සුභා­විත ගීතයේ සදා­කා­ලික තාරු­ණ්‍යය | සිළුමිණ

සුභා­විත ගීතයේ සදා­කා­ලික තාරු­ණ්‍යය

ප්‍ර‍වීණ ගී පද සාහි­ත්‍ය­වේ­දි­යෙකු, කවි­යෙකු, නව­ක­තා­ක­රු­වෙකු, පුව­ත්පත් කලා­වේ­දි­යෙකු වූ අජන්තා රණ­සිංහ යනු රූප­කා­යෙන් වැඩි­හිටි එහෙත් කෙළි­ලොල් පෙනු­ම­කින් යුක්ත වූ, අපූර්ව මිනි­සෙකි. ඔහු ගේ ඇඳුම් පැල­ඳුම් භාවි­තය, කොණ්ඩය පීරා තිබුණු ආකා­රය, කතා­බහ විලා­සය ඔහුට ම අනන්‍ය වූ සදා­කා­ලික තාරු­ණ්‍ය­කින් යුක්ත විණි. ඉතාම සක්‍රීය පුද්ග­ල­යෙකු වශ­යෙන් හැසි­රෙන ඔහු වැන්නෙකුගෙන් බලා­පො­රොත්තු විය හැකි ආකා­රයේ නිර්මාණ රාශි­යක් ආචාර්ය අජන්තා රණ­සිං­හ­යන් අතින් රචනා වී තිබීම එක් අත­කින් පුදු­ම­යක් නො වේ. ඔහු තුළ සදා­කා­ලික තාරු­ණ්‍ය­යක් සහිත නිර්මා­ණ­ක­රු­වෙක් ජීවත් වූයේ ය. ඒ නිසා ම මෙරට ගී පද සාහිත්‍ය රස­කා­මීන්ට මධුර ගීතා­ව­ලි­යක් රස විඳීමේ දුර්ලභ අව­ස්ථාව ද හිමි­විණි. සරල, යහ­පත් මිනි­සෙකු ලෙස ඔහු විසින් රචිත ගී පද රැස මෙරට සිංහල ගීත වංශයේ සුවි­ශේෂ කඩ­ඉ­මක් සල­කුණු කරන බව අවි­වා­දිත ය.

 පණ්ඩිත් අම­ර­දේ­ව­යන් ගේ සිට නූතන ගායන ශිල්පියා දක්වා වූ පර­ම්පරා ගණ­න­කට ගී පද රචනා කිරීමේ හසළ කුස­ල­තා­වක් ආචාර්ය අජන්තා රණ­සිං­හ­යන්ට තිබිණි. එය නොසි­ඳුණු ප්‍රති­භා­වකි.

 අද්‍ය­තන සිංහල ගීත වංශය දශක කිහි­ප­යක් තුළ ගොඩ­නැ­ඟුණු විශිෂ්ට සාහිත්‍ය ධාරා­වකි. 

50 දශ­ක­යෙන් පමණ පසු වඩා­ලාත් නූත­න­ක­ර­ණය වූ එය පරි­ණත සාහි­ත්‍ය­වේ­දීන් අතින් ක්‍රම­යෙන් පරි­ණා­ම­යට පත් වූ බව කිය හැකි ය. රාජ­කීය සහ ආග­මික මූල­යෙන් විදග්ධ මුහු­ණු­ව­ර­කට ලක්කර තිබුණු නිර්මා­ණා­ත්මක සිංහල භාෂාව සරල, බහු­ජ­න­ප්‍රිය නූතන භාෂා­වක් බවට පත්වූයේ සමාජ දේශ­පා­ල­නික ක්‍රියා­ව­ලි­ය­කට ද හසු­වෙ­මිනි. ඊට බලපෑ විවිධ සමාජ මූල­යන් තිබේ.

සිංහල ගීතය විෂ­ය­යෙහි මෙලෙස බලපා තිබෙන භාෂා­ත්මක සමාජ යථා­ර්ථය පිළි­බඳ මූලික අද­හ­සක් ආචාර්ය අජන්තා රණ­සිං­හ­යන් විසින් රචනා කෙරුණු ගී පද රචනා සමූ­හය ගැඹු­රින් විශ්ලේ­ෂ­ණය කරන විට අව­බෝධ කර­ගත හැකි ය. ඔහුගේ ගී පද රචනා විචිත්‍ර ය. විවිධ ය. අර්ථ­පූර්ණ ය. සරල ගීතය මෙන් ම සිනමා ගීතය ද ඔහුට අතැ­ඹු­ලකි.

 දෙන ලද හෝ සිතන ලද ප්‍රස්තු­ත­යක් ගී පද රච­න­යක් බවට පරි­ව­ර්ත­නය කර­ගැ­නීමේ සියුම් නිර්මා­ණා­ත්මක පරි­චය ඔහුට නොමඳ ව පැව­තිණි. ගැමි සහ නාග­රික පරි­ස­ර­යන්හි තුල­නා­ත්මක ව විසී­මෙන් ලද ජීවන අත්දැ­කීම් ද ඇතැම් විට ඊට පිටි­බල දෙන්නට ඇත. 

