භාවනාව මානසික අම්ලයක් වන අයුරු | සිළුමිණ

භාවනාව මානසික අම්ලයක් වන අයුරු

'මම' යන්න මෙහෙයුමෙන් ඉවත් කළ විට වේදනාව තවදුරටත් වේදනාත්මක නොවන බව අපි පසුගිය කලාපයෙන් ඉගෙන ගතිමු. සංවේදනයක් නැඟෙන විටම ඔබගේ අවධිමත්භාවය ද ඊට අනුරූපව ක්‍රියාකළ යුතුය. එය හසුකර ගැනීම මඳක් හෝ ප්‍රමාද වූ විට ඔබට එහි ආරම්භය මඟ හැරෙනු ඇත. එය සම්පූර්ණයෙන් ම ඔබට නොලැබෙයි. සංවේදනය ඉවත්ව ගිය පසුව ද ඒ මත රැඳී සිටින ඔබ කරන්නේ මතකයක් අල්ලා ගැනීමකි. පහවගිය සංවේදනයක මතකය සමඟ රැඳී සිටින ඔබට ඊළගට පැමිණෙන සංවේදනයේ ඇරඹුම මඟ හැරෙනු ඇත. එය ඉතා සියුම් වූ මෙහෙයුමකි. කිසිම ප්‍රමාදයකින් තොරව, දේවල් අහුලා ගනිමින් හා දේවල් අත්හැර දමමින් මේ මොහොත හරහා ගමනක යෙදීමට ඔබට සිදුවේ. එයට අවශ්‍ය ඉතා සැහැල්ලු ස්පර්ශ කිරීමකි. ඔබ සංවේදනය සමඟ, ඇතිකර ගන්නා සම්බන්ධතාවය අනාගතය හෝ අතීතයේ නොව මේ දැන් පවතින මොහොතේ විය යුතුයි. 

සංසිද්ධීන් මවා ගැනීමට ප්‍රයත්න දරන සිත, ඒ සඳහා ඥාණවන්ත ක්‍රම ගණනාවක් ගොඩනගා ගනියි. සිතට අවකාශය සලසා දුන් විට සෑම සංවේදනයක් ම සිතිවිලි මාලාවකට ආරම්භය සපයයි. උදාහරණයක් ලෙස ශබ්දයක් ඇසීම ගනිමු. ඔබ භාවනාවේ යෙදෙන අතරතුර අසල කාමරයේ සිටින කිසිවෙකු බඳුනක් බිම දැමුවායැයි සිතමු. එම ශබ්දය ඔබගේ කන වැකුණු සැණින් එම කාමරයේ පින්තූරයක් ඔබ දකියි. සමහරවිට කිසිවෙකු යම් දෙයක් බිම හෙළනවා පවා ඔබ දකිනු ඇත. මෙය ඔබට හුරුපුරුදු පරිසරයකදී සිදුවුණි නම් එය සිදුකළ පුද්ගලයා මෙන්ම බිම වැටුණු දීසිය පවා දකින ත්‍රිමාන මනෝමය චිත්‍රපටයක් ඔබ නරඹනු ඇත. මේ මුළු අනුක්‍රමයම ඔබගේ (විඥානයට) උඩුසිතට එය විසින්ම යොමු කරනු ලබයි. අන් සියල්ලම පසෙකට තල්ලු කර දමන එය යටි සිතේ සිට ඉතා පැහැදිලිව හා දීප්තිමත්ව උඩුසිත කරා පැමිණෙයි.

ශබ්දය ඇසීමේ සංවේදනය වන මුල් සංවේදනයට සිදුවූයේ කුමක් ද? කලබලයට හසුවූ එය මුළුමනින්ම නැති වී අමතක වී ගොස්ය. අපට යථාර්ථය මඟහැරුණි. අප දවල් සිහිනයකට ඇතුළු වී ඇත. තවත් නිදසුනක් සලකමු. ඔබ භාවනාවේ යෙදෙමින් සිටියදී එතරම් පැහැදිලි නැති හඬක් ඇසුණා යැයි සිතමු. ඉන්පසුව බොහෝ විට මෙවැනි දෙයක් සිදුවෙයි. "එය කුමක් ද? එය කළේ කවුද? එය පැමිණියේ කොහෙන් ද? එය අනතුරුදායක ද? "යනුවෙන් දිගින් දිගටම පිළිතුරු නැති ඔබගේ සිතිවිලි ප්‍රක්ෂේපණයක් සිදුවෙයි.

