මුහුණට මුහුණ | සිළුමිණ

මුහුණට මුහුණ

 ජගත් චමිල, උද්දික පේමරත්න නම ඇසු පමණින්ම අපට සිහිවන්නේ වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන මාධ්‍ය තුනයි. මොවුන් මේ ක්ෂේත්‍ර තුනටම එකලෙස හපන්කම් දක්වන කලා ශිල්පීන් දෙදෙනෙක්. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය කෙරෙන එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයෙන් මේ රංගන ශිල්පීන් දෙදෙනා ප්‍රේක්ෂකයා හමුවට එනවා. ඒ උප ගුප්ත (ජගත් චමිල) හා ජගදීස් (උද්දික ප්‍රේමරත්න) චරිතයන්ගෙන්. මෙවර මුහුණට මුහුණ විශේෂාංගයට එක්වෙමින් ඔවුන් මෙසේ අදහස් දැක්වුවා.

ජගත් හැමදාමත් අලුත්වන නළුවෙක්

 ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න

මෑත කාලයේ ක්ෂේත්‍රයට එක් වු රංගන ශිල්පීන් අතර හිඳිනා දක්ෂතමයන් පෙළගැස්වුවහොත් ඔහු එහි ඉදිරියෙන්ම සිටියි. ගායනයෙන් රංගනයට පිවිසි මේ රංගන ශිල්පියා රඟ නොපාන චිත්‍රපටයක් මෑත කාලයේ නිර්මාණයවනු නොමැති තරම්ය. ඒ ඔහුට ලැබෙන කවර චරිතයකට වුවද සාධාරණත්වය ඉටුකරන රංගන ශිල්පියෙක් වන නිසාවෙනි. පත්තිනි, ආලෝකෝ උදපාදි, කළු අරලිය, මහරජ ගැමුණු, සමනල සංධ්වනිය, ආදි චිත්‍රපට ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති මොහු උද්දික ප්‍රේමරත්නය.

 මොනවද මේ දවස්වල අළුත් තොරතුරු..?

එක ගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සිදු කරනවා. චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. සිංහල අවුරුද්ද පසු වු විට ඒවා‍යේ වැඩ පටන් ගන්නවා.

 කොහොමද..ආලෝකෝ උදපාදි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර..?

ප්‍රතිචාර හොඳයි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක පිරිස දවසෙන් දවස වැඩියි. මෙහි ප්‍රචාරණ වැඩ සඳහාත් අපි සහයෝගය ලබා දෙනවා.

 එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය..?

ජගදීස් නැමැති චරිතය මම නිරූපණය කරන්නේ. තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට ක්‍රියාකරන පුද්ගලයකුගේ චරිතයක්.

 එහි එන උප ගුප්ත (ජගත් චමිල) මොන වගේ ද..?

උප ගුප්ත චරිතයත් සමාජයේ මිනිසුන් අතර දක්නට ලැබෙන උපක්‍රම ශීලි පුද්ගලයකුගේ චරිතයක්.

 මොකද හිතෙන්නේ ජගත් චමිලගේ රංගනය ගැන..?

හැමදාමත් අලුත්වන රංගන ශිල්පියෙක්. ජාත්‍යන්තර ඇගයුමට ලක්වුවෙක් නිසා ඔහුගේ රංගනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සෑම ‍ක්ෂේත්‍රයක් ගැනම මනා දැනුමක් ඇතිව ඔහු රංගනයේ නියැළෙන නිසා මෙහි රඟන චරිතයත් ඉතා සාර්ථකයි.

 ඔබ වඩාත් ප්‍රියකරන චිත්‍රපටය හා ටෙලිනාට්‍ය..?

මම කැමැතියි බඹරු ඇවිත්, සාගරයක් මැද සහ 1960-70 දශකවල තිරගත වු චිත්‍රපටවලට.

 ප්‍රිය කරන නළු නිළියන් ගැනත් දැනගන්න කැම­ැතියි..?

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින කලාකරුවන් අතර සාරංග දිසාසේකරගේ රංගනය ප්‍රිය කරනවා. අපට සිටින විශිෂ්ට ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගනයට කැම­ැතියි.

 ‍මෙගා ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නේ..?

මෙගා ටෙලිනාට්‍ය සෑම වර්ගයකින්ම තිබිය යුතුයි. හැබැයි ඒවායේ ඉහළ රස වින්ඳනයක් තිබිය යුතුයි.එසේ නොමැතිව ප්‍රමිතියක් නැති මෙගා ටෙලිනාට්‍ය පෙන්වීම උචිත නෑ.

 ඔබ රංගනයේදි විශේෂ තෝරාගැනීම් කරනවාද..?

ලැබෙන චරිතයෙන් ප්‍රේක්ෂකයාට යමක් කරන්න පුළුවන්නම් එය බාර ගන්නවා. එහෙම නැතිව මේ චරිතය කරනවා කියා විශේෂයක් නෑ.

