නිර්ඩොලර්කරණය සහ නව ලෝක පර්යාය | සිළුමිණ

නිර්ඩොලර්කරණය සහ නව ලෝක පර්යාය

ලෝක දේශපාලන සහ ආර්ථික අක්ෂය එක් කලාපයක සිට වෙනත් කලාපයකට මාරුවන ඉතිහාසයේ බෙහෙවින් දුර්ලභ කාල පරිච්ජේදයක් අප පසුකරමින් සිටින්නෙමු. මෑත ඉතිහාසඥයන් සිදු කළ අධ්‍යයනයන්ට අනුව, ඉන්දීය උපමහාද්වීපය බ්‍රිතාන්‍යයන් අතට පත්වීමට පෙර ඉන්දියාව ලොව ආර්ථික බලාගාරයක්ව පැවතිණ. එවකට ලොව සමස්ත කාර්මික නිෂ්පාදනයෙන් තුනෙක් එකකට චීනය හිමිකම් කී අතර ඉන්දියාවට හිමි පංගුව හතරෙන් එකකි. 1750 වසරේ දී, රොබට් ක්ලයිව් බෙංගාලයේ නවාබ් පාලකයා යටත් කර ගනිමින් ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය අධිරාජයක් ගොඩනැඟීමට වසර හතකට පෙර ලෝක ආර්ථිකයේ බ්‍රිතාන්‍යයට හිමි පංගුව සියයට එකක් තරම් කුඩා විය. ඉතිහාසයේ අනාදිමත් කාලයක් පුරාවට පසුගාමී කලාපයක් ව පැවති බටහිර අනතුරුව කෙටි කලක් තුළ මුළුමහත් ලෝකයම පාලනය කරන බලවතකු බවට පත්විය. එය අහම්බයකින් සිදුවූවක් නොව, බෙහෙවින් ආයාසකර ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. 18 වන සියවසේ දී ලෝක ප්‍රාග්ධනය බටහිර සංකේන්ද්‍රය වූයේ කාර්මික විප්ලවය සහ ඒ හා අත්වැල් බැඳගත් යටත් විජිත වාදයේ ප්‍රතිඵලයක් ලෙසින් ය. බ්‍රිතාන්‍ය හිරු නොබසින් අධිරාජ්‍යයක් ගොඩනැඟූයේ ගෝලීය දකුණේ රටවල් සාහසික ලෙස සූරාකෑමට ලක් කරමින් ය. විසි වන සියවසේ අමෙරිකා එක්සත් ජනපදයට ලොව සුපිරි බලවතා බවට පත්වීමට සංග්‍රාම ප්‍රයත්න දෙකක් අවශ්‍ය කෙරිණ. අප ජීවත් වන 21 වන සියවස ආසියාවේ ශතවර්ෂය බවට පත්ව ඇත. ලොව ප්‍රධානතම ආර්ථික පහෙන් තුනක්ම දැන් ආසියානු කලාපය නියෝජනය කිරීම මීට නිදසුනකි: චීනය, ජපානය සහ ඉන්දියාව. ඉන්දුනීසියාව ද ක්‍රමයෙන් ඒ දෙසට ගමන් කරමින් සිටී. ඒ සමඟ යුරේසියානු කලාපය ගෝලීය භූදේශපාලනයේ පොර පිටියක් බවට පත්ව තිබේ.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ සිදු වෙමින් පවතින, අප විසින් හඳුනාගත යුතු, වෙනස්කම් ගණනාවකි. පළමුවැන්න, නිරවි යුද සමයෙන් අනතුරුව පැවති ඒකධ්‍රැවවාදී ලෝක පර්යාය වෙනුවට, බහුධ්‍රැවවාදී ලෝක පර්යායක් ගොඩනැඟෙමින් පවතී. මෙය සෙස්සන්ගේ නැඟී එ්මක් (The Rise of the Rest) ලෙස ඇතැම් බටහිර විචාරකයෝ අර්ථ දක්වති. මීට වසර දහයකට පමණ පෙර ලෝක ආර්ථික පෙළ ගැස්මේ ලොව ප්‍රධාන ආර්ථික දහයෙන් හයක්ම වොෂිංටනයට පක්ෂපාතී කඳවුර නියෝජන කළ නමුත් දැන් ඉන් බහුතරය ගෝලීය දකුණ නියෝජනය කරන රටවලින් සමන්විත ය.

