රතු බතික් සාරිය | සිළුමිණ

රතු බතික් සාරිය

තිනවීන විලාසිතාවේ ඇඳුම් පැලඳුම්වලින් සැරසුණු ආරාධිතයන් තානායම් පරිශ්‍රයේ සැහැල්ලුවෙන් ඔබමොබ සැරිසරන්නේ විවාහ උත්සවයේ දිවා ආහාරය අවසන් මොහොතට ළඟා වී ඇති නිසාය. එපමණක් නොව තවරාගෙන පැමිණි වත්සුනු ද අඩක් සේදී ඇඳුම් පැලඳුම්ද ලිහිල්ව ගොස් උත්සවය ආරම්භයේදී අමුත්තන් තුළින් ප්‍රකට වූ සීරියස් බව දැන් දැන් පහව ගොස් ඇති නිසාය.

උදෑසන දැක්වූ ප්‍රතාපවත් බව මේ වන තුරුත් රැඳී තිබෙන්නේ තානායම් ප්‍රධාන ගේට්ටුවේ සවිකළ දැවැන්ත ජාතික කොඩි යුගලයේ පමණය.

තානායම් සම්භාෂණ ශාලාවෙන් විහිදෙන ජෑස් සංගීත හඬ ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. සංගීත කණ්ඩායමේ ශිල්පීන්ට අමතරව විවාහ උත්සවයට පැමිණි අමුත්තන් අතර සිටිනා තරුණ තරුණියන්ද වේදිකාවේ නානාප්‍රකාර ගීත ගයනා නිසා සංගීත කණ්ඩායම තුළින්ද ආරම්භයේදී දැක්වූ වෘත්තීයභාවය කෙමෙන් ලිහිල් වෙමින් ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ ඇතැම් තරුණ මහත්වරුන් ප්‍රමාණය ඉක්මවා නර්තනයේ යෙදෙමින් විවිධ රැඟුම් දක්වන්නට ඉදිරිපත් වන නිසා මා එම සංගීත සාජ්ජය දෙසට පුරුද්දක් ලෙසම ඇවිද යන්නේ ඔවුන් සිටින්නේ එළිමහන් සංගීත සාජ්ජයක නොව තානායමක පැවැත්වෙන උත්සවයක බව සිහිකැඳවීමක් හැටියටය.

මෙබඳු තත්වයන් අනිසි ලෙස ඔඩුදුවා බීමත් අමුත්තන් අතින් ආයතනයේ බඩුමුට්ටුවලට හානි සිදුවූ විට තානායමේ කළමනාකරු ලෙස අනවශ්‍ය සංවාදවලට මැදිහත් වීමට වඩා තත්ත්වය කල්තබා පාලනය කිරීම මගේ පුරුද්දකි.

ආරාධිතයන්ගෙන් සියයට අනූවක තරමේ පිරිසක් සංගීතයට දෝලනය වන අයුරු රූගත කරන්නට උත්සවයේ කැමරා කණ්ඩායම ටෙලි නාට්‍යයකට මෙන් දැඩිව වෙහෙසෙන අයුරු පෙනුණි.

මීට කලකට ඉහතදී සාමාන්‍ය මිනිසුන් මඟුල් කෑවේ ඒ වෙනුවෙන් හුනු පිරියම් කළ තම තමන්ගේ නිවෙස්වලය. මඟුල් ගෙදර ආසන්නයේ උසින් වැඩුණු ගසක ගැට ගැසූ ලවුඩ්ස්පීකරයේ සංගීත රිද්මයට එදා පොඩි ඩාන්ස් පාරක් දැම්මේ මඟුල් ගෙදර පිලිකන්නේ රහසිගතව සංග්‍රහ කරනා රහමෙර පොද පමණ ඉක්මවා ගිය ගැටයන් කිහිප දෙනෙක් පමණි. කාන්තාවන් අහුමුලුවලට වී එම නර්තනය නැරඹුවා මිස පැත්ත පළාතට පය තැබුවේ නැත. අද ඒ තත්ත්වය සහමුලින්ම පරිවර්තනයට ලක් වී ඇත. වෙඩින් ප්ලෑනර් උපදේශක සේවාවලට නතුව මනාලියගේ ඇහි පිහාටුවේ සිට කාන්තා සර්ප්‍රයිස් ඩාන්ස් දක්වා සියල්ල සේවා සපයන්නන්ගේ ජීවනෝපාය බවට පරිවර්තනය වී තිබේ.

"අංකල්... වතුර පොඩ්ඩක් බිවුව හැකිද?.."

අංගසම්පූර්ණ සෆාරිසූට් එකකින් සැරසුණු වයස හතක අටක තරමේ පැහැපත් කොලු පැටියෙක් මා ඉදිරියේ හිටගෙන සිටියේය. මෙබඳු සංගීතමය අවස්ථාවලදී තානායම් වේටර්වරුන්ද සේවයෙන් බැහැරව අන්තර්දාන වන්නේ ඔවුන්ද සංගීත රසිකයන් නිසාය.

තානායම් සම්භාෂණ ශාලාවේ කොන්ක්‍රීට් කණුවලට මුවාවී සංගීත සාදයේ රස විඳිමින් සිටි වේටර්වරුන් පිරිසට පොඩි දරුවාගේ අවශ්‍යතාව දැනුම් දී ආපසු හැරුණු මා නැවතත් එම දරුවා සොයා සම්භාෂණ ශාලාවේ ඉදිරිපසට ගියෙමි.

"ඉතින් පුතා ඔයා තව කවුරු එක්කද වෙඩින් එකට ආවේ..?"

මා සුහදශීලිව විමසුවෙමි.

