොහෝ විට උෂ්ණා­ධික වේ.

අපට ප්‍රබෝ­ධ­වත් මන­ස­කින් සහ ශරී­ර­ය­කින් එදි­දෙනා කට­යුතු කර ගත හැකි නම් එය  මහත් අස්වැ­සි­ල්ලක්. නමුත් උෂ්ණා­ධික සිරු­රක් කියන්නේ ඒ ප්‍රබෝ­ධ­වත් බව නැති කර හිතට වද දෙන කාර­ණ­යක්. එසේ ළතැ­වෙ­න්නට සිදු­ව­න්නෙත් විටෙක අපේම වැරැදි චර්යා රටා නිසා විය හැකියි. ආයු­ර්වේද වෛද්‍ය ක්‍රමයේ බහු­ල­වම කතා­බ­හට ලක්වන මෙම කාර­ණ­යට විස­ඳුම් සොය­මින් නිරෝ­ගී­මත් ජීවි­ත­ය­කට මග පෙන්ව­න්න මේ කරුණු ඔබට වැද­ගත් වේවි.

ආයු­ර්වේ­ද­යට අනුව පුද්ගල සිරුරේ වාත,  පිත, සෙම යන්නෙහි සම­තු­ලි­ත­තාව නිරෝ­ගී­බ­ව­ටත්, අස­ම­තු­ලි­ත­තා­ව රෝග ඇති වීමේ හේතු කාරක බව­ටත් හඳුනා ගැනේ. මේ ත්‍රිදෝ­ෂයේ සංයු­තිය අනුව වාත, පිත, සෙම, වාත සෙම, පිත සෙම,  වාත පිත, වශ­යෙන් පුද්ගල කාණ්ඩ හත­කට වෙන් කෙරේ. ත්‍රිදෝ­ෂය අත­රින් සිරුරේ උෂ්ණ­ත්ව­යට හේතු වන්නේ පිත දෝෂය බැවින් එවැනි අයගේ සිරුරේ උෂ්ණා­ධික ලක්ෂණ පහළ වීමත්, උෂ්ණ රෝග හට­ගැ­නී­මත් බහු­ලව දකින්න ලැබේ.

පුද්ගල සිරුරේ පිත ඇති වීම ජාන­මය බල­පෑ­ම­කින්ද සිදු විය හැකිය. මවු­පි­යන් ගේ ශරීර අධික උෂ්ණ ස්වභා­ව­ය­කින් යුතු නම් උප­දින දරු­වාගේ ශරී­ර­යද බොහෝ විට උෂ්ණා­ධික වේ. එදි­නෙදා ආහාර රටාවට එකතු කර ගන්නා වියළි මාංශ, ⁣මිරිස් හා තෙල් අධික ආහාර සේම ක්ෂණික ආහාර පාන­ව­ලට හුරු වීම ද, දිවා නින්ද, නිදි වැරීම, මාන­සික පීඩන, ජලය පානය අඩු­කම, නිතර කේන්ති ගැනීම වැනි අවි­ධි­මත් චර්යා රටා ද ශරී­රයේ ඌෂ්ණාධික බව වැඩි කිරී­මට හේතු වෙයි.

එසේ ශරී­රයේ උෂ්ණා­ධික බව වැඩි වීම රත­ගාය, සමේ රෝග (කුෂ්ඨ), හිස­ර­දය, ගැස්ට්‍ර­යි­ටිස් , අක්ෂි රෝග, මළ­බ­ද්ධය, අර්ශස්, භග­න්දර, පරි­ක­ර්තිතා (ගුද මාර්ගයේ පැළීම්), පුරුෂ මද­ස­රු­භා­වය, පිළිකා, මාන­සික ආත­තිය, ගර්භා­ෂ­ගත රෝග, ආර්තව ගැටලු හා දරු ඵල ප්‍රමාද වීම් වැනි රෝග ගණ­නා­ව­කට හේතු වෙයි. ශරීර අභ්‍ය­න්ත­රය සේම හිර රූප­ය­ටද එය බල­පෑම් ඇති කරයි. හිස කෙස් පැසීම හා ගැලැවී යාම, හිස්හොරි, සම අව­පැ­හැය, වියළි බව, කුරුලෑ, සමේ රෝග (කුෂ්ඨ), තොල් අව­පැහැ වීම, පැළීම, නිතර දහ­ඩිය දැමීම වැනි දෑ වලින් රූපය පවා අව­ල­ස්සන විය හැකිය. පුද්ගල ශරී­ර­යක් උෂ්ණා­ධි­කද දැයි හඳු­නා­ගත හැකි ලක්ෂණ ලෙස මුඛ දුර්ග­න්ධය, ඇස් දැවිල්ල, සිරුරේ දැවිල්ල, අත් පා ඇඟිලි සම කැසීම, මුඛ දුර්ග­න්ධය, දහ­ඩිය දුගඳ, අත් පා පතුල්  හා තොල් පැළී­මට ලක්වීම, හා ඇතැම් ආහා­ර­ව­ලට ආසා­ත්මි­කතා පෙන්වීම වැනි ලක්ෂණ දක්නට ලැබේ.  

