ලාංකේය මේසපන්දු පිටිය ආක්‍රමණය කරන දකුණුලක අභියෝගය ටමාදි | සිළුමිණ

ලාංකේය මේසපන්දු පිටිය ආක්‍රමණය කරන දකුණුලක අභියෝගය ටමාදි

දුවගේ මේසපන්දු ගැහීමේ ආසාව පුංචි කාලේ සිට ම අපිට හරි වදයක් වුනා. අයිය පුහුණුවීම්වලට එක්ක යන කොට අනිවාර්යයෙන්ම මෙයත් එක්ක යන්න වෙනවා. නැත්නම් ගෙදර දෙක කරනවා. ඒ යනකොට බිස්කට් එකේ, වතුර ටිකේ සිට අවශ්‍ය හැමදේම අරගෙන යන්න වෙනවා. එහෙම ගියපු සමහර වෙලාවට පුහුණු වෙන ළමුන්ට කලින් මෙයා ටේබල් එක ළඟට ගිහින් සෙල්ලම් කරන්න බලාගෙන ඉන්නවා. ඒ සියලු දේ බොහොම ටික වෙලාවයි. ඊට පස්සේ අපි ගෙදර එක්ක යන්නේ ඒ හෝල් එකේ නිදාගත්ත දරුවා.” 

ඉහත දැක්වෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකා මේසපන්දු ශ්‍රේණිගත කිරීම් හී ඉහළින් ම රැදී සිටින සහ 2019 නේපාලයේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී ටමාදි කවින්ද්‍යා ගැන ඇයගේ පියා ඒ. ඩබ්ලිව්. තුසන්ත කුමාර කළ අතීත ආවර්ජනයක්.

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ටමාදි, පසුගිය සතියේ මාලදිවයිනේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා බාලිකා මේසපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් වෙමින් නියෝජනය කළා. එහි දී ඇය පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුනා.

15න් පහළ බාලිකා යුගල ඉසව්වේ දී ඇය ලෙසන්‍යා සෙතුම්දි සමගින් ලෝකඩ පදක්කමත් සහ ඔවුන් දෙදෙනා සහ ඉමල්ෂා සෙව්මිණි එක් වූ කණ්ඩායම් බාලිකා ඉසව්වේ දී ලෝකඩ පදක්කමත් එහි දී දිනා ගත්තා.

ටමාදිගේ මේසපන්දු ක්‍රීඩාවේ ආරම්භය ඉතා ම කුඩා කාලයේ දී බැව් අප මේ සටහන ආරම්භයේ දී දැන ගතිමු. එය ඇයගේ පෙර පාසල් අවධියයි.

ටමාදිගේ අයියා නවම් අසිරුඳු, ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ මේසපන්දු ක්‍රීඩාවේ යෙදුනෙක්. පුහුණුවීම්වලට ගෙදරින් පිට ව යන අයියා, යන තැනක යන්න පුංචි ටමාදිත් දක්වන්නේ දැඩි ආසාවක්. එහෙත් දෙමාපියන්ගෙන් ඊට ඉඩක් ලැබෙන්නේ නැහැ. එතැන දී ටමාදි තෝරා ගන්නේ තමන්ගේ පන්නයේ අරගලයක්.

“දුව පැන්සල අල්ලන වයසේ සිට ම මේසපන්දු රැකට් එකත් ඇල්ලුවා. දුව ව ක්‍රීඩාවට යොමු කරන්න අපේ අදහසක් තිබුණෙ නෑ. පුතා ඒ වෙද්දි ක්‍රීඩා කරපු නිසා දුව අධ්‍යාපනය පැත්තට යොමු කරන්නයි අපේ අදහස තිබුණෙ. අපි ගොඩාක් උත්සාහ කළා දුව ව ක්‍රීඩාව පැත්තෙන් ඈත් කරන්න. නමුත් අපිට ඒක කරන්න බැරි වුණා. එදා ක්‍රීඩා කළ පුතා අද උසස් අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රීඩාව නතර කළා. ක්‍රීඩාවෙන් ඈත් කරන හැදුව දුව, ජාත්‍යන්තරයත් ජය ගෙන අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙක ම සමබරව කර ගෙන යනවා.” නැවැත ටමාදි ගේ පියා පැවැසුවා.

ටමාදි තමන් සහභාගී වූ පළමු සමස්ත ලංකා තරගයෙන් ම මේසපන්දු පිටිය කැළඹූ ක්‍රීඩිකාවක්. ඒ 2004 වසරේ ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ආධුනික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දී වයස අවුරුදු 8න් පහළ ශූරතාව දිනා ගනිමින්. ඊට අමතර ව එම තරගාවලියේ ම වයස අවුරුදු 10න් පහළ අනු ශූරතාව දිනා ගැනීමටත් ඇය සමත් වෙනවා. ඒ වෙද්දි ටමාදිට අවුරුදු 6ක්.

“ටමාදි මේසපන්දු පිටියේ ලොකු ගමනක් යයි කියන හැඟීම පුංචි දවස්වල ම පෙන්නුම් කළා. සෑම අවස්ථාවකම උද්යෝගිමත්ව පුහුණුවීම් කටයුතු කළා. නිතරම උත්සාහ කළේ අලුත් අලුත් දේ ඉගෙන ගන්න. පරාජය වුනත් ඉක්මනට බාර ගැනීමට කැමති වුනේ නැහැ. නිතරම ප්‍රතිවාදීන්ට උපරිම තරගයක් දීමටයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඇය ඉතා අඩු වයසින් මේ වගේ දක්ෂතා දක්වන්නේ ඒ ඇය සතුව ඇති අභියෝගාත්මක අදහස් නිසයි. ටමාදි අනාගතයේ දී මෙරට සුවිශේෂී ක්‍රීඩා තරුවෙක් වේවි.” ටමාදිගේ පුහුණුකරු කේ. එස්. ටී. ලක්ෂාන් හර්ෂණ පවසනවා.

ටමාදිගේ මේසපන්දු ජීවිතය සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ ඇයගේ පියාගේ පූර්ණ කැපවීම මත. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සමබරව කරගෙන යෑමට ඔහු ඇය ව කදිමට කළමනාකරණය කරනවා. ටමාදි සහභාගී වන සෑම තරගයක් සේ ම විශේෂ පුහුණුවීම්වල දී පවා ඔහු ටමාදි පෙනෙන නොපෙනෙන මානයේ රැදී සිටිනවා.

“සමහර අවස්ථාවල වෘත්තීය දේවල් පවා අතපසු කරගෙන දුවගේ කටයුතු වෙනුවෙන් සහභාගී වෙන්න වෙනවා. එහෙම කළ කැපවීම් අපතේ ගිහිල්ලා නැහැ. මේ වