ජනාධිපති සිනමා සම්මාන රාත්‍රියට පෙරවදනක් | සිළුමිණ

ජනාධිපති සිනමා සම්මාන රාත්‍රියට පෙරවදනක්

- 20 වැනි වරටත් පවත්වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ 2023 නොවැම්බර් 14 වැනි අහරුවාදා ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ
- ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ සිනමා උලෙළ සංවිධාන කරන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවයි

යථාර්ථයන් ඉක්මවා ගිය කල්පනා ශක්තියක් තුළින් බිහි වන අපූර්වතම නිර්මාණයක් වන සිනමාපටයක් රටක සංස්කෘතික අනන්‍යතාව ලොවටම විදහා පාන්නට සමත් කලා නිර්මාණයකි. ඒ බව සනාථ වන්නේ පළමු සිංහල චිත්‍රපටය නිර්මාණය වී දශකයක් සපිරෙන්නට පෙර අපේ සිනමාව ගැන ලෝකයම දැනගැනීමෙනි. ඒ, ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව’ චිත්‍රපටය 1956දී කෑන්ස් සිනමා උළෙලට ඉදිරිපත් කිරීමත් සමඟය. එදාමෙදාතුර විවිධ උස්පහත්වීම්වලට ලක් වෙමින් පැමිණි වසර 76ක සිංහල සිනමා ඉතිහාසය තුළ ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ආරම්භය ද දශක දෙකක අතීතයකට හිමිකම් කියයි. 

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙහෙය වනු ලබන ජනාධිපති සිනමා සම්මාන උලෙළ මෙරට දේශීය සිනමා කර්මාන්තයෙහි විශාලතම කලා මංගල්‍යය ලෙස සැලකිය හැකි අතර, රාජ්‍ය අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන්ට සම්මාන සහ මුදලින් තිළිණ පිරිනමන එකම සම්මාන උලෙළ ලෙස ද සුවිශේෂී වේ. මෙවර සම්මාන උලෙළ ලබන නොවැම්බර් 14 වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ලහිලහියේ කටයුතු සූදානම් වෙමින් තිබෙන මොහොතක ඒ පිළිබඳ විමසීමට අප ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, නීතිඥ දීපාල් චන්ද්‍රරත්න හමු වීමු. ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වීමේ අරමුණු පිළිබඳ ඔහු මෙසේ පැහැදිලි කළේය.

" ප්‍රදර්ශනය සඳහා මුදා හරිනු ලබන චිත්‍රපට ඊට අදාළ වර්ෂ තුළදී ඇගැයීමකට ලක් කර එම සිනමා කෘතීන්ට විවිධ අංශ යටතේ දායක වූ රංගන හා කාර්මික ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතා ඇගැයීම සහ ප්‍රණාම දැක්වීම මෙම සම්මාන උලෙළේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව මේ වසරේ ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 20 වැනි වරටයි. අවසන් වරට මෙම සම්මාන උලෙළ පවත්වනු ලැබුවේ 2019 වසරේ. කොවිඩ් වසංගත සමය තුළ ඉකුත් වසර 3 තුළ සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුවත් ඉකුත් වසරේ මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස පත්වූ පසු ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනය සම්බන්ධයෙන් හරවත් සාකච්ඡා කිහිපයක්ම සිදු කළා. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිලිහී යමින් ඇති මෙම කාලයේ ජනතා ආකර්ෂණය දිනාගත හැකි නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඇමැතිවරයාගේ අදහසයි. ඒ වගේම සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද එතුමා ඉතා හොඳින් වටහා ගෙන සිටිනවා. ඒ අනුව ඇමැති බන්දුල ගුණවර්ධනයන්ගේ උපදේශකත්වය යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ මඟපෙන්වීම අනුව ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජනාධිපති සිනමා සම්මාන උලෙළ සංවිධාන කරනු ලබනවා."

