මම ආවට ගියාට වියදම් කරන කෙනෙක් නෙමෙයි | සිළුමිණ

මම ආවට ගියාට වියදම් කරන කෙනෙක් නෙමෙයි

ඔහු චන්දිමාල් ජයසිංහ. පසුගිය කාලේ ඔහු වඩාත් ජනප්‍රිය වුණේ රාජකීය උපන්දිනයක් සැමැරු චන්දිමාල් ලෙසයි... ඉන් පසු මේ චන්දිමාල් ගැන බොහෝ දෙනා හොයන්න පටන් ගත්තා. ඔහු කරන කියන දේ සමාජජාලා ඔස්සේ පැතිරුණා. හැබැයි ඒ බොහෝ දෙනා ඔහු ආ ගමන් මග ගැන දැන සිටියේ නැහැ. මේ දිග හැරෙන්නේ රූපලාවණ්‍යවේදියෙක් ලෙස සාර්ථක වූ තවමත් 35වැනි වියේ පසුවන චන්දිමාල් ජයසිංහ නමු වූ ඒ තරුණායාගේ සාර්ථකත්වයේ ගමන් මඟ ගැනයි.

 

 

චන්දිමාල් ජයසිංහ, අද කවුරුත් හඳුනනවා?

ඔව්. CJ කිව්වමත් හඳුනනවා.

 

පුංචි කාලේ සිට හැදී වැඩෙන්නේ ?

පිටකෝට්ටේ, බැද්දගානේ.

 

අධ්‍යාපනයට කටයුතුවලට ඔබේ

තිබුණු උනන්දුව?

මම ඉගෙන ගත්තේ පිටකෝට්ටේ තෝමස් විදුහලේ. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. වැඩිදුර අධ්‍යාපන කටයුතු කළේ නැහැ. පාසල් කාලෙත් මගේ නැඹුරුව තිබුණේ කලාවට. ඒ නිසාම සාමාන්‍ය පෙළින් පස්සේ ඉබේම මේ පැත්තට යොමු වුණා.

 

පුංචි කාලේ ඔබ ගත කළේ කර්කෂ ජීවිතයක් බව අසා තිබෙනවා?

අපි සල්ලිකාර පවුලක් නෙවෙයි. මගේ මව්පියන් ගොඩක් දුක් විඳපු අය. තාත්තා පොඩි හෝටලයක් කළේ. අම්මා පාන්දර දෙකට නැගිටලා කෑම හදනවා. තාත්තා මුළු දවසෙම කඩේ හිටගෙන ඉන්නේ. අපේ පැත්තේ ඉස්සර හරියට ඇඟැලුම් කර්මාන්ත ශාලා තිබුණා. ඒ අයට අපේ ගෙදර කාමර බෝඩිංවලට දීලා අපි ගෙදර සාලේ නිදාගෙන තමයි ජීවත් වුණේ. මටයි අක්කටයි උගන්වන්න ඒ දෙන්නා නොවින්ද දුකක් නැහැ. ඔවුන් කරන්න පුළුවන් උපරිම යුතුකම් අප වෙනුවෙන් කළා.

 

ඒ කර්කෂ බව ඔබේ මේ ගමනට පන්නරයක් වෙන්න ඇති?

ඔව්. මගේ මව්පියන්ගෙන් හැමදාමත් මම ඉගෙන ගත්තේ අවංකව, දුක් මහන්සියෙන් හම්බ කරලා හරි විදිහට ජීවත් විය යුතුයි කියන ආදර්ශය. ඔවුන් නිසාම මට හිතුණා මම ජීවිතය කවදහරි දිනන්න ඕනේ කියලත්.

 

කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?

අහම්බෙන් තමයි රූපලාවණ්‍ය පැත්තට යොමු වුණේ. ඊට කලින් පරිගනක පාඨමාලා වැනි පාඨමාලා කිහිපයක්ම කළා. නමුත් ප්‍රයෝජනයක් වුණේ නැහැ. පස්සේ ගෙදරම මල් හදන්න මම පුරුදු වුණා. හැඩගැන්වීම් පිළිබඳ අත්හදා බැලීම් කළා. රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා හදාරන්න තරම් වත්කමක් මට තිබුණේ නැහැ. ඒ නිසා මගේ වෘත්තීය ජීවිතේ ගුරුවරු නැහැ. මේ කලාව මම ඉගෙන ගත්තේ අත්හදා බැලීමෙන්.