පරිකල්පනය ඉතා දක්ෂ ක්‍රියාවලියකි. ඔබගේ අත්දැකීම් තුළට ඇතුළුවන එය එහි පාලනය අල්ලා ගනියි. භාවනාවේදී ශබ්දයක් ඇසෙන විට පූර්ණ අවධානයම එම අත්දැකීමට පමණක් යොමු කරන්න. අපට එය මුළුමනින්ම මඟහැරෙන තරමට ම සිදුවන දෙය ඉතා සරලය. ශබ්ද තරංග එයටම ආවේණික වූ රටාවකින් අපගේ සවනේ වදියි. මොළය තුළ දී විදත් ආවේග බවට පත්වන මෙම තරංග, ශබ්ද රටාවක් ලෙස විඥානය මත පතිත වෙයි. එපමණකි. පින්තූර නැත. මනෝමය චිත්‍රපට නැත. සංකල්ප නැත. ප්‍රශ්න අසන අභ්‍යන්තර කථාවක් නැත. ශබ්දයක්ම පමණකි. යථාර්ථය සැරසිලිවලින් තොර සරල සුන්දරත්වයකින් යුක්තය. ශබ්දයක් ඇසෙන විට ඇසීමේ ක්‍රියාවලිය ගැන පමණක් සිහියෙන් සිටින්න. එයට අමතර සෑම දෙයක් ම එකතුකරන ලද කථාවකි. එය අතහරින්න. ඔබ අත්දකින සෑම සංවේදනයකට ම, සෑම හැඟීමකට හා සෑම අත්දැකීමකටම මෙය පොදු නීතියකි. ඔබගේ අත්දැකීම දෙස සමීපව බලන්න. මනෝ මන්දිර තට්ටුවලට යටින් ඇති නියම දෙය දෙස දකින්න. එහි සරල බව හා සුන්දරත්වය ඔබ මවිත කරනු ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ද අනවශ්‍ය දුරකට ගෙන යා හැකිය. වාඩි වී සිහිය එළඹවා ගත යුතු දේ නොසොයන්න. යම්කිසි දෙයක් පැමිණ ඔබගේ අවධානය ඉවතට අදින තෙක් හුස්ම වෙත සිත යොමු කරන්න. එලෙස සිදුවනු දැනුණු විට එය සමඟ සටන් නොකරන්න. අවධානයට ස්වාභාවිකවම බාධාව මත පතිත වන්නට ඉඩහැර එය පලවා හරින තුරු එසේ පවතින්නට ඉඩ සලසන්න. පසුව හුස්ම වෙතට පැමිණෙන්න. වෙනත් මනෝමය හෝ කායික සංසිද්ධීන් නොසොයන්න. ඒවාට ඔබ වෙත එන්නට ඉඩ හරින්න. ඇත්ත වශයෙන්ම ඔබ ඒවා වෙත පාවී යන අවස්ථා එළැඹෙනු ඇත. දීර්ඝ පුහුණුවකින් පසුව වුවද සිත බොහෝ වේලාවක් ඉබාගාතේ ගොස් ඇති බව හදිසියේම ඔබ තේරුම් ගනියි. එවන් දෙයින් අධෛර්යයට පත් නොවන්න. අවධානය බිඳී තිබූ කාලසීමාව වටහා ගෙන නැවත හුස්ම වෙත පැමිණෙන්න. එවන් අවස්ථාවක ඍණාත්මක ප්‍රතික්‍රියා දැක්වීම කිසිසේත් ම අවශ්‍ය නැත. ඔබගේ අවධානය බිඳී තිබූ බව වටහා ගැනීම ම ක්‍රියාකාරී සිහිය උපදවා ගැනීමකි. එය උසස් එළැඹි සිහියකින් ක්‍රියාකිරීමකි. සිහිය වර්ධනය වීම සිහියෙන් කරන කාර්යයන් තුළින් ම සිදුවෙයි. එය හරියට මාංශපේශීන් සඳහා කරන ව්‍යායාමයක් වැනියි. සෑම වාරයකදී ම සුළුවෙන් හෝ එය වැඩි දියුණු වේ. ඔබ එය තරමක් දුරට හෝ ශක්තිමත් කරයි. එම අවධිමත් බව දැනීම ම එළැඹි සිහිය වැඩි දියුණු වී ඇති බව කියා පාන්නකි. ඔබ ජයගෙන ඇති බව එහි තේරුමයි. පසුතැවීමකින් තොරව ආපසු හුස්ම වෙත පැමිණෙන්න. කෙසේ වෙතත්, පසුතැවීම ආරෝපිත සංවේදනයක් බැවින් එහි පැමිණීම නොවැළැක්විය හැකියි. එය තවත් පුරුද්දකි.

අධෛර්යයට පත්වීමක්, ඉච්ඡාභංගත්වයක් හෝ ස්වයං හෙළාදැකීමක් දැනුණු විට එය පූර්ණ අවධානයෙන් යුතුව දකින්න. එය තවත් බාධාවකි. අවධානය යොමුකළ විට එය ඉවත්ව යන අන්දම දැක, නැවත හුස්ම කරා පැමිණෙන්න.

මොහොතකට පෙර අප පිරික්සූ නීති සෑම මානසික ස්වභාවයක් සඳහාම පාවිච්චි කළ හැකි මෙන් ම පාවිච්චි කළ යුතුයි. මෙය අනුකම්පා විරහිත නියෝගයක් බව ඔබට සිතෙනු ඇත. ජීවිතයට ම බාරගන්නා දුෂ්කරම කාර්යය මෙය වෙයි. ඔබගේ අත්දැකීමේ සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට කැමැත්තක් හා සමහර අංශයන් සඳහා පාවිච්චි කිරීමට අකමැත්තක් ඔහු තුළ හටගනු ඇත. භාවනාව ද තරමක් දුරට මානසික අම්ලයක් වැනිය. එය තුළට දමන සෑම දෙයක්ම ටිකෙන් ටික විනාශවී යයි. මනුෂ්‍යයන් වන අපි අසාමාන්‍ය ගති පැවතුම් ඇති අය වෙමු. සමහර විෂ වර්ගයන්ගේ රසයට ඇලුම් කරන අපි ඒවා අප මරණයට පත්කරන අවස්ථාවේදී පවා අපි ඒවා නොකඩවා අනුභව කරමු. අප බන්ධන ඇතිකරගෙන තිබෙන සිතිවිලි ද විෂ මෙනි. සමහර සිතිවිලි මුලින් උදුරා විනාශ කර දැමීමට මහත් උනන්දුවක් දක්වන අපි තවත් සමහර සිතිවිලි ආරක්ෂා කර රැකබලා ගනිමු. එය මනුෂ්‍ය ස්වභාවයයි.

(මීළඟ කලාපයෙන් සිහියේ ලක්ෂණ හඳුනා ගනිමු)

Comments