දෙවැන්න, මෙලෙස ඉදිරියට පැමිණෙන සෙසු රටවල් අතර නව සන්ධාන ගොඩනැඟීම යි. බ්‍රික්ස්, ෂැංහයි සහයෝගිතා සංවිධානය, යුරේසියානු ආර්ථික සංගමය, තීරයක් මාවතක් වැඩපිළිවෙළ මේ අතර ප්‍රධාන ය. මේ මස දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි පැවැත්වෙන බ්‍රික්ස් රාජ්‍යය නායක සමුළුවට රටවල් 44 ක් පමන සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තෙවැනුව, ලොව මෙතෙක් පැවති මූල්‍ය පර්යායට විකල්ප වශයෙන් නව මූල්‍ය වැඩපිළිවෙළක් වටා ඒකරාශී වීමට රට රටවල් දක්වන උනන්දුවයි. ඒ සමඟ දෙවැනි ලෝක සංග්‍රාම අවදියේ ගොඩනැඟුණු ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල යන බ්‍රෙට්න් වුඩ්ස් ආයතන වටා කේන්ද්‍රගත වූ මූල්‍ය පර්යාය දෙදරා යමින් පවතී. බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව, සේද මාවත අරමුදල ඇතුළත් මෙම නව පෙළ ගැසීම තුළ අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවල දී තනි විනිමයක් මත පමණක් රඳා පැවතීමේ වර්ධනය වෙමින් පවතින අවදානම කෙරෙහි, අමෙරිකා එක්සත් ජනපදයට සහ බටහිරට හිතවත් නොවන ගෝලීය දකුණේ රටවල අවධානය යොමු වෙමින් පවතී. නිර්ඩොලර්කරණය පිළිබඳව වත්මන් කතිකාවතට පදනම මෙයයි.

නිර්ඩොලර්කරණය සහ

ඊට බලපා ඇති හේතු කවරේ ද?

අමෙරිකානු ඩොලරය මත රඳා පැවැත්ම අවම කිරීම සඳහා ගෝලීය දකුණේ රටවලට ඇති අභිලාසය කරළියට පැමිණෙමින් තිබේ. උදාහරණ ලෙස, චීනය යුවාන් මුදල ගෝලීය සංචිත විනිමයක් ලෙස ප්‍රචලිත කරමින් සිටී; රුසියාව සහ සෞදි අරාබිය තම බලශක්ති වෙළෙඳාම ඩොලර් නොවන මුදලින් සිදු කරන්නට පටන් ගෙන ඇත; දකුණු අමෙරිකානු කලාපය සඳහා පොදු විනිමයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළකට බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව නායකත්වය සපයයි; බ්‍රික්ස් මුදලක් පිළිබඳ කථිකාවත මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් නායක හමුවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත. එ් අනුව අන්තර්ජාතික මූල්‍ය පද්ධතිය තුළ අමෙරිකානු ඩොලරය පවත්වා ගෙන ගිය ආධිපත්‍යයයේ අවසානයේ ආරම්භය අප දකිමින් සිටින්නෙමු.

විකල්ප මුදලක් ලෙස ඩොලරයට හිමි ආකර්ෂණය අහිමිවීමට බලපෑ හේතු කවරේදැයි විමසීමේ දී සංචිත විනිමයකට ආවේණික මූලික සිද්ධාන්ත කවරේදැයි අවබෝධ කරගත යුතු ය.

පළමුවැන්න නම් එම මුදල කෙරෙහි ඇති විශ්වාසයයි. එහිලා සංචිත විනිමයකට හිමිකම් කියන ආණ්ඩුව සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමෙහිලා තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කරමින් ගෝලීය සංචිත විනිමයකට හිමි වරප්‍රසාද අවභාවිතයට ලක් නොකළ යුතු ය.

දෙවැන්න, ජාලගත බලපෑම (network effect) එනම් භාණ්ඩ සහ සේවාවන් හුවමාරුව සඳහා වඩ වඩාත් ජනතාව කිසියම් විනිමයක් යොදා ගන්නා විට සිදුවන ප්‍රසාරණ ක්‍රියාවලියයි. මෙම ජාලය විශාල වන තරමට හුවමාරු මාධ්‍යයක් ලෙස ඊට හිමි කාර්යභාරය වඩ වඩාත් පෘථුල වෙයි.

