අමරදේව සර්ගේ සිංදු කියන්න මට අවසර ලැබුණා | සිළුමිණ

අමරදේව සර්ගේ සිංදු කියන්න මට අවසර ලැබුණා

ගුවන්විදුලි සංස්ථාවේ ‘පිබිදෙන ගායක පරපුර‘ වැඩසටහන මෙන්ම ජාතික තරුණ සේවා සභාව මෙහෙයවූ ‘තුරුණු ශක්ති‘ වැඩ සටහනින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ ගායක ගායිකාවන් රැසක්ම බිහිවුණා. ඉන්පසු සිරස සුපර් ස්ටාර් තරගාවලියෙන් ඇරැඹුණු රියැලිටි වැඩසටහන් මාලාවෙන් පසු විවිධ රූපවාහිනී නාළිකා හරහා අපේ ගායන ක්ෂේත්‍රයට විවිධ තරු බිහිවුණා. සුනීර සුමංග කියන්නේ එසේ දෙරණ DREAM STAR තරගයෙන් බිහිවුණු සුපිරි තරුවක්. සුනීර වසර ගණනක් නිහඬව සිට යළිත් අලුත් නිර්මාණයකින් කේෂේත්‍රයට පිවසෙනවා. මේ ඒ පිළිබඳව සූනීර සමඟ කළ කතා බහකි.

 

සුනීර දැන් ගොඩක් කාර්ය බහුලයි නේද ?

ඇත්තටම ටිකක් කාර්ය බහුලයි. මොකද ගොඩක් තැන් වලින් ආරාධනා එනවා ගීත ගයන්න. ඒ වගේම විශාරද උපාධියත් හදාරමින් ඉන්නවා. ඒ නිසා විවේකය ටිකක් අඩුයි.

සමහරු කියන්නේ දෙරණ DREAM STAR වෙනන කලින් හිටපු සුනීර නෙවෙයි දැන් ඉන්නේ කියලා ?

ඇත්තටම ඒ දේ අහපු එක හොඳයි. DREAM STAR වුණාට පස්සේ ෆෝන් එක බිම තියන්න ඉඩක් නැතුව ගියා. අපේ රසිකයන් වගේම පිටරටවලට ගිහින් ඉන්න බොහෝ දෙනක් කතා කළා. පාරට බැස්සත් එහෙමයි. සමහර දවසට දවසට දෙතුන් තැන සින්දු කියන්න වෙනවා. එහෙම වුණාම එක තැනක කියල අනිත් තැනට යන්න ඕන නිසා ඉන්න අයත් එක්ක කතා කරන්නවත් වේලාවක් ලැබෙන්නේ නැහැ. ඒ වේලාවට මම අත වනාගෙන යනවා. සමහරු හිතන්නේ දැන් මට ලොකුකම ගහලා කියලා. අනේ වැරැදියට හිතන්න එපා. එහෙම යන්නේ අනිත් තැනට යන්න ප්‍රමාද වෙන නිසා. DREAM STAR වෙන්න කලින් හිටපු සුනීරමයි අදත් ඉන්නේ. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

තරගයට ඉදිරිපත් වෙද්දි මේ තරම් ජනප්‍රියත්වයක් වගේම කාර්ය බහුලත්වයක් ඇති වේවි කියල හිතුවද ?

මම ගියේ අද්දැකීම් ලබාගන්නත් එක්ක. ලක්ෂ දෙකකට වැඩිය තරගකරුවන් හිටියා. මුලදි නම් මම හිතුවේ නැහැ ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි කියලා. ඒත් මගේ ගායනයට ජජ් බෝඩ් එකෙන් පැසසුම් ලැබුණා. විශේෂයෙන්ම අමරදේව ශුරීන්ගේ ගීතවලට හොඳ ප්‍රසාදයක් තිබුණා. දෙස් විදෙස් ගොඩක් අය මාව අගය කළා. දිරිමත් කළා. ඒ නිසා ලොකු ධෛර්යයක් ඇති වුණා. හැබැයි මම තරගයට ඉදිරිපත් වුණ වේලාවේ ඉඳලා අපේ අම්මගෙ නම් ලොකු විශ්වාසයක් තිබුණා මම අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරාවි කියලා. අම්මගේ විශ්වාසය අවසානයේ ජයග්‍රහණය කළා.

අමරදේව මහත්මයගේ ගීත තෝරාගන්න හිතුවේ ඇයි ?

මම මුලින් ම කිව්වේ එඩ්වඩ් ජයකොඩි මහත්මයගේ සින්දුවක්. ඊට පස්සේ තමයි අමරදේව සර්ගේ ගීතයක් කිව්වේ. ඒ දවසේ ජජ් බෝඩ් එකේ තුන්දෙනාම නැගිටල මට අත්පොළසන් දුන්නා. ගොඩක් අය කිව්වා මගේ කටහඬ එතුමන්ගේ කටහඬට ගැළපෙනවා කියලා. අනික මම වගේ ආධුනිකයෙක් එවැනි සුභාවිත ගීත කියන එක ගැන ගොඩක් අය සතුටු වුණා. ඒ ගැන කියලා පිටරටවල ඉන්න අය පවා සුබ පැතුවා. මම එදා පොරොන්දු වුණා මට මොන ස්ථානය ලැබුණත් අර්ථවත්, සුභාවිත ගීත දිගටම කියනව කියලා.

අමරදේව මහත්මයගේ ගෙදරින් කතා කළාද ?