 ඉදි‍රියේදී කෙරෙන අලුත් නිර්මාණ මොනවාද..?

ලැබුණු නිර්මාණවල රූපගතකිරීම්වලට සහභාගි වනවා.

උද්දික එම චරිතය හොඳින් කරනවා

 ප්‍රවීණ රංගන ශිල්පී ජගත් චමිල

1989දී ගුරුගෙදර චිත්‍රපටයෙන් සිනමාවට පිවිස 2013 වසරේදී ලෝකයේ හොඳම නළුවා වු ශ්‍රි ලාංකිකයා වන්නට තරම් ඔහු වාසනාවන්ත විය.රඟපෑම තම ජීවිතය කරගෙන එමගින් ලබන ආත්ම තෘප්තිය තම අභිමානයකරගත් මොහු සැමීගේ කතාව, රෝද හතරෙ මනමාලයා, ගුරු ගෙදර, මාරුතය, අසනි වර්ෂා, මම නෙවෙයි මම, දු දරුවෝ, උරුම ලද්දෝ, පාරාදීසේ, වසන්තේ ඇවිත්, තනි තටුවෙන් පියාඹන්න, මේ මගේ සඳයි, ආදි වේදිකා, ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ලොවක් දිනු මේ කලාකරුවා ජගත් චමිලය.

 

 මේ දිනවල කාර්ය බහුලයි වගේ..?

ඔව්..මේ දිනවල ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා, යන මාධ්‍යයන් තුනේම එකලෙස කාර්යබහුල වෙලා. ළමා චිත්‍රපටයකවැඩ කළා. එක ගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. තවත් වේදිකා නාට්‍ය කිහිපයකින්ම රට වටේ යනවා.

 එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය කෙබඳුද..?

මෙහි උපගුප්තගේ චරිතය මා රඟ දක්වන්නේ. කාලයකට පසුව ලැබුණු හොඳ පිටපතක්. විශේෂයෙන් පිටපත රචනාකළ සෝමවීර සේනානායකට ස්තූතිවන්ත වනවා. මෙමගින් මිනිසුන් මුහුණ දෙන ජීවිතවල දුක්ඛිත තත්ත්වය අපුරුවට පෙන්නුම් කරනවා.

 එහි (ජගදීස්ගේ) චරිත මවන උද්දික ඔ‍බගේ මිතුරෙක්ද..?

ඔව් අපි හොඳ මිතුරන්

 ඔහුගේ(ජගදීස්) චරිතය ගැන මොකද හිතෙන්නේ..?

උපක්‍රමශීලිව තමන්ගේ අවශ්‍යතා පමණක්ම සපුරා ගැනීම උදෙසාවැඩ කරමින් ජීවත්වෙන්න වෙර දරන චරිතයක්. උද්දික එම චරිතය හොඳින් රඟ දක්වනවා.

 ඇයි ඔබ වේදිකාවට වඩාත් ඇළුම් කරන්නේ..?

රඟපෑම තමයි මගේ ජීවිතය. එමගින් ලැබෙන ආත්ම තෘප්තිය විශාලයි. වේදිකාවේ රඟපානවිට අපට නිතරම අළුත්වෙන්න පුළුවන්. හොඳ නළුවෙක් වෙන්න අවශ්‍ය සතතඅභ්‍යාස අඩුවක් නැතිව වේදිකාවෙන් ලැබෙනවා.

 එහෙත් ඔබ ජාත්‍යන්තර කීර්තියට පත්වුයේ සිනමා නළුවෙක් ලෙසින්..?

ඔව්.. ඒ වේදිකාවෙන් ලැබුණු පන්නරය හා අත්දැකීම් තමයි.

 එම සම්මානය ගැන මොකද හිතෙන්නේ..?

ඕනෑම පුද්ගලයකුට තමන් නිරතවන ක්ෂේත්‍රයේදි යම් ඇගයීමක් ලැබෙනවානම් මානසික සතුටක් දැනෙනවා. මටත් ඒ වගේ හැඟීමක් දැනෙනවා.

 ඔබ ප්‍රිය කරන ටෙලිනාට්‍ය චිත්‍රපට මොනවාද..?

අම්මෙකුගෙන් කොයි ළමයටද වැඩිපුර ආදරේ කියල ඇහුවම මොකද කියන්නේ..ඒ වගේ තමයි රංගන ශිල්පියෙක් ලෙස හැම නිර්මාණයක්ම එකයි.

 මොනවද..අනාගත බලාපොරොත්තු..?

හැමෝගෙම ජීවිතවල ඉලක්ක තිබෙනවා. එහෙත් මගේ ඉලක්කය භෞතිකත්වය මත පදනම්වෙලා නෑ. සෑම දේමවිනාශවෙන ලෝකයේ උඩුගං බලා පිහිනන්න හදන පුද්ගලයෙක් මම. මේ සියල්ල ජයගනිමින් බිරිඳත් දරු දෙදෙනාත් සමග නිදහසේ ජීවත්වීමයි මගේ බලාපොරොත්තුව.

Comments