තෙවැනුව, ධනය සුරක්ෂිතව රැස්කර තබා ගැනීමට නම්, වඩාත් පුළුල් සහ ගැඹුරු ප්‍රාග්ධන වෙළෙඳපොළක් පැවතිය යුතු අතර, අවදානමකින් තොරව එම විනිමය භාවිත කරන්නාට එහි ප්‍රතිලාභ භුක්ති විඳීමට සුදුසු පරිසරයක් පැවතිය යුතු ය.

වර්තමානයේ පවත්නා මෙම නිර්-ඩොලර්කරණ ප්‍රවණතාව ගෝලීය සංචිත විනිමයක් ලෙස අමෙරිකානු ඩොලරයට හිමි විශ්වසනීයත්වය බිඳී යෑමේ ප්‍රතිඵලයකි. ප්‍රතිපත්තිමය කාරණාවලදී, අමෙරිකානු රජය තම මූල්‍යමය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට අපොහොසත්ව සිටී. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉදිරි දශකය තුළ එය සියයට 200 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අමෙරිකාවට මෙම ණය බරින් මිදීමට ඇති නොහැකියාව මෙන්ම, එම ණය පියවා ගැනීමට ඇති හැකියාව ද ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ රඟ දැක්වෙන ජවනිකා ද අමෙරිකානු ඩොලරය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට හේතුවී තිබේ.

කෙසේ වෙතත්, ඩොලරයට හිමි තැන නුදුරු අනාගතයේ දී වෙනත් මුදලක් විසින් අත්පත් කරගනු ඇතැයි එයින් අදහස් නොකෙරේ. චීනයේ සිය යුවාන් හෙවත් රෙන්මින්බි මුදල අන්තර්ජාතික වශයෙන් භාවිතය ප්‍රචලිත කළ ද ඩොලරයේ අඩුව පිරවීමට ප්‍රමාණවත් තරම් එය හුවමාරු මට්ටමක නොපවතී. ඩොලරයට විකල්පයක් ලෙස යුරෝ මුදල තම අපේක්ෂාවන් ඉටු කිරීමට අසමත්ව සිටී. යෙන් සහ ස්ටර්ලින් භාවිතය කාලයත් සමඟ අඩුව යමින් වර්තමානයේ ගෝලීය වෙළෙඳාම තුළ ඊට හිමි පංගුව සොච්චමකි.

මේ නිසාම, අමෙරිකානු ඩොලරය වෙනුවට නව බලගතු විනිමයක් භාවිතය පැමිණීමට ඇති ඉඩකඩ බෙහෙවින් මඳ ය. ඒ වෙනුවට, අමෙරිකානු ඩොලරය කේන්ද්‍රකරගත් ඒක-ධ්‍රැවවාදී ගෝලීය මූල්‍ය පද්ධතිය ඩොලරය, යුරෝ, යුවාන්, සහ ඇතැම් විට බ්‍රික්ස් වැනි නව මුදල් ඒකක වලින් සමන්විත බහුධ්‍රැවවාදී මූල්‍ය පර්යායක් කරා පරිවර්තනය වීමක් නුදුරේ දී අපට දැකගත හැකි වනු ඇත.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට නිර්ඩොලර්කරණයේ වාසි මෙන්ම අවාසිවලට ද මුහුණ දීමට සිදුවනු ඇත. අමෙරිකානු මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම්වලට ගොදුරු වීමේ අඩු අවදානම, මූල්‍ය ස්වායත්තතාව වර්ධනය වීම සහ සංචිත විවිධාංගීකරණය තුළ මූල්‍ය ස්ථාවරත්වය වර්ධනය වීම මෙහි ඇති වාසි අතර වේ. ඒ අතරම, විනිමය අනුපාතවල අස්ථාවරභාවය වෙළෙඳාම, ආයෝජන සහ ප්‍රාග්ධන ගලනයට බාධා එල්ල කරයි. මේ නිසාම, නිර්ඩොලර්කරණයේ වාසි සහ අවාසි පිළිබඳ නිවැරදි තක්සේරුවක් සහිත ප්‍රවේශම්කාරී සහ ක්‍රමානුකූල ප්‍රවේශයක් අනුගමන කිරීම රටක් ලෙස අපට වැදගත් ය.