අමරදේව සර්ගේ නෝනා, පුතා මට ගෙදරට එන්න කියලා සුබ පැතුවා. මාව තව තවත් දිරිමත් කළා. ඒ වගේම සර්ගේ ගීත කියන්න අවසරය පවා දුන්නා. මම අසනීප වෙලා ඉද්දිත් සර්ගේ පුතා කතා කරලා ඒ අයගේ ඩොක්ටට පෙන්වලා බෙහෙත් අරන් දෙන්න පවා කතා කළා. ඇත්තටම සර්ගේ ගෙදර අය ඒ විදියට උදව් නොකරන්න මේ දුර එන්න තිබුණ ඉඩකඩ අඩුවෙන්න තිබුණා.

කවුද ඔබව මේ තරගයට යොමු කළේ ?

මගේ අම්මට තමයි ලොකුම ඕනකම තිබුණේ මාව මේ තරගයට යොමු කරන්න. ඒ අනුව මගේ ඥාති සහෝදරයෙක් තමයි අයදුම්පත දැම්මේ. මේ තරගයට ලක්ෂ ගණනක තරගකරුවන් ඇවිත් තිබුණා. ඇත්තටම මට ඕන වුණේ මේ තරගයෙන් අද්දැකීම් ලබාගන්නයි.

ඒ කියන්නේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැතිද ?

මට මුලදි එහෙම තිබුණේ නැහැ. එත් වට කිහිපයක් යනකොට මටත් ජයග්‍රහණය කරන්න ඕන කියන විශ්වාසය ගොඩනැඟුණා. හැබැයි අපේ අම්මාට නම් මම අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනව කිය විශ්වාසය මුල ඉඳලා තිබුණා. අවසානයේ අම්මාගේ බලාපොරොත්තු ඉටු වුණා.

මේ ගමන එද්දි මුහුණ දුන්න අත්දැකීම් එහෙමත් ඇති නේද ?

මම රාගම ඉඳලා තමයි මේ තරගයට ආවේ. එක දවසක් වැඩ ටික ඉවර වෙනකොට රෑ වුණා. කෝච්චියට ආවත් ඒ වේලාවේ කෝච්චි නැහැ. මම කොටුව ස්ටේෂන් එකේ නිදා ගෙන උදේ තමයි ආවේ. හැබැයි මම වටෙන් වටේ ජයග්‍රහණය කරල එනකොට ගමේ හැමෝම උදව් කළා. ජාති, ආගම් භේදයකින් තොරව උදව් කළා. සමහරු තමන්ට යන්න තිබුණ වාහනේ මට දුන්නා. ගමේ අය බැනර් දැම්මා. පෝස්ටර් ගැහුවා. ෆේස් බුක් කැම්පේන් කළා. ඔවුන්ට දෙන්න පුළුවන් හැම විදියටම උදව් කළා. පිටරට ඉන්න අපේ නැන්දලා, මාමලා ගොඩාක් උදව් කළා. අදටත් ඒ අය උදව් කරනවා.

ප්‍රසංගවලට ආරාධනා එනවද ?

ඇත්තටම ගොඩක් ආරාධනා එනවා. මම විශාරද උපාධියත් කරනවා. ගමේ කිසිම ප්‍රසංගයකින් සල්ලි ගන්නේ නැහැ. මොකද ඒ අය මට කරපු උදව් කවදාවත් අමතක කරන්න බැහැ.

සුනීර හැමදාම වෙන අයගේ ගීත විතරද කියන්නේ ?

ගොඩක් තැන්වලට ගියාම අමරදේව සර්ගේ සින්දු තමා ඉල්ලන්නේ. මම එතුමගේ ආරේ සින්දුවක් කළා ‘සන්තාන සුසුම්‘ කියල එය ලිව්වේ නුවන් ලියනගේ. සංගීතය කළේ තිළිණ රුහුණගේ. ඉදිරියේදී තවත් ගීත කිහිපයක් කරන්නයි ඉන්නේ. හැබැයි සුභාවිත ගීත තමයි මම කරන්නේ.

ඔබත් එක්ක තරග කරපු අනෙක් තරගකරුවන්ගෙන් ලැබුණු සහයෝගය ?

ඇත්තටම ඒ හැම කෙනෙක්ම දක්ෂයි. ඒ කියලා කවදාවත් තව කෙනකුට කැපිලි කෙටිලි දැම්මේ නැහැ. එකට ඉඳලා ඉවත් වෙනකොට පුදුම දුකක් තමයි තිබුණේ. අපි හැමෝම පුදුම සහයෝගයෙන් තමයි සියලු දෙයක්ම කරගත්තේ.

මේ තරම් දුර එන්න කවුද සහයෝගය ලබාදුන්නේ ?

මගේ අම්මා, තාත්තා, නංගි, ලහිරු අයියා, මම ඉගෙන ගත්ත කඳාන ඩී මැසනොද් විද්‍යාලයේ සියලුම දෙනා, අකිල සර්, රජීව් සර්, අසිත් අතපත්තු සර්, රුවන් විජේරත්න සර්, ෆ්ලෑෂ් බෑක් රෝස් අයියා, මගේ ගමේ සියලුම දෙනා, පිටරටවල ඉන්න නැන්දලා, මාමලා උදව් කළා. ඒ වගේම මතක් කරන්න ඕන සමිතා එරන්දතී මිස්, නදීක ගුරුගේ සර්, කීර්ති පැස්කුවල් සර්, දෙරණ සභාපති ලක්සිරි සර්, දෙරණ ඩ්‍රීම්ස්ටා නිෂ්පාදන කණ්ඩායමේ රාජිකා, කැළුම්, නේකල, තාරුකා, මාධව වගේම සංගීත කණ්ඩායමේ ලසන්ත සර් මෙහිදී ගෞරවයෙන් මතක් කරනවා.

Comments