හරි මාර්ගයක් නැති නිසාදෝ බොහෝ අය එන එන රැලිවලට හසු වෙනවා | සිළුමිණ

හරි මාර්ගයක් නැති නිසාදෝ බොහෝ අය එන එන රැලිවලට හසු වෙනවා

ඇය මෙන්ම ඇගේ හඬත් අපට හුරුපුරුදුයි. . ‘පුර හඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ‘, දෑස වසා සිටියා ඔබෙ රුව ඇයිදෝ මට පෙණුනේ, කෝම්පිට්ටු ඉදීයන්, මොර සූරන වැසි හිමිදිරියේ වැනි ජනප්‍රිය ගීත රැසක් ගැයූ ඇය නමින් මායා දමයන්ති නම් වෙයි. ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ ඇයගේ එක කුස උපන් සොහොයුරියයි. පසුගියදා සාර්ථකව පැවැත්වූ ‘මායා‘ උපහාර ගී ප්‍රසංගයෙන් අනුතුරුව ඇය හා කළ සංවාදය මෙසේ දිග හැරෙයි.

පසුගියදා පැවැත්වූ ඔබේ ‘මායා‘ ප්‍රසංගය ගැන මුලින්ම අපි කතා කරමුද?

මම දැනට සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා වසර 46 ක් පමණ වෙනවා. ගීත විශාල ප්‍රමාණයක් මේ කාල සීමාවට මා ගයා තිබෙනවා. ඉතින් මෙපමණ කලක් මා ගැයූ ගීතවලින් තෝරාගත් ගී එක්ක පසුගියදා එල්පින්ස්ටන් රඟහලේදී මායා නමින් ප්‍රසංගයක් පැවැත්වූවා. එහි විශේෂත්වය වන්නේ මා සමඟ එදින අමරසිරි පීරිස්, කසුන් කල්හාර, කීර්ති පැස්කුවල්,රෝහණ බෝගොඩ,නදීක ගුරුගේ,නුවන් ගුණවර්ධන,සංඛ දිනෙත් වගේම මගේ දියණිය කුෂාණි සඳරේකාත් යුග ගීත ගායනා කිරීමයි. එහිදී සිදුවුණු තවත් සිදුවීමක් තමයි එදින වේදිකාව මතදී මට කලා කීර්ති සම්මානය ලැබීම. මීට පෙර මා දේශමාන්‍ය, , කලා භූෂණ යන සම්මාන පවා ලැබුවා.ඉදිරියේදී විශ්ව කීර්ති සම්මානයත් ලැබීමට නියමිතයි.

නව ගී නිර්මාණ ඉදිරිපත් කිරීමක් ඔබ අතින් ළඟදී සිදුවුණේ නැහැ නේද?

අලුත් ගීත කිහිපයක්ම මා නිර්මාණය කළා පහුගිය කාලයේ. නමුත් බොහෝ නාළිකාවලින් අප වැනි අයගේ පැරණි ගීතමයි ප්‍රචාරය කරන්නේ. ඒ ගීතවලට ඇති විශාල ඉල්ලුමත් ඒකට හේතුවක් වෙන්න ඇති. අනික දැන් අපි ඉන්නේ තරුණ වයසේ නෙමෙයිනේ. නමුත් වෙනදා වගේම සින්දු කියන්න පුළුවන්.ඒත් දැන් ගීතයක් නිකුත් කරන විට එහි වීඩියෝවකුත් නිකුත් කරන තත්ත්වයක් ඇති වෙලා. අද ගීත ප්‍රචාරය වෙනවා වෙනුවට ප්‍රචාරය කරවාගන්නත් වෙලා. අද ඇහෙන බොහෝ ගීතත් හරිම ඒකාකාරී ඒවා . හැබැයි ඒවාට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙත්. ඒ වාගේ නිර්මාණ අපිට කරන්න බැහැනේ.කොහොම නමුත් ඉදිරියටත් අලුත් ගී කරන එක මා නතර කරන්නේ නැහැ.

එහෙම වන්නට හේතුව අද නව පරපුරේ හොඳ දක්ෂයින් නැති නිසාද?

ඉතා ඉහළ දක්ෂතා තියෙන නවකයින් අපිට ඉන්නවා.ඒ අයට බොහෝ අවස්ථා පවා අද තිබෙනවා. සංඛ දිනෙත්,නදිනී ප්‍රේමදාස,සුරේන්ද්‍ර, අයෝමි වගේ අය මගේ විනිශ්චයන් හා ගුරුහරුකම් මැද ඉදිරියට ආ අය. නමුත් හරි මාර්ගයක් නැතිකම නිසාදෝ බොහෝ අය එන එන රැලිවලට හසුවනවා. ඒකෙන් ඒ අයගේ දක්ෂතා යට යනවා. කාලය අනුව වෙනස් විය යුතු වුණත් බාල රැලි වලට හසුවිය යුතු නැහැ.

ඔබ ගායිකාවක් ලෙස ඉතා ජනප්‍රිය යුගය ගැන සිහිපත් කළොත්?