"අම්මත් එක්ක...".කොලු පැටියා උත්තර බඳින්නේද රංගනයේ යෙදෙනා මනාල යුවළ ඇතුළු පරිවාර අමුත්තන් සහිත මීමැහි පොදිය දෙස බලාගත් වනම ඕනෑවට එපාවටය.

" එතකොට තාත්තා..?"මම තවත් පැනයක් නිකමට මෙන් දරුවා ඉදිරියේ තබන්නේ ඔහුට වතුර වීදුරුව පැමිණෙන තුරුය.

"තාත්තා මැරුණා"

"අනේ සොරි පුතා.. මම එච්චර දෙයක් හිතුවේ නෑ."වතුර වීදුරුව ගෙනෙන තුරු කල් මැරීමට මා දරුවාගෙන් විමසා ඇත්තේ ඔහුට වේදනාවක් ගෙනෙනා පැනයක් නොවේද?

"තාත්තා අසනීපෙන්ද හිටියෙ පුතේ..?"

විවාහ උත්සවයේ කන් බිහිරි කරවන ජෑස් සංගීතය අතරේ හිස බිමට නැඹුරු කරගෙන සිටිනා දරුවාගෙන් සමාව භජනය කරනා සුළු රිද්මයෙන් මා නැවත විමසුවෙමි.

"අපෝ නෑ අංකල්.. තාත්ති ජිම් එකට ගිහිල්ලා එන ගමන් හවස හතට මාවත් ක්ලාස් එකෙන් අරගෙන ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන ටවල් එකත් ඇඳගෙන හිටියේ"

අති සංකීරණ පරිගණක යුගයක වුවද පොඩි දරුවාගේ ඉදිරිපත් කිරීම කෙතරම් සවිස්තරද? එහෙත් දරුවා එය ඉදිරිපත් කරනා ආකාරයෙන් මා බලාපොරොත්තු වන්නේ ඔහුගේ පියා මියගිය ශෝකය වියෝගය නම් ඉන් අංශු මාත්‍රයක්වත් එහි නැත.

"ඉතින්.. මොනවා වෙලාද තාත්තා නැති වුණේ..?"

ම විසින්ම වගාකරගත් කුතුහලය විසින් මා ඉදිරියට තල්ලු කළත් දරුවා ‍උදාසීනව අලස ඉරියව් දැක්වූවා මිස මගේ වේගයට සමපාත වූයේ නැත.

"තාත්තිට වෙඩි වැදුණා.. එතකොට කළුවරයි.. ගේට්ටුව ඉස්සරහ මෝටර් බයික් එකක් නතර කරන සද්දෙ ඇහුණා. බෙල් කළා. රෝලර් ඩෝ එකේ පොඩි ගේට්ටුවෙන් තාත්ති එළියට ගියා. පට... පට.. ගාලා සද්දයක් ආවා.. තාත්ති අම්මෝ කියලා කෑ ගහනවා ඇහුණා....මගේ වතුර එක තව ලේට් වෙයිද අංකල්...?"

එම වෙඩිපහර මට වැදුණාක් මෙන් හිරිවැටී ගිය හිසින් මා වටපිට බැලුවා මතකය. මගේ දෑස ඉදිරියේ ඈතින් නටනා මිනිස් රූපකාය සමූහය මට වැදුණු වෙඩි පහරත් සමඟ වේගයෙන් සෙලවෙනවා වගේ මට දැනුණි.

"ඉතින්.. ඒ වෙලාවෙ ගෙදර තව කවුද හිටියේ?"

"කවුරුවත් නෑ.. අම්මි එයාගෙ යාළු ආන්ටි කෙනෙක් එක්ක සැලොන් ගිහින් හිටියේ.."

"අයියෝ ඇයි ඉතින් තාත්තට එහෙම වුණේ පුතා."

"මං දන්නෙ කොහොමද?"පැවසෙන අරුත ඉඟිවන පරිද්දෙන් හිස ඇල කරමින් දරුවා අප්‍රසාදයෙන් මෙන් යටිතොල බිමට පෙරළුවේය.

"ඉතින් දැන් කෝ පුතා ඔයා එක්ක ආව අම්මා..?"වේටර් අමල් රැගෙන ආ වතුර වීදුරුව මගේ දෑතින්ම දරුවාට පිරිනමන අතරේම මා හෙමිහිට ඇසුවෙමි.

"අර ඉන්නේ..."

තමා රූපලාවණ්‍යාගාරයට ගොස් සිටිනා අතරේ ඛේදනීය අයුරින් තම සැමියා ඝාතනය වූ තරුණ බිරියකගේ වේදනාබර මුහුණ සොයා මා සම්භාෂණ ශාලාවේ ආසන පෙළ සිසාරා දෑස යොමු කළෙමි.

"වාඩිවෙලා නෙමෙයි, අර අර කපල් එක ගාවම කොණ්ඩෙ වවපු අංකල් කෙනෙක් ළඟම ඩාන්ස් කරන්නේ.."

එසැණින් මා සංගීත සාජ්ජය දෙස බැලුවෙමි.

"නිදි වරන තරු රෑන දෝ... ගගනෙ තරු පිරුණු සඳපාන දෝ..."

කිටි කිටියේ ඇඟට සිරවූ රතු බතික් පැල්ලම් සහිත සාරියක් කොණ්ඩය වවා ගෙඩියක් ගැසූ තරුණයකුගේ සුරතේ දැවටෙමින් නර්තනයේ යෙදෙමින් සිටියාය.

හුරතල් පුතුගේම මුහුණුවරින් යුතුව නාන තුවායක් ඉණ දවටා රතු ලේ ධාරාවක් මැද වැටී සිටි ඒ තාත්තාගේ රුව රතු පැල්ලම් සාරිය අතරින්ම මට මැවී පෙනෙන්නට විය.

Comments