 

මුල්ම පඩිය මතකද?

මියුසික් වීඩියෝ එකක හැඩ ගැන්වීම් කරලා රුපියල් පන්සීයක් ලැබුණා. උදේ පාන්දර පහේ ඉඳලා හවස පහ වෙනකන්ම දහ පහළොස් දෙනෙක්ව මේකප් කරලයි ඒ මුදල මට ලැබුණේ.

 

රූපලාවණ්‍යවේදියෙක් ලෙස වෘත්තීමය පසුබිම ගොඩ නැඟෙන්නේ කෙහොමද?

එක්තරා රූපවාහිනි නාළිකාවකින් රියැලිටි වැඩසටහනකට හැඩගැන්වීමේ කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව මගේ අත හුරු කරගන්න, කල කරුවන් හඳුනා ගන්න, ප්‍රබල චරිත ඇසුරු කරන්න රුකුලක් වුණා. රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස ගොඩ නැඟෙන්නේ එයින්.

 

ඔබේ අතින් හැඩ ගැන්වුණු මුල්ම මනාලිය?

මම දන්න හඳුනන අය හැඩ ගන්නවා තිබුණට වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පියෙක් ලෙස මගේ හැරැවුම් ලක්ෂය වුණේ හිමාලිගේ මංගල දිනය. මුලින්ම කලාකාරිනියක් මනාලියක් ලෙස හැඩ කළේ හිමාලි සයුරංගිව. මාව කිසි කෙනෙක් නොදන්න කාලේ ඇය මට අවස්ථාව දුන්නා. ඒ අවස්ථාවෙන් පස්සේ අවුරුදු දෙක තුනක් ඇතුළත නොහිතපු විදිහට ජීවිතේ සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන් වුණා. නොසිතු දේවල් ලැබුණා. ඒ කාලේ නළුවෙක් නිළියක් අන්ඳනවා කියන්නේ හරි ලොකු දෙයක්. මට එවැනි අවස්ථා ගොඩක් ලැබුණා. එතැන් සිට දැනට කලාකාරිනියන් 33 දෙනෙක් මනාලියන් කරන්න මට හැකි වුණා.

 

ඔබ ඉතා කෙටි කාලෙකින් ජීවිත ඉලක්ක සපුරා ගත් කෙනෙක්?

මුල්ම සැලොන් එක වුණේ ගෙදර මගේ කාමරේ. මට හීන තිබුණා, කවදහරි ලොකු රූපලාවණ්‍යාගාරයක් දාන්න, වාහනයක් ගන්න, මගේ මව්පියන් සතුටින් තියන්න, ඒ නිසාම මම ඉතුරු කළා. මං කවදාවත් නාස්ති කළේ නෑ.

මම දුක, වේදනාව දන්න නිසා, මුදල්වල අගය දන්න නිසා කිසිම වැරදි දේකට මුදල් යොදවලා නැහැ. මගේ බැංකුව වුණේ මගේ අම්මා. මගේ කලමණාකරු වුණේ මගේ අක්කා. ඔවුන්ගේ ශක්තියෙන් මට ආරක්ෂා වෙන්න පුළුවන් වුණා. පස්සේ ගෙදර සැලොන් එකක් පොඩියට හැදුවා.

අක්කා බැන්ඳට පස්සේ ඒ ගෙදර යට තට්ටුවේ මගේ සැලොන් එක ආරම්භ කළා. දැන් අවුරුදු පහකට කළින් මගේම ලස්සන රූපලාවණ්‍යාගාරයක් හදන්න පුළුවන් වුණා. මම මුලින්ම ගත්තේ නිසාන් වර්ගයේ කාර් එකක්. අද මං ළඟ තියෙන්නේ ජීප් එකක්. මට ගොඩක් සතුටුයි. අද ජීවත් වෙන්න පහසු විදිහේ නිවෙසක් මට තියෙනවා.මගේ පවුලේ අයට අද බොහොම නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් මම හදලා තියෙනවා.