මගේ මුල්ම කාලයේ සංගීතය ඉගෙන ගත්තේ බී වික්ටර් පෙරේරාගෙන්. සංගීතවේදී ඩී.ඩී.ඩැනී, සරත් ද අල්විස්, චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් වගේ තවත් බොහෝ දෙනා මට අද ඉන්න තැනට එන්න උදව් කළා. ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි.මම ‘අරලිය මල්‘ චිත්‍රපටයට එච්.ආර් ජෝතිපාල එක්ක ගැයූ ඉද්දමල් කතාවේ ගීතය තමයි මගේ ප්‍රථම චිත්‍රපට ගීතය වුණෙත්. ඒ ගීතය ලියූ අජන්තා රණසිංහ, පුර හඳ ලෙස ගීතය ලියූ හේමසිරි හල්පිට, ජෝති අයියා වගේ අය අද අපි අතර නැති එක ගැන විශාල දුකක් තිබෙනවා. මම නිමල් ගුණසේකර සමඟ ගායනා කළ ‘නංගිලාට වාසි බෝ වගේ දැන්‘ ගීතයත් ඒ කාලේ හරිම ජනප්‍රිය වුණා. ඒ ගීතයටත් අපූරු කතාවක් තිබෙනවා.

ඒ අපූරු කතාවත් සිහිපත් කරමුද?

ඉස්සර වෙසක් කාලෙට තොරණ්වල සින්දු පටිගත කරලා තමයි දැම්මේ. අපි වෙසක් ගීත ගායනා කළා. ඒවා පටිගත කළේ නිමල් ගුණසේකර. එවිට ඔහු මට ගායනා කරලා පෙන්වනවා මෙහෙම ගායනා කරන්න කියලා. මම කිව්වා ඇයි නිමල් ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ, ගීතයක් කරන්න කියලා. ඉන්පසු මගේ උනන්දු කිරීම මත ඔහු ‘ආවාට තිබුණත්, ඉර නෑ වෙනස් වෙලා ‘කියන ගීත එක්ක, “නංගිලාට වාසි බෝ වගේ“ ගීතයත් පටිගත කළා. යුග ගීයක් නිසා මට ආරාධනා කළා එය ගායනා කරන්න. නිමල් ගුණසේකර කියන ගායකයා බිහිවුණේ මායා නිසා කියලා ඔහු අදටත් කියනවා. ඒ ගැන මට තිබෙන්නේ හරිම සතුටක්.

චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ඔබ වැඩිපුරම ගායනා කළේ ඔබේ සහෝදරිය වූ අනෝජා වීරසිංහගේ රංගනයටයි?

ඔව්. චිත්‍රපට පසුබිම් ගායිකාවතක ලෙස මට වැඩකරන්න ඇය මට හරියට උදව් කළා. නමුත් මා මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, ගීතා කුමාරසිංහ වැනි අයට වගේම නව පරපුරේ නිලන්ති ඩයස් වැනි අයටත් පසුබිම් ගීත ගායනා කරලා තිබෙනවා. කොයිතරම් පසුබිම් ගීත ගැයුවත් තවම අගය කිරීමක් නම් ලැබිලා නැහැ.

ඒ කාලේ වික්ටර් - මායා යුගයක් පවා බිහිවුණා?

අනේ ඔව්. 80 දශකයේ මටයි මගේ මහත්තයා වික්ටර්ටයි හරියට චිත්‍රපටවල ගීත ගයන්න ආරාධනා ලැබුණා. ජනප්‍රිය වගේම හොඳ ගී රාශියක් අපි ගායනා කළා. නමුත් ඒ කාලේ අපි කිසිම තෝරා බේරා ගැනීමක් ඇතිව ගීත ගායනා කළේ නැහැ. පසු කාලෙක අපි දෙන්නා එක්ව ‘වික්ටර් මායා‘ නමින් ප්‍රසංගයකුත් පැවැත්වූවා.

ඔබේ දියණිය කුෂානි සඳරේකාත් අද දක්ෂ ජනප්‍රිය කලාකාරියක් වෙලා?

ඔව්. ඒ ගැන මට හරිම සතුටුයි.එයා ගායනයට, නර්තයට, රංගනයට හරිම දක්ෂයි. මගේ ගීතත් එයා ගායනා කරනවා. නමුත් ඇයගේ හැකියාවෙන් රටට ප්‍රයෝජනයක් තව ගන්න තිබුණා කියා හැඟෙනවා. ඇගේ මහත්තයා එක්ක ඔවුන්ගේ දියණිය දේවින්දි කල්හාරා සමඟ බොහොම ප්‍රීතිමත් දිවියක් ඔවුන් ගත කරනවා. මගේ පොඩි දුව සචිනිත් කලාවට හරිම දක්ෂයි. දැන් ඇය ඉන්නේ කැනඩාවේ. ඒහේ ආරක්ෂක අංශයේ රැකියාව කරන නිසා ඇයට කලාවට ‍ෙයාමුවීමට ඉඩකඩ අඩුයි. ඇයටත් අශිනි කියලා දුවෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 10ක් වයස. මමත් ඉඩ ලැබුණු විට ඇය ගාවට යනවා. මිනිබිරියන් සමඟ ගෙවන මේ ජීවිතයෙන් හැමදේටම වඩා පුදුම සතුටක් ලබනවා.

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

 

Comments