පසුම්බියත් හිස් කරගෙන රෝගී නෙත් පාදන්නට වෙහෙසෙන රත්නපුරේ හිත හොඳ දොස්තර | සිළුමිණ

පසුම්බියත් හිස් කරගෙන රෝගී නෙත් පාදන්නට වෙහෙසෙන රත්නපුරේ හිත හොඳ දොස්තර

- ඇස්වල ආබාධ තියෙන දරුවන් දැන්ම පරීක්ෂා කරලා ප්‍රතිකාර නොකළොත් තව අවුරුදු කීපයකින් බිහි වෙන්නේ දෘශ්‍යාබාධිත පරම්පරාවක්
- සිවි කාච බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ වෙනුවෙන් වෛද්‍ය අයස්මන්ත මසකට පනස් දහසක් පමණ වැය කරයි
- සතියකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සියයක් 
- පොරොත්තු ලේඛනයේ සිටි රෝගීන් අටදහස, හාර දහස දක්වා පහළට

ම හිත සුව පිණිස රට හැර යන බොහෝ දෙනා අතර විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රැසක්ම සිටින බවත් ඒ හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවය වසර පහකින් පමණ ආපස්සට යෑමක් සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණ. එවැනි තත්ත්වයක් තුළ තමාගේ පෞද්ගලික මුදල් ද වියදම් කරමින් රෝගීන්ගේ හිතසුව පිණිසම කැපවූ ඉසිවරයකු බඳු වෛද්‍යවරයකු ගැන පුවතක් වාර්තා වන්නේ සබරගමු විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහලෙනි. සිය සේවය පිළිබඳ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලැබීමට ඔහුගේ කැමැත්තක් නොවුණද ජනතා බදු මුදලින් ඉගෙනගෙන ස්වාර්ථය පතා රට හැර යන වෛද්‍යවරුන් පිළිබඳ කතා අතරේ මෙවැනි වෛද්‍යවරුන් ගැන කතා කිරීමට මාධ්‍යයට වගකීමක් ඇත යන්න අපගේ විශ්වාසයයි. මේ අපූරු වෛද්‍යවරයා රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් ය. 

දවසේ වැඩි කාලයක් රෝගීන් වෙනුවෙන් කැප කරමින් දැඩි අවිවේකී ජීවිතයක් ගත කරන විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් රත්නපුර ශික්ෂණ රෝහලට පැමිණෙන්නේ 2020 වසරේදීය. ඊට පෙර ඔහු හම්බන්තොට මූලික රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළේය.

“මේ රෝහලේ වැඩ කරන්න ලැබීම මගෙ භාග්‍යයක් කියලා හිතනවා. මම මේ රෝහලට එනකොට කාච දැමීම, සුද ඉවත් කිරීම වැනි ඇස් සම්බන්ධ සැත්කම් කරගැනීමට රෝගීන් අටදහසක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටියා. මේ වෙද්දි ඒ සංඛ්‍යාව හාර දහස දක්වා පමණට අඩු කර තිබෙනවා. ඒක මගේ හැකියාව මත පමණක් සිදුවූ දෙයක් නෙවෙයි, රෝහල් අධ්‍යක්ෂ, අක්ෂි සායනයේ සෙසු වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා. ඒක මට විශාල ශක්තියක්.”

විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් පවසන්නේ කෘතවේදීවය. ඇස් සැත්කම් සඳහා භාවිත කරන කාචවල හිඟකම හේතුවෙන් ඇතැම් රෝහල්වල අක්ෂි සැත්කම් නතර වීමෙන් රෝගීන් අපහසුතාවට පත්වන බව වාර්තා වුව ද රත්නපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට පැමිණෙන රෝගීන්ගේ අවශ්‍යතා කෙසේ හෝ සපුරාලීමට විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් කටයුතු කරන්නේ එය සිය පරම යුතුකම සේ සලකමිනි.

“කාච නැහැ කියලා අපි රත්නපුර රෝහලේ අක්ෂි සැත්කම් නවත්තලා නැහැ. කෙසේ හෝ ඒ සේවය පවත්වාගෙන යනවා. සපයා ගත හැකි උපරිම කාච ප්‍රමාණයක් සොයා ගැනීමට මම උත්සාහ දරනවා. අපට කාච සපයන රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉලක්කයක් ලබා දී තිබෙනවා. ඒ අනුව වසරකට කාච බද්ධ කිරීම් 3,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් සිදු කළ යුතුයි. ඒ ඉලක්කය සපුරා ගැනීමට මමත් මගේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය දිවා රෑ නොතකා කටයුතු කරනවා. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සියයක් පමණ අපි සතියකට සිදු කරනවා. ඊට අමතරව ඇසේ වපර ගතිය ඉවත් කිරීම, ඇස් පිහාටු සැකසීම ප්ලාස්ටික් සැත්කම් ද සිදු කරනවා. මෙම සේවාවන් ලබා ගැනීමට දිවයිනේ නන් දෙසින් රෝගීන් අපේ සායනයට පැමිණෙනවා. ආසන්න වශයෙන් සතියකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සියයක් පමණ සිදු කරනවා. මසකට එවැනි සැත්කම් හාර පන්සියයක් සිදු කරනවා. එය හොඳ ප්‍රවණතාවක්. දිගටම මේ විදිහට කටයුතු කළොත් දැනට තියෙන පොරොත්තු ලේඛනයේ සංඛ්‍යාව තවත් අඩු කරලා අලුතින් එන රෝගියකුට වුණත් මාස හතරක් පහක් ඇතුළත සුද ඉවත් කරලා කාච දාන්න පුළුවන් මට්ටමට ගෙන එන්න හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා.”

වෛද්‍ය අයස්මන්ත ඒ අරමුණු මුුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්ම කැපවී ක්‍රියා කරයි. ඒ වෙනුවෙන් තම පෞද්ගලික ධනය පවා වැය කරන්නට ඔහු කිසි විටක නොපැකි­‍ෙළන බව අපට කීවේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ය. ඇස්වල සිවි කාච බද්ධ කිරීමට රත්නපුර ශික්ෂණ රෝහලේ සිවි කාච හා ඊට අදාළ බෙහෙත් නොමැති අවස්ථාවක ඔහු රාජ්‍ය නොවන සංවිධානවල තම හිතවතුන් සහ අමාත්‍යාංශය හරහා යාපනය රෝහලෙන් ලබාගෙන එම සැත්කම් ඉතා සාර්ථකව සිදුකර ඇත. රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයා, අක්ෂි සායනයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ සද් කාර්යයේදී වෛද්‍ය අයස්මන්තට උපරිම සහාය ලබා දෙයි. 

සිවි කාච බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සඳහා ඔහු තම පෞද්ගලික මුදලින් මසකට රුපියල් පනස්දහසක පමණ මුදලක් වැය කරන බව ද, අදාළ මැහුම් උපකරණ ලබා ගැනීම සඳහා මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක්ද වැය කරන බවද රෝහල් කාර්ය මණ්ඩලයෙන් අපට දැන ගන්නට ලැබිණි. ස්නායු සැත්කම් සඳහා ඔහුගේ පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වැය කර උපකරණ කට්ටලයක් ද රෝහලට ලබා දී ඇත. මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්කෑන් පරීක්ෂණ සඳහා භාවිත කරන ලේසර් යන්ත්‍රය සහිත කාමරය තුළ සවි කර ඇත්තේ වෛද්‍ය අයස්මන්තගේ නිවෙසේ සවිකර තිබූ වායුසමීකරණ යන්ත්‍රයයි.