මිනිසා මිහිතලය මත නව

භූවිද්‍යාත්මක අවධියකට මුල පුරයි

පෘතුවිය ඇන්ත්‍රොපෝසීන යනුවෙන් හඳුන්වනු ලබන නව භූවිද්‍යාත්මක අවධියකට පැමිණ ඇතැයි විද්‍යාඥයෝ පවසති. වසර බිලියන 4.6 ක පෘතුවියේ ඉතිහාසය තුළ විවිධ අවධි පැන නැග ඇත්තේ ස්වාභාවික වෙනස්කම් හේතුවෙන් වුව ද, ඇන්ත්‍රෙපෝසීන අවධිය මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් පැන නැඟුණකි.

වර්තමානයේ අප ජීවත් වනුයේ හොලෝසීන් යනුවෙන් හඳුන්වනු ලබන ජීවවිද්‍යාත්මක අවධිය තුළ වන අතර එම අවධිය දළ වශයෙන් අවසන් අයිස් යුගයේ සිට වසර 11,700 ක පමණ කාල පරාසයක් පුරා පැතිර පැවතිණ. කෙසේ වෙතත්, මානව ක්‍රියාකාරීත්වය විසින් මිහිතලය මත ඇති කරන ලද අසීමිත බලපෑම මුල් කරගනිමින්, පෘතුවි ඉතිහාසය අවධිමය වෙනසකට ලක්ව ඇතැයි භූවිද්‍යාඥයන් බහුතරයකගේ අදහස වී තිබේ. යම් හෙයකින් මිනිසා හිටි හැටියේ මිහිතලයෙන් වඳව ගියේ යැයි අනුමාන කළහොත්, මානව ක්‍රියාකාරීත්වය විසින් මිහිතලයට සිදුකොට ඇති බලපෑම් යථා තත්වයට පත්වීමට තවත් ශතවර්ෂ ගණනාවක් ගත වනු ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඇන්ත්‍රොපෝසීන ක්‍රියාකාරී කණ්ඩායම යනුවෙන් හඳුන්වනු ලබන 35 දෙනකුගෙන් සමන්විත භූවිද්‍යාඥයෝ පිරිසක් 2009 වසරේ සිට මේ පිළිබඳව කරුණු හදාරමින් සිටිති. ඒ සඳහා ඔවුහු ලොව පුරා භූවිද්‍යාත්මක ස්ථාන දොළහක් විශ්ලේෂණය කළහ. එහිදී කැනඩාවේ පිහිටි කුඩා විලක පත්ලේ ඇන්ත්‍රොපොසීන අවධියට අදාළ සියලු සාධක තැන්පත්ව පවතින බැව් ඔවුනට දැක ගන්නට ලැබිණ. කැනඩාවේ ටොරොන්ටෝ නගරයට ආසන්නයේ පිහිටි ක්‍රෝෆෝර්ඩ් විල ඒ අනුව නව භූවිද්‍ය­ාත්මක අවධීන නිර්ණය කිරීමේ පදනම් ලක්ෂ්‍යය ලෙසින් සැලකීමට ඔවුහු තීරණය කළහ.

ක්‍රෝෆෝර්ඩ් විල මේ සඳහා තෝරා ගත්තේ ඇයි?

එය මීටර 24 ක් ගැඹුරු විලක් වන බැවින් එහි ඇති රොන්මඩ මතුපිට ජලය හා මිශ්‍ර නොවී පහළට ගලා යාමක් සිදු වේ. එබැවින්, විද්‍යාඥයන්ට වසරක් වසරක් පාසා එම කටයුතු කඩිනමින් සිදුවන ආකාරය මනාව නිරීක්ෂණය කොට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබී තිබේ. සෑම වසරකදීම විල් ජලය උණුසුම්වත්ම කැල්සියම් කාබනේට් වාෂ්පීකරණයක් හටගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරිවන සුදු පැහැති හුණු තට්ටුව විලේ පරිසරය පිළිබඳ වාර්ෂික වාර්තාවක් බැව් විද්‍යාඥයෝ පවසති. එය ගසක කඳෙහි වාර්ෂික ව නිර්මාණය වන රුක් වළල්ලකට සමාන ය.