 

වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පියකු වුණාට වෘත්තීමය සුදුසුකම් සපුරා තිබෙනවාද?

පිටරට ඉගෙන ගත්තු මට වඩා සහතික තියෙන බොහෝ දෙනෙක් අද වෙඩින් එකක්වත් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. දක්ෂතාවට සහතික සම්මාන වැදගත් නැහැ. එය තම අවංකබවින් සතු කර ගත යුතු දෙයක්. තමන් කරන දේ හරියට කිරීමයි දක්ෂතාව. එම දක්ෂතාවට සේවාදයකයාගෙන් හොඳ පිළිගැනීමක් ලැබෙනවා නම් එයයි මට ලැබෙන හොඳම සහතිකය.

 

කොහොමද ඔබ මෙතරම් ජනප්‍රියත්වයට පත් වෙන්නෙ ?

මට නම් වෙලාවකට හිතන්නත් අමාරුයි. මම මගේ ජීවිතේ උත්සවයකට කියලා ගන්නේ මගේ උපන් දිනේ විතරයි. ඒ උත්සවයම තමයි මගේ ජනප්‍රියත්වයේ හැරැවුම් ලක්ෂය. එයින් තමයි බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ. මගේ උපන්දින උත්සවය ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම කතා බහට ලක් වෙන්න තරං මාතෘකාවක් වුණා. නොහිතපු දේවල් ලැබෙන්න ගත්ත.

 

ඇයි ජනප්‍රිය වෙන්න මෙතරම් කැමැති?

ජනප්‍රියත්වය ගැන මම වැඩිය හිතපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ ලැබුණු අවස්ථාව ගැන මම නිහතමානීව සතුටුයි.එය මගේ ගමනට ලොකු උදව්වක් වුණා. ලංකාවේ pagent කියන දේවල්වලට අවස්ථාවක් නොලැබුණු කාලෙක රෝසි සේනානායක මහත්මියගේ ආරාධනය මත ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක සංවිධායකවරයා වී අවුරුදු තිස් පහකට පස්සේ ලෝක විවාහක රූ රැජින ජයග්‍රහණය කරමින් ලෝකයේ පළවෙනිම තැනට අපේ රට පත් කරන්න හැකි වුණා. මං එදා ගොඩක් ඇඬුවා. මට ඒ තරගය කරද්දි විවේචනය කරපු හැම දෙනාටම මට හොඳ උත්තරයක් දෙන්න හැකි වුණා. කෙටි කාලයක් තුළ මම ලෝකෙම දිනලා පෙන්නුවා. ඉතින් මං ඒ දේ කරලා පෙන්නුවා.

 

ඔබේ ජීවිතයේ වැඩිපුරම ලැබිල තියෙන්නේ විවේචන කියලා මම කිව්වොත්?

ජීවිතයට හොඳ දේවල් විතරයි මම ගන්නෙ. අනිත් දේවල් මම ඈත් කරනවා. මට හිතවත් දහයක් ඉන්නවා නම් මට බනින දෙන්නෙක් ගැන හිතන්නේ නෑ. මාව විවේචනය කරන ඒ කිසිම දේකට මම සැලුනේ නැහැ.

 

ඇයි ඔබව මෙතරම් විවේචනය කරන්නෙ.?

මම ඒවට ප්‍රතිචාර නොදක්වන නිසා වෙන්න ඇති.මනුස්සයෙක් මොන හොඳක් කළත් විවේචනය කිරීම අපේ රටේ පුරුද්දක්. නමුත් තමන්ට විඳින්න බැරි, කරන්න බැරි දේවල් විවේචනය කිරීම නෙමෙයි කළ යුත්තේ. නමුත් මගේ ජීවිතය මම හදා ගත්තේ ඔය විවේචනවලින්. මං කවදත් ශක්තිමත්. විවේචන කරන කවුරුවත් මට උදව් කරලා නැහැ. මඩ ගහන කවුරුවත් අනුග්‍රහය දක්වන්න හිටියෙත් නෑ. මම දේශපාලනයෙන් කවදාවත් උදව් අරගෙන නැහැ. රෝසි සේනානායක මහත්මිය හඳුනනවා වුණත් ඒ හරහා හෝ මං ඇයගෙන් කිසිම දෙයක් ලබාගෙන නෑ. මගේ ආත්ම ශක්තියෙන් හැමදේම කරගත් කෙනෙක්.