“ලේසර් කාමරේ වායුසමීකරණ යන්ත්‍රය කැඩිලා අපි ඒක හදාගන්න කීප සැරයක් උත්සාහ කළා. නමුත් ඒක හරි ගියේ නැති නිසා ඩොක්ටර් ගෙදර තියෙන වායුසමීකරණ යන්ත්‍රය මෙහෙට ගෙනාවා.” එසේ කීවේ වෛද්‍ය අයස්මන්තගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකි. එසේ නොවන්නට වායුසමීකරණ යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් ලේසර් යන්ත්‍රයේ ද දෝෂ ඇති වන්නට ඉඩ තිබිණ. එසේ වූවා නම් එය අක්ෂි රෝගීන්ගේ පරීක්ෂණ සඳහා විශාල බාධාවක් වනු ඇත. කිසිදු හේතුවක් නිසා අක්ෂි සැත්කම් නතර වනවාට හෝ අඩාළ වනවාට වෛද්‍ය අයස්මන්ත රිසි නොවේ. ඔහු එපමණටම සිය රෝගීන්ගේ යහපත ප්‍රාර්ථනා කරන වෛද්‍යවරයෙකි. ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමේදී භාවිත කරන ලක්ෂ දෙකක් පමණ වටිනා අසුන අක්ෂි වෛද්‍ය ඒකකයට එක්වී ඇත්තේ ද වෛද්‍ය අයස්මන්තගේ පරිත්‍යාගයක් ලෙසිනි. ඒ සියල්ලම ඔහු සිදු කරන්නේ අසරණ රෝගීන් වෙනුවෙනි. වෛද්‍ය අයස්මන්ත විසින් පවත්වා ගෙන යනු ලබන අක්ෂි සායන සඳහා විශාල පිරිසක් සහභාගි වන බවත් ඒ අතර ළමුන් රැසක් සිටින බවත් අපට දැනගන්නට ලැබිණ.

“අක්ෂි සායනයෙදි දරුවන්ගේ දෘෂ්ටි ආබාධ පරීක්ෂා කරන්න යොදා ගන්න බෙහෙත්වලට මාසයකට රුපියල් පනස් දාහක් පමණ වැය වෙනවා. ඒත් අපි කොහොමහරි ඒ පරීක්ෂා කිරීම් කරගෙන යන්නේ එය ඉතාම වැදගත් කාරණයක් නිසයි. ඇස්වල ආබාධ තියෙන දරුවන්ව දැන්ම පරීක්ෂා කරලා ප්‍රතිකාර නොකළොත් තව අවුරුදු කීපයකින් බිහි වෙන්නේ දෘශ්‍යාබාධිත පරම්පරාවක්. ඒක අපේ රටට විශාල ප්‍රශ්නයක් වෙනවා.” ඒ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් ගේ වදන්ය. ඔහු තම වෘත්තීය වගකීම් අකුරටම ඉටු කරන වෛද්‍යවරයකු පමණක් නොව රටට ආදරය කරන මානව හිතවාදී පුරවැසියෙකි. 

“ඩොක්ටර් අයස්මන්ත කියන්නේ අසරණ රෝගීන්ට දෙවියෙක් වගේ කෙනෙක්. අපි රෝගීන් හයසීයක් විතර බලලා එතැනින් නතර කළොත් හයසිය එක්වැනි රෝගියා ප්‍රතිකාර අවශ්‍යම කෙනෙක් වෙන්න පුළුවන් කියලයි ඩොක්ටර් කියන්නෙ. ඒ කියන්නේ ක්ලිනික් එකේ අන්තිම රෝගියත් ඩොක්ටර්ට ගොඩක් වැදගත්. ලොකු පොඩි හැමෝටම සර් එක වගේම කරුණාවන්තයි. නැතිබැරි රෝගීන්ට ඩොක්ටර්ගේ අතින් සල්ලි වියදම් කරලා හරි ප්‍රතිකාර කරනවා.” ඒ වදන් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේය.

වැඩි වැටුප් සහ වරප්‍රසාද ඉල්ලා වර්ජනය කරන, ඉසුරු සොයා පිටරට යන වෛද්‍යවරුන් අතර ඔහු උපන් බිමේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීම සිය පරම යුතුකම කොට සලකයි. වෙදකම රජකමටත් වඩා උතුම් කොට සලකන මේ වෛද්‍යවරයා ඒ තුළින් විසල් ආත්ම තෘප්තියක් ලබනවාට සැක නැත. රත්නපුර ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයට තවත් අවශ්‍ය වී ඇති උපකරණ ලබා ගැනීමට උපකාර කළ හැකි අය සිටී නම් එය විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් විසින් සිදු කරනු ලබන සේවය තවත් ඉදිරියට ගෙන යෑමට විශාල පහසුවක් වනු ඇත.

Comments