මෙම විල් පත්ලෙන් ලබාගත් අවසාදිත පාෂාණ අධ්‍යයනය කිරීමේදී හෙළි වී ඇත්තේ වසරක් වසරක් පාසා එහි තැන්පත්ව ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික්, න්‍යෂ්ටික අත්හදාබැලීම්වලින් නිකුත් වූ විකීරණශීලි ද්‍රව්‍ය, කාබන් විමෝචන, අළු, ෆොසිල් ඉන්ධන දහනයෙන් නිකුත් වන නයිට්‍රජන් සමස්ථානික සහ රසායනික පොහොර භාවිතය යනාදී මානව ක්‍රියාකාරීත්වයට අදාළ සාධක මෙම කුඩා විල් පත්ලේ සලකුණු තබා ඇති බවකි. මෙම සොයා ගැනීම් මඟින් තහවුරු කෙරෙන ලොව අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින මානව ජීවිතයේ දැඩි බලපෑම හොලෝසීන අවදියේ අවසානය සනිටුහන් කිරීමක් බැව් කල්පනා කිරීමට අප පොලඹවයි.

යුක්රේන සංග්‍රාමය තව තවත් දිග්ගැස්සෙන ලකුණු

“බළලුන් ලවා කොස් ඇට බෑවීම“ යන පැරණි කියමන සිහිපත් කරවමින්, පෝලන්තය ලවා බටහිර යුක්රේනය අත්පත් කර ගැනීමේ අමෙරිකානු සැලසුමක් ලැරී ජොන්සන් නමැති භූ දේශපාලනික විශ්ලේෂකයා විසින් අනාවරණය කොට තිබේ. ඒ සමඟ යුක්රේනය නේටෝව නමැති ලොව බලගතුම යුද සන්ධානයට එක් කරගනිමින් යුක්රේනය නිරායුද කොට යුක්රේනය ස්වාධීන, එහෙත් මධ්‍යස්ථ රාජ්‍යයක් බවට පත් කිරීමේ රුසියානු නායක ව්ලැදිමීර් පූටින්ගේ ඉලක්කය පරාජය කිරීම වොෂිංටනයේ අපේක්ෂාව බැව් පෙනේ.

බුද්ධි අංශ ලබාදුන් තොරතුරුවලට අනුව පෝලන්තය නයිපර් ගංගාවෙන් දකුණු දිග පිහිටි යුක්රේනයට අයත් භූමිය අත්පත් කරගැනීමට පෝලන්තය පිඹුරුපත් සකසමින් සිටී. ඉකුත් බ්‍රහස්පතින්දා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණයට එක්වූ පූටින් කළ ප්‍රකාශය බටහිර නායකයන් මනාව කියවා ගත යුතු ය.

“යුක්රේන පාලන තන්ත්‍රයේ ප්‍රතිපත්ති අපට අයත් කාරණයක් නොවෙයි. පාවාදෙන්නන් සාමාන්‍යයෙන් සිදු කරන පරිදි, ඔවුනට ඔවුන්ගේ හාම්පුතුන්ට පඬුරු වශයෙන් ලබා දීමට යමක් විකිණීමට අවශ්‍යයි නම් ඒක ඔවුනට අයත් කාර්යයක්.

අපි ඊට මැදිහත් නොවෙමු. නමුත් බෙලරුසය සංගම් රාජ්‍යයේ කොටසක් වන අතර බෙලරුසයට එරෙහිව දියත් කෙරෙන ආක්‍රමණයක් රුසියානු ෆෙඩරේෂනයට එරෙහිව ආක්‍රමණයක්. අපට ඇති සෑම සම්පතක්ම යොදා ගනිමින් අප ඊට පිළිතුරු දැක්වීමට සූදානම්“.

රුසියාවට එරෙහි යුක්රේන ප්‍රතිමෙහෙයුම් බරපතළ පසුබෑමකට ලක් ඇති මොහොතක දියත් කොට ඇති මෙම කුමන්ත්‍රණයේ අරමුණ යුක්රේනය පෝලන්තයේ කොටසක් ලෙස නේටෝවට ඈඳා ගැනීම බව ප්‍රවීණ භූදේශපාලනික විශ්ලේෂක ආචාර්ය පොල් ක්‍රේග් රොබර්ට් පෙන්වා දෙනවා.

ඒ අනුව පුටින් කඩිනමින් ඔඩෙස්සා, ඛාර්කීව් සහ ඊශානදිග යුක්රේනය අත්පත් කර නොගතහොත්, පෝලන්තය කළු මුහුදේ නාවික කඳවුරක් ඉදිකොට රුසියානු දේශසීමාවේ නේටෝ මිසයිල රඳවා තබමින් වොෂිංටනයට ඇඟ බේරා ගත හැකි බව රොබර්ට්ගේ අදහසයි.

Comments