ආයු­ර්වේ­ද­යට අනුව සිරුරේ පිත සම­නය කිරීම සඳහා යොදන ඖෂ­ධ­ව­ලින්, ආහාර වල රස, ශීත ගුණය බහුල බැවින් ඇතැම් අයට සෙම වැඩි­වී­මට එය හේතු වේ. විශේ­ෂ­යෙන් සිරුරේ පිත සෙම දෝෂ ඇති අයට පිත සම­න­යේදි සෙම බහුල වීම සුල­බය. ඒත් වෛද්‍ය උප­දෙස් මත නිසි ප්‍රති­කාර ලබා­ගැ­නී­මෙන් සුවය ලබා ගත හැකිය. සෙම්ප්‍ර­ති­ශ්‍යාව, කැස්ස වැනි සෙම් රෝග සුව කිරී­මට හා  ප්‍රති­ශක්ති වර්ධ­න­යට ආයු­ර්වේ­දයේ නියම කෙරෙන ඖෂධ රැස­කින් පිත හා සෙම දෝෂ සම­න­යට හැකි­යාව ඇත. පාවට්ටා, කොත්ත­මල්ලි, කහ, කර­පිංචා ආදී ඖෂධ උෂ්ණ වීර්යය නිසා සෙම සම­නය කර ඒවායේ ඇති මධුර, තිත්ත, කෂාය රස­ව­ලින් පිත කෝප වීම වළ­කයි. බිං කොහොඹ වලද පිත සෙම සමන හැකි­යාව ඉහ­ළය.උෂ්ණා­ධික සිරුර ඇති අය පිත් වර්ධක ආහාර වලින් සම්පූ­ර්ණ­යෙන්ම වැළ­කීම අත්‍යා­වශ්‍ය නොවුණ ද උෂ්ණ, විදාහී, ආම්ලික ආහාර ගැනීම  නුසු­දු­සුය. ඒ ඇතැම් අයට එවැනි ආහාර නිසා ආසා­ත්මි­කතා ඇති විය හැකි නිසාය.

උෂ්ණා­ධික සිරු­රක් ඇති අය එදි­නෙදා ආහාර රටා­වට නෙල්ලි, රස­කිඳ, රණ­වරා, බෙලි මල්, ඉර­මුසු, පොකුරු වද මල්, කොමඩු, පිපිඤ්ඤා ආදිය ද හාත­වා­රිය, කොහිල, මුං ඇට, විලද, සව් කැඳ ආදිය ද උදෑ­ස­නට දිය­බත් මෙන්ම ගිතෙල් ආහා­ර­යට එකතු කර ගැනී­මෙන් උෂ්ණ බව සම­න­යට කිරී­මට ගුණ­යක් වේ. පත්පා­ඩ­ගම්, කොහොඹ, රස­කිඳ, සැවැ­න්දරා, සුදු හඳුන්, හාත­වා­රිය ආදිය අන්ත­ර්ගත පිත්ත ශාමක කෂාය වර්ග භාවිත කර­මින් ද කුපිත වූ පිත සිරු­රෙන් බැහැර කිරී­මට ශෝධන කර්ම අත­රින් විරේ­චන කර්මය ද වෛද්‍ය උප­දෙස් මත  සිදු කළ හැකිය. ශාමක කසාය හා රත කල්කය වැනි අනෙ­කුත් ඖෂධ වෛද්‍ය උප­දෙස් මත ලබා හැකියි.

ශරී­ර­යට බාහිර වශ­යෙන් සුදු හඳුන් එළ­කිරි සමඟ ගැල්වීම, සැවැ­න්දරා ඇල්දි­යෙන් අඹරා සමෙහි ආලේප කිරීම, රස­කිඳ කොළ /බෙලි කොළ ආදිය අඹරා අත් පා පැළුණු ස්ථාන වල ආලේ­පය, පිණ්ඩ, සර්ව විශාදි, සීතෝ­දක වැනි තෙල් සිරුරේ ගැල්වීම, දින­පතා ඇල් දිය හෝ ඖෂ­ධීය කොළ පොතු තැම්බූ වතු­රින් ස්නානය, පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, ත්‍රිඵලා, නීල්‍යාදි වැනි තෙල් හිසෙහි ආලේප කර සම්භා­හ­නය ⁣කිරීම සුදු­සුය. බාහිර හා අභ්‍ය­න්ත­ර­යෙන් ද සිරුරේ උෂ්ණා­ධික බව ස්වභා­වික ප්‍රති­කර්ම ඔස්සේ සම­නය කිරී­මෙන් දිගු­කල් නීරෝගී ⁣සුන්දර සිරු­ර­කට හිමි­කම්  කීමට හැකි වේ.

වෛද්‍ය උප­දෙස් රක්වාන ආයු­ර්වේද රෝහ­ලෙහි ආයු­ර්වේද වෛද්‍ය චේතිකා නාග­හ­වත්ත

Comments