හන්තානේ කතා­වෙන් නොකියූ කතාව | සිළුමිණ

හන්තානේ කතා­වෙන් නොකියූ කතාව

මීට කලකට ඉහතදී හන්තානේ කතාව මෙතරම් ජනප්‍රිය වූයේ කවර කරුණක් නිසා දැයි කවරෙකු හෝ ඇසුවා නම් නම් බහුතරයකට දීමට තිබූ එකම පිළිතුර වූයේ විජය කුමාරතුංග නිසා යයි කීම පමණි. කෙසේ නමුත් විජය ඝාතනය කර මාස කිහිපයකට පසු සිනමා පුවත්පතක හන්තාන කතාව පිළිබඳ විචිත්‍රවත් ලිපියක් පළවී තිබිණි. ලිපිය අන්තර්ගතයේ විජයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කිහිපයක් සඳහන් වූවා මතකය. එමෙන්ම මාගේ මතකය නිවැරදි නම් පුවත්පතේ පිටු කිහිපයක් හැරෙන්නට අනෙකුත් පිටු බොහෝ ගණනක විජයගේ අතීත මතක අතුරා තිබිණි. මේ හේතුව නිසාම හා විජය ගේ මුල්ම රංගනය හන්තානේ චිත්‍රපටය තුළින් කරලියට පැමිණි හෙයින්ම හන්තානේ කතාව මටද වඩාත්ම වැදගත් වූයේ විජය නිසාය.

 

හන්තානේ කතාව චිත්‍රපටයට ප්‍රස්තුත වූ කාරණාව වූයේ තරුණ ජීවිතය තුළ පවතින ගැටලු සමූහයයි. විශ්වවිද්‍යාලය යනු විවිධ පන්ති නියෝජනය කරන වෙනස්ම වූ සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි භූමියකි. චිත්‍රපටයට අනුව ගමේ සිට සරසවියට පැමිණෙන අනුර (ටෝනි රණසිංහ) සරසවිය තුළ පවතින වෙනස්වීම් හරි හැටි හඳුනාගත නොහී ඊට අනුගත වීමේ හැකියාවකින් යුක්ත නොවීමේ හේතුවෙන් ඔහු ජීවත් වන නුහුරු සංස්කෘතිය තුළ, අලුත් සමාජය තුළ සිරවීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නෙක් විය. මෙහි සාරාංශගත චිත්‍රපට කතාවට අනුව ගමේ සිට සරසවියට පැමිණෙන අනුර සමග ඔහුට වඩා වෙනස්ම වූ චර්යා රටාවන් ගෙන් යුක්ත සුභද්‍රා (ස්වර්ණා) සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගනියි. සුභද්‍රා යනු සියල්ල සැහැල්ලුවෙන් සිතන පතන තරුණියකි.

එහෙත් අනුරට නියමාකාරයෙන් අලුත් සමාජයට හැඩ ගැසීමට නොහැකි වීමෙන් තමා හා එක්ව වසන සරසවි මිතුරන් ගේ මෙන්ම පෙම්වතිගේද විහිළුවට ලක් වන්නට සිදුවෙයි. සුභද්‍රා අනුර සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියද අනුරට වඩා සමාජයේ ක්‍රියාශීලි වූ බන්දු (විජය) සම්බන්ධයෙන් ද කැමැත්තක් පවතී.

එහෙත් චිත්‍රපටය පුරා දිවෙන කතාවට අනුව අවසානයේ දී ආධ්‍යාත්මික ලෙසින් පරාජයට පත් වන්නේ අනුරය. කෙසේ වෙතත් මෙකී සංස්කෘතිය තුල සිදුවන වෙනස්වීම් හා අනුගත වෙමින් ඒ හා තම ජීවන රටාව ගෙන යාම තරම් නුවණක් අනුරට තිබුණේ නැත.

සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කළ හන්තානේ කතාවේ චිත්‍රපටය තුළින් ඔහු සාකච්ඡාවට බඳුන් කිරීමට අදහස් කළේ එවකට තාරුණ්‍ය මුහුණ දෙන ගැටලු සිනමා මාධ්‍ය ඔස්සේ එළිදැක්වීමයි. ඒ සඳහා ඔහු උපයෝගී කරගත් යතුර වූයේ සරසවිය හා ප්‍රේමයයි. කෙනෙකුට මෙය හුදු ප්‍රේම කතාවක් ලෙසින් නොසිතා ත්‍රිකෝණාකාර ප්‍රේමයක් ලෙසින් දකින්නට වුවමනාවක් තිබුණද සැබැවින් ම නිර්මාණ වේදියාට අවශ්‍යව තිබුණේ විශ්ව විද්‍යාල ජීවිතය තුළ පවතින සියලුම ක්‍රියාකාරකම් සහ අංගෝපාංග සමගින් මේ සිනමාකරණය තුළින් සාකච්ඡාවට ලක් විය හැකි ලෙස සමාජයට ඉදිරිපත් කිරීමයි.

කෙසේ වෙතත් හැටේ දශකයේ දී සිනමාවට අවතීර්ණ වූ සුගතපාල සෙනරත් යාපා තරුණ තරුණියන් මුහුණ දුන් ගැටලු සාකච්ඡා කොට බඳුන් කිරීමට උත්සාහ ගත්තද ඉන් තවත් අතුරු කතාවකට පදනම වැටිණි. ඒ සිනමාවට මෙන්ම කලා ක්ෂේත්‍රයට ද නවක පිරිසකගේ ආගමනය සිදු වීමයි. එදා එසේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් කරළියට පැමිණි නවකයන් අතර විජය කුමාරතුංග ,දයා තෙන්නකෝන්, එඩ්මන්ඩ් ජයසිංහ, සමන්ත ලැනරෝල්, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ධර්මසිරි පතිරාජ, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, විජය ධර්ම ශ්‍රී ඒ අතරින් කිහිප දෙනෙකි.

එමෙන්ම විශ්වවිද්‍යාල ජීවිතය තුළ ආදරය බොහෝවිට යම් යම් තැන්වලදී ඉතා ලාභ දායක ය. පෙම්වතකු පෙම්වතියක සිටිය යුතු හෙයින්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනියි. සුභද්‍රාගේ ප්‍රේමය වන ප්‍රේමයන් අද දවසේ ද සරසවියෙන් සොයා ගැනීම සුලබ කරුණකි.එසේම අනුරලාද බන්දුලාද එදා පැවතුණ ක්‍රියාකාරකම් ද අඩු වැඩි වශයෙන් මෙකී උප සංස්කෘතිය තුළ තවමත් නිදන්ගතව තිබේ

එදා සුගතපාල සෙනරත් යාපා තරුණ අර්බුදය හන්තාන කතාවෙන් ඉදිරිපත් කිරීමට පෙලඹුණ ද ඔහු නොදැනුවත්වම හෝ ඉන් දශක 4කට පසුව සිටින අනුර බන්දු මෙන්ම සුභද්‍රා සම්බන්ධයෙන් නොදැනුවත්වම හෝ කතා කළ බවක් පෙනෙන්නට තිබේ. එදා ඔහු ඒ සම්බන්දයෙන් කවර ආකාරයකින් හෝ තැකීමක් නොකළා වන්නට පිළිවන. නමුත් හන්තානේ කතාව වර්තමානයේ පවතින යම් යම් රිද්මයන් වෙනස්කම්වලට ලක් කොට නරඹන්නකුට නම් එදා සිදු වූ බොහෝ දෑ වර්තමානයේ වුවද දක්නට ලැබෙන බව නොරහසකි.

 

සරා සොඳුරු මල් පැටලී

ලිහී නොයන ජීවිතයයි

නුරා දියර ගඟුල් හැළී

සිහිල සදන ජීවිතයයි

කැකුළු හිනා මුතු එළියේ

අඳුරු ලෙනේ දොර මතු වේ

සැලේ මහද සැලේ සැලේ...

 

වනේ මලක හද විමනේ

බඹරු වඩින ජීවිතයයි

පිපාසිත වු මරු කතරේ

පොකුරු වසින ජීවිතයයි

ගලා හැළෙන සිලිසිලියේ

අමා කඳක සුව ගෙන ඒ

නිවේ මහද නිවේ නිවේ..

 

කුණාටු මැද බොල් අහසේ

එබී බලන සඳ පළුවයි

පුරා හඳට ඉඩ සලසන

අනාගතය ඔබ පමණයි

සැලේ මහද සැලේ සැලේ..

 

 

 

Comments