ඒ අනුව මෙවර සම්මාන උලෙළේදී 2019 වසරේදී ප්‍රදර්ශනය කළ චිත්‍රපට 30ක් සහ 2020 වසරේදී තිරගත වූ චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් ඇගැයීමට පාත්‍ර වේ. ඒ ඇසුරෙන් අංශ 25ක් යටතේ ඇගැයීම් කර සම්මාන 25ක් පිරිනැමෙන අතර, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම ගීත රචක ආදී ප්‍රධාන අංශ 19ක් යටතේ සම්මාන 19ක් පිරිනැමේ. සෙසු සම්මාන 06 වෙන් වන්නේ උත්තම ප්‍රේක්ෂක ප්‍රතිචාර, විශේෂ ජූරි කුසලතා සම්මාන, කුසලතා සම්මාන, පුරෝගාමී සම්මාන, විශ්ව කීර්ති සම්මාන සහ ස්වර්ණ සිංහ සම්මානය වෙනුවෙනි.

පුරෝගාමී සම්මාන සහ ස්වර්ණ සිංහ සම්මාන කලාකරුවකුගේ ජීවිතය තුළ වරක් පමණක් පිදෙන සම්මාන වන අතර, එයින් ස්වර්ණ සිංහ සම්මානය පිරිනැමෙන්නේ වසරකට එකක් පමණි. පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් පිරිනමන සම්මානය එක් වසරකදී පුද්ගලයන් දෙදෙනකුට පිරිනැමේ. විශේෂ ජූරි කුසලතා සම්මානය සහ ජූරි කුසලතා සම්මාන ද්විත්වය ජූරියේ අභිමතය මත තීරණය වේ. විශ්ව කීර්ති සම්මානය පිරිනමනු ලබන්නේ සලකා බලනු ලබන වර්ෂයේදී පිළිගත් ජාත්‍යන්තර සම්මාන උලෙළේදී ඇගැයීමට ලක්වූ චිත්‍රපට වෙනුවෙනි.

ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ඉතිහාසය දෙස විමසීමේදී 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත මඟින් ලාංකේය සිනමා කරුවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් සිනමා උලෙළක් පැවැත්වීමට අවස්ථාව සලසා දී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී චන්දන රූපසිංහ පැවසීය. ඒ අනුව පළමු වරට ජනාධිපති සිනමා සම්මාන උලෙළ පවත්වා ඇත්තේ 1979 වසරේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. එකල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිත්වය දරා ඇත්තේ ඇන්ටන් වික්‍රමසිංහ ය. මෙවර ජනාධිපති සිනමා උලෙළ ඉතා අභිමානවත් සහ ආකර්ෂණීය ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ජාතික චිත්‍රපට සංස්ථාවේ කළමනාකාර සහකාරිනි කමනි සිල්වා පැවසුවේ මෙවර සම්මාන රාත්‍රිය ඉතා විවිත්‍රවත් අවස්ථාවක් වනු ඇති බවයි. නර්තන අංග සහ දැනට තිරගත වන දේශීය චිත්‍රපට ගීත ඇතුළත් ප්‍රාසංගික අංග 5ක් මෙවර සිනමා උලෙළට ඇතුළත් බව ද ඇය කීවාය. 

මේ වන විට විද්වතුන් පස්දෙනකුගෙන් සමන්විත ජූරි සභාව විසින් අදාළ සිනමා පට නරඹා ඒවා ඇගැයීමට ලක් කිරීම ඉකුත් අගෝස්තු 20 වැනිදා ආරම්භ කළ බවත් මේ වන විට එම කාර්යය සිදු වෙමින් පවතින බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න පැවසුවේය. මෙම සම්මාන උලෙළේ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් වන ගොඩකන්ද හර්බල්ස් පුද්ගලික සමාගම බවත් හෙතෙම සඳහන් කළේය. මෙය සිනමා කර්මාන්තයට ඉතා අභියෝගාත්මක කාලයක් වුවත් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගේ අවබෝධාත්මක මැදිහත්වීම හා සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය මත කෙටි කාලයක් තුළ අභියෝග ජයගනිමින් සිනමා ක්ෂේත්‍රය නඟාසිටුවීමට පියවර ගත හැකි බවට ද සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

ඒ අනුව තෙවසරකට පසු පැවැත්වෙන ජනාධිපති සිනමා සම්මාන උලෙළ යම් නිදාශීලි තත්ත්වයක පසුවන මෙරට සිනමා කර්මාන්තට නව පිබිදීමක් එක්කරන අනර්ඝ අවස්ථාවක් මෙන්ම සිනමා ශිල්පීන් රැසක් එකම තැනකට ඒකරාශී කරවන චමත්කාරජනක රාත්‍රියක් වනු නිසැකය.


ඡායාරූප- සුදත් නිශාන්ත

Comments