සතියේ මියුසික් වීඩියෝව | සිළුමිණ

සතියේ මියුසික් වීඩියෝව

ඉතා දිගු කාලයකට පසු විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සිය ගීතයකට රූප රචනාවක් සිදු කොට තිබෙනවා. ‘පණනල සුළඟට’ යනුවෙන් නම්කොට ඇති එම ගීතයේ සංගීත නිර්මාණය ලක්ෂ්මන් හිල්මිගෙන්. හිල්මිගේ තනුවකට අනුව එඩ්වඩ් ගැයූ පළමු ගීතය වන්නේ මෙයයි. පණනල සුළඟට ගීතයේ ගී පද රචනය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙන්.‍ මේ දිනවල රූපවාහිනි නාළිකා සියල්‍ලන්හි පාහේ විකාශය වන මෙම ගීතය අන්තර්ජාලය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතිනවා. එඩ්වඩ්ගේ මෙම ගීයෙහි රූප රචනාවේ මෙතෙක් රූප රචනාවල නොදුටු නළු නිළියන් කිහිප දෙනෙකු දක්නට ලැබෙනවා. ඉන් පළමු වැන්නා වන්නේ මෙහි පද රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු. ඔහුගේ කලුඳුල් රංගනය ඇතුළත් වන්නෙ මෙම වීඩියෝවටයි. එමෙන් ම මලට නොඑන බඹරු මහගෙදර, දඩයම ආදී චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී එකල ඉමහත් ජනප්‍රියත්වයක් ලද ශිරාණි කෞශල්‍යාගේ මෙය පළමු රූප රචන රංගනය වනවා. පු‍රාණේ ගීතය ගයමින් සංගීත ලොවට පිවිසි රොහාන් ද සිල්වා එඩ්වඩ්ගේ ගීතයෙහි රංගනයේ යෙදීම විශේෂත්වයක්.

පණනල සුළඟට ගීතයෙහි සම්පූර්ණ පදමාලාව මෙසේ ය.

පණනල සුළඟට මුසුවන

අවසන් නිමේෂයේ

එකම වරක් ඔබ ඇවිදින් යනු මැන

හද තුළ රැඳි දුක් නිවා ප්‍රියේ

ආදරයේ රස සිහින සැබෑකර

හදවත් එක්කළ යොවුන් විය‍

රස තැන් අද නැත මා තනිවී ඇත

සැමරුන් පමණයි අතීතය

දෑස වසා බැඳි තිමිර මුදාහැර

සෙනෙහස පුද දුන් ප්‍රියා විය

ඔබ අද කොතැන ද මා තනිවී ඇත

කිම දෙතැනක අප දයාවිය

වීඩියෝවේ අධ්‍යක්ෂණය - ගිහාන් මෙවන්ත ලියනගේ

කැමරාකරණය - හේෂාන් එස්. බඩල්කුඹුර

සංස්කරණය - ශාන් අල්විස්

අංගරචනය - තාරක අධිකාරි

සහාය අධ්‍යක්ෂණය - තරිඳු නිර්මාලි

පිටපත - හර්ෂි ඩී. කරුණාරත්න

රංගනය - ශිරාණි කෞශල්‍යා, අනුදිනි ජයවර්ධන, ඇන්ටන් ජේ. රොහාන් ද සිල්වා, ඉබ්‍රහීම් රිෂාන් පවුසි, උදිත වෙදසිංහ, ජනිත් චිලංක රංදෙනිගල.

Comments