 

 

ඉලක්ක සපුරා ගන්න දුවන මේ රේස් එක වෙහෙසකර නැද්ද?

වෙලාවකට හිතෙනවා දැන් ඇති,හරි අමාරුයි කියලා. දැන් wedding අවුරුද්දකටත් කලින් බුක් කරන නිසා නිවාඩු දවස් නැති තරම්. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම දවස වෙනුවෙන් මගේ පෟද්ගලික ජීවිතය කැප කරන්න වෙලා.

 

මේ ක්ෂේත්‍රයේ ඔබ ගැවසෙන්නේ සීමා සහිත පිරිසක් සමඟ?

ඕනම ක්ෂේත්‍රයක ලොකු තරගකාරීත්වයක් තියෙනවා. මම ඒ තරගකාරිත්වය එක්ක ගැටෙන්න යන්නේ නැහැ. කවදාවත් බාල දේවල් කරන්නෙත් නැහැ.

 

ඒ ජීවිතයට ඉඩක් වෙන් කළ යුතුයි නේද?

මම ඒ ගැන දැන් හිතනවා. මට තව අවුරුදු පහක් දහයක් වැඩ කරන්න පුළුවන් වෙයි. මං ගොඩනගාගත්තු මේ පසුබිම අවසානය දක්වා ගෙනියන්නයි බලාපොරොත්තුව. මේ වසරේ අලුත් ගෙයක් හදා ගෙන වැඩකටයුතුවලින් කාලය අඩු කරල අලුත් ව්‍යාපාරයකට යොමු වෙන්නයි බලාපොරොත්තුව. එතකොට මේ කාර්යබහුලත්වය ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි.

 

මේ ගෙවන ජීවිතය ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ?

අනිත්‍යය පිළිබඳ හොඳ වැටහීමක් ්ෂේත්‍රයේ ඉන්න නිසා මට අවබෝධ කරගන්න පුළුවන් වුණා. මල් පොකුරක් හැදුවත් හවස් වෙද්දි ඒ මල් පරවෙනවා. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මං දැකලා තියෙනවා. ඒ නිසා ජීවිතය ගැන මම හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්. මේ වෘත්තිය නිසයි ඒ අවබෝධය ප්‍රායෝගිකව මට ලැබුණේ.

 

ඇත්තටම චන්දිමාල් කියන්නෙ මොන වගේ පුද්ගලයෙක්ද ?

එක් එක්කෙනා මං ගැන විවිධ විදිහට අර්ථ දක්වනවා. නමුත් මම මගේ පාඩුවේ හම්බකරගෙන සමාජයට හෝ බරක් නොවී මට පුළුවන් දේ කරලා ජීවත් වෙන කෙනෙක්. හැමෝම හිතනවා මම ඉන්නේ ලොකු කණ්ඩායමක් එකක් කියල. මට මගේ අක්කා සහ අම්මා හැර ටීම් එකක් නෑ. නමුත් මම හැම දෙනා එක්කම හිතවත්. මහන්සිවෙලා හම්බකරපු කෙනෙක් නිසා වේදනාව දන්නවා. මං කවදාවත් සල්ලි නාස්ති කරන කෙනෙක් නෙවෙයි.

 

මනාලියන් හැඩ කරන ඔබට මනාලයෙක් වෙන්න හිතෙන්නේ නැද්ද?

විවාහය කියන්නේ ජීවිතයේ දුර්වලකමක් කර ගත යුතු දෙයක් නෙමෙයි. මම දැකලා තියෙනවා ආදරය හා විවාහය තුළ ජීවිත දියවෙලා යනවා. සමහර ජීවිත කඩාගෙන වැටෙනවා. මම කැමැති නෑ ඒ අභියෝගය බාර ගන්න. 

Comments