“..එන්න.. ඇවිත් චෙක් කරන්න..” | සිළුමිණ

“..එන්න.. ඇවිත් චෙක් කරන්න..”

තානායම් සම්භාෂණ ශාලාව තුළ තිබූ මේස පුටු සියල්ල ඉවත් වී එහි ඉදිරි කෙළවරෙහි අද දින ඉදිවී තිබෙන්නේ සැරසිලිවලින් හැඩ ගැන් වූ අලංකාර මනරම් වේදිකාවකි.

නගරයේ ප්‍රධානතම ළදරු පාසල් අතලොස්ස අතරින් එකක වාර්ෂික විවිධ ප්‍රසංගය ප්‍රථම වරට පැවැත්වෙන්නේ තානායම් භෝජනාගාරයේ බැවින් තානායම් කාර්ය මණ්ඩලයට මෙම අවස්ථාව තරමක් ආගන්තුකය.

තානායම්පල්ලා භෝජනාගාරයේ කඩිසරව ගමන් ගන්නේ උත්සවයේ සංවිධාන කටයුතු නැවත නැවතත් පරීක්ෂා කරමිනි. අසනීප වී කොළඹ නාරාහේන්පිට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනා තානායම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් සිංගප්පූරුවට රැගෙන යන්නේද අද රාත්‍රියේය.

එබැවින් සමාගමේ අනිකුත් තානායම්වල කළමනාකරුවන් සමඟ කටුනායකට යන ගමනට තානායම්පල්ලාද එකතු විය යුතුය.

".සර්.. සර්.. අර මොන්ටිසෝරි බබාලා එක්ක ආපු අම්මලාට අපේ පොන්ඩ් එක තියෙන මල්ගස් පැත්තට ගිහින් පොටෝ ගහන්න සර් අවසර දුන්නද?."

එළිමහන් ආලින්දයේ සිටි තානායම්පල්ලාගෙන් තානායමේ උද්‍යාන කම්කරු සුනිල් විමසන්නේ අහසින් කඩාපහත් වූවාක් බඳු අපභ්‍ර‍රංස පැනයකි.

තානායම් මල් උයන යෝධයාගේ මල්වත්ත බඳුව සිතා නඩත්තු කර රැකබලා ගන්නා තානායම් උද්‍යාන කම්කරු සුනිල් සිතා සිටින්නේ එහි පිපෙනා මල්වල වර්ණ සංයෝජනය පවා තමුන්ගේ සාත්තුවේ ප්‍රතිඵලයක් කියාය.

එබැවින් තම හාම්පුතා වුවද මල්ගස්වලට සමීප වනවාට සුනිල් කැමති නැත.

"..ඔව් සුනිල්, මම කීවා කමක් නෑ කියලා. ඒ අම්මලා පොඩි දරුවෝ එක්ක මල්ගස් ළඟ තියලා ෆොටෝ අරගෙන ෆේස්බුක් දැම්මම ඔයාටත් ගැම්මයි නේ සුනිල්.."

"ඒක හරි සර්.. ඒ වුණාට ඔය අම්මලා මල් අතු කඩනවා.. පැළ හදාගන්න මල් කඩා ගන්නවා... පොඩි මල් පැළ ගලවලා බෑග්වලට දාගන්නවා..ඒ නිසයි සර් මම නීතියක් දැම්මේ... වෙඩින්වලට එන මනමාල ජෝඩුවලට හැර.. ඒ පොන්ඩ් එක ළඟට පිට අයට යෑම තහනම්ය කියලා..."

"හරි සුනිල්.. ඒ වුණාට බලන්නකෝ.. සීයකටත් වැඩි ලස්සන තරුණ අම්මලා එක්ක බෝනික්කෝ වගේ හැඩ මොන්ටිසෝරි දරු පැටව් ටිකක් තානායම් මල් වත්තට බැස්සාම තියෙන ලස්සන.." තානායම්පල්ලා ඇසක් ඉඟිමැරුවේය. සුනිල් කරබාගෙනම තානායම් උද්‍යානය දෙසට නොපෙනී ගියේය.

තානායම්පල්ලා මෙම විවිධ ප්‍රසංගය සඳහා පැමි‍ණෙන පොඩි දරුවන් දෙස පමණක් නොව එම තරුණ දෙමාපියන් දෙසද බලා සිටින්නේ තමා පසුකළ තරුණ විය වර්තමානය සමඟ සසඳමින් විය යුතුය.

"..හලෝ බොස්.. කොහොමද?... මතකද අපිව..?.."

එක් අතකින් හුරතල් කෙලි පැටික්කියකගේ අතින් අල්ලාගත් තරුණ තාත්තා කෙනෙකු සිනා මුවින් විමසනනේ සිය සුරූපී බිරිඳ තමා වෙතට ළං කරගෙනය.

"..මතක නෑ වගෙයි?.."

බිරිය එසේ පවසමින් තව තවත් සිය සැමියා වෙතට ළං වන්නේ තමාද එම රහසෙහි කොටස්කාරියක බව කියාපාන්නට මෙනි.

"..ඇයි බොස් මතක නැද්ද?.. අපේ වෙඩින් එක ගත්තෙත් මෙහේ නේ.."

තරුණ යුවළගේ මුහුණුවල රැඳී ඇත්තේ ජයග්‍රාහී අතීත සැමරුමක මිහිරියාවය. තානායම්පල්ලා එම අතීත මනාලයාගේ අත දැඩිව අල්ලාගත්තේ ඔවුන් සිය යුගදිවි ගමන ඇරඹූ පළමු රාත්‍රිය ගතකළ තානායමේ පාලකයා වන තමා හට සිය කුලුඳුල් දරුවාගේ දස්කම් නැරඹීමට එම ළදරු පාසලේ විවිධ ප්‍රසංගයද එම තානායමේම පැවැත්වීමට හැකිවීමේ අහඹුවරය ගැන අතිශය ප්‍රීති වෙමිනි.

"..අපි ලබන වෙඩින් ඇනිවසරි එකටනම් ෂුවර් එකටම බබත් එක්කම තානායම පැත්තේ එන්නයි හිතාගෙන ඉන්නේ... දවසක් ගත කරලා යන්න.."

".අනේ තැන්කියූ.. අපි එදාටත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා.." "..මීළඟට තිබෙන්නේ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාවයි.. ඒ සඳහා අප මතු නම් කියැවෙන ආරාධිතයන්ට ඉතා ගෞරව පූර්වකව ආරාධනා කර සිටිනවා.."

"..පේනවා නේද මැනේජර් මහත්තයා.. මේ නිවේදකයට කට ඇරලා මහතා මහත්මිය කියන්න බැරි හැටි... අම්මපා පුදුම නිවේදකයො.."

යාබද අසුනේ සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රහසින් කෙඳිරුවේ තානායම්පල්ලා සමඟම ඔහුද පහන දැල්වීම සඳහා කඩිමුඩියේ අසුනින් නැඟී සිටිද්දීය.

එම කටයුත්ත නිමා වූ එසැණින් ආරාධිත පිරිස අතරින් මිදී නැවතත් තානායම්පල්ලා මුළුතැන්ගෙය වෙතට පියනගන්නේ තම රාජකාරියේ මර්මස්ථානය එය වන නිසාය.

"...සර්.. මාර කේස් එක.. අදත් වතුර මෝටරේට හුළං ඇදලා වගෙයි... පාරෙ ලයින් එකේ වතුර දවාලට උඩ ටැංකියට වදින්නෙ නෑනේ.. අපේ මෝටර් බාස්ගේ ෆෝන් නම්බර් එක දෙන්න සර්.. මම ටෙලිෆෝන් ඩයරියේ බැලුවා.. හමුවුණේ නෑ.." වේටර් ජයන්ත තෙපලන්නේ තවත් අවුලක පෙරනිමිත්තකි.

"..බලන්නකො බොස්.. අපිට ෆොටෝ ගන්න කිට්ටු වෙන්න විදියක් නෑනේ කොන්සට් බබාලාගේ අම්මලානේ එක පොදියට පොර කකා ෆෝන්වලින් වීඩියෝ කරන්නේ." විවිධ ප්‍රසංගයට පැමිණි කැමරාශිල්පියා පවසන්නේ වෙනත්ම අපභ්‍රංසයකි. "..මීළඟට තිබෙන්නේ ඉංග්‍රීසි ගීතයකට නැටුමක්.."

"..මීළඟට තිබෙන්නේ හින්දි ගීතයකට නැටුමක්.."

"මෙන්න සිංහල ගීතයකට නැටුමක්.."

තානායම්පල්ලාගේ මුහුණ කෙමෙන් අඳුරු වන්නේ රිදී තිරයේ වැඩිහිටි පෙම්වතුන් රඟපෑ ප්‍රේම ගීතවලට හය හතර නොදන්නා මොන්ටිසෝරි දරුවන් නැටවීම කෙතරම් අනුචිත දැයි සිතට වද දෙන නිසාය.

"..එස්කියුස්මී සර්.. පී.එච්. අයි. මහත්තුරු රෙස්ට් හවුස් එකේ කිචන් එක චෙක් කරන්න ඇවිල්ලා...."

වේටර් ජයන්ත පවසන්නේ කුතුහලයෙනි. මාස දෙක තුනකට වතාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණෙන්නේ තානායමේ ආහාරපාන සහ ඒවා ගබඩා කර ඇති ශීතකරණ ආදිය පරීක්ෂා කිරීමටය.

"..එන්න කියන්න.."

"..ට්‍රීක්.. ට්‍රීක්.."

එසැණින් හඬ තළන්නේ තානායම් පල්ලාගේ ජංගම දුරකතනයය.

"..වට්ස්ඇප් මැසේජ් එක දැක්කා නේද? අපේ ඩිරෙක්ටර් රට යන්න කලින් කැලණිය විහාරෙත් වැඳගෙන යන්න ඕනය කියනවලු...ඒ නිසා තව පැය බාගෙකින් අපි පිටත් වෙනවා... උඹ හරියටම තව පැය දෙකකින් අඹේපුස්ස හන්දියට ඇවිත් ඉඳපන්.."

තානායම්පල්ලාගේ හිතමිතුරු සගයා පවසන්නේ කලබලයෙනි. "..අපේ කම්පැනියෙ රෙස්ට් හවුස් මැනේජර්ලා සියලුම දෙනා ගමනට සහභාගි වෙනවා.. රෙස්ට් හවුස් එක බිසී ය කියලා නෑවිදින් ඉන්න නම් එපා... නාවොත් උඹ කැපෙයි.."

".. හරි.. හරි.. මචං.. තියපන්.."

"..අපි ඇවිත් තියෙන්නේ ගොඩක් බිසි දවසක වගෙයි.. ඒකට කමක් නැද්ද මැනේජර් මහත්තයා....?"

"..කිසිම ප්‍රශ්නයක් නෑ පී.එච්. අයි. මහත්තුරුත් එන්න.. ඇවිත් චෙක් කරන්න..“

මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ නිල ඇඳුම් උරහිස්වල පැලඳි රිදී පැහැති නිල ලාංඡන තානායම් භෝජනාගාරයේ විසිතුරු ආලෝක ධාරාවලින් දිලිසිණි.

Comments