 පුරා­තන පෙර­දිග රාජ කුමා­රි­කා­වන් ගේ සංස්කෘ­තික සම්ප්‍ර­දා­යට අයත් ‘ස්වයං­ව­රය’ වැනි තේමා­වක් අළලා නූත­න­වාදී ගී පද පෙළක් රචනා කළ ආචාර්ය අජන්තා රණ­සිං­හයෝ ඔහුගේ භාෂා අධි­ප­ති­ත්වය පිළි­බඳව අපට කදිම නිද­ර්ශ­න­යක් සපයා තිබේ.

මංගල මල්දම පතා හිඳිමි මම

මට නොවෙද ළඳේ වත මන­කල්

උකුළු මුකුළු පෙම - මුකුළු පෙම ...

මංගල මල්දම පතා හිඳිමි මම

මට නො වෙද ළඳේ නෙත නිලු­පුල්

සලිත ලලිත පෙම - ලලිත පෙම ...

කිරි සාග­ර­යෙන් කිඳුරු ලියන් ආවා

මට පෙම් මුතු­ලැල් පල­ඳ­න­වයි කීවා

දුර නඳුු­න්වනේ දේව ළඳුන් ආවා

මට මල්සර ගේ දුන්න අරන් ආවා ...

කිඳුරු ලතා­විය

දිවිය කුමා­රිය

මට මොටද ළඳේ ඇත්නම්

ඔබ දේහ සුරූ­පය ...

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්

රන් පාවඩ මත කැන්දා ගෙන එන්නම්

රන් මිරි­වැඩි රන් කසීසළුත් දෙන්නම්

ගාන්ධා­ර­යෙන් විල­වුන් ගෙන එන්නම්

පොකුරු සිනා­වයි

දෑස ඉනා­වයි

ගත සුවඳ කොකුම් බිඟු­රොන්

හද ගීත ලතා­වයි ...

මෙලෙස සම්භාව්‍ය භාෂාවේ එන යෙදුම් වඩා­ලාත් සරල භාෂා ආකෘ­ති­යක් තුළ බහා, තරුණ කුමා­ර­ව­රුන්ගේ තේජස තත්ත්වා­ක­ර­යෙන් නිරූ­ප­ණය කරන ආචාර්ය අජන්තා රණ­සිංහ, සිංහල භාෂාවේ තිබෙන විභ­ව­තාව කදි­මට ප්‍රකට කරයි.

 මිල්ටන් මල්ල­වා­රච්චි ගාය­න­වේ­දි­යාට ‘මේ මැයි ගහ යට දව­සක් දා’ යනු­වෙන් තමන් ගේ අතිපෞද්ග­ලික අත්දැ­කී­මක් රචනා කරන්නේ ද, ඒ අජන්තා රණ­සිං­හ­යන් ම ය. 

‘කුරු­ම්බැට්ටි මැෂිමේ’ නමින් ළමා ගීත­යක පද­වැ­ලක්, කරු­ණා­රත්න අබේ­සේ­ක­ර­යන් ගේ ‘ළමා­පි­ටිය’ වැඩ­ස­ට­හ­නට සහ­භාගි වන සම­යේදී ම රචනා කළ යෞවන වියේ සිටි අජන්තා රණ­සිංහ පසු­කා­ලීන ව රන්කෙ­න්දෙන් බැඳ වික­සිත පෙම් පුංචි දව­ස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට මේ, සිරි­මහ බෝමැඩ, ආශා නිරාශා මැවූ, මල්ලි­ය­කම් රැඳි, මල් පොකුරු පොකුරු, ඉතින් ඊට පස්සේ, ආදර සැම­රුම්, සංගීත මඬලේ, කල්පනා ලොව මල්වනේ, මුව මුක්තා ලතා, දේදු­න්නෙන් එන සම­න­ලුනේ, වීදි කොණේ මාවත අද්දර, කිරි කවඩි සිනා, හන්තානේ කඳු­මුදුන සිසාරා, මල්ලිකා කියා රැව­ටිලා, පුංචි ගෙලට පෙති ගෝමර, සුවඳ දැනී දැනී, ඉඳු­නිල් ගඟු­ලැල් වැනි ජන­ප්‍රිය ගීත රැසක ගී පද රචනා කළේ ය. 

 තිල­ක­රත්න කුරු­වි­ට­බ­ණ්ඩාර, කරු­ණා­රත්න අම­ර­සිංහ වැනි ප්‍රාමා­ණි­ක­යන්ගේ එක පාසල් පන්ති සග­යෙකු වූ ආචාර්ය අජන්තා රණ­සිං­හයෝ 1971 වර්ෂ­යේදී ගී පද රචනා පොතක් ලියා පළ කර, ‘වික­සිත පෙම්’ නමින් තවත් කෘති­යක් 1975 වර්ෂ­යේදී රචනා කළ හ. 

වෘත්ති­යෙන් ලේක්හ­වුස් පුව­ත්පත් ආය­ත­නයේ සේවය කළ ඔහු 2016 පෙබ­ර­වාරි 27වැනිදා අභා­ව­ප්‍රාප්ත වූයේ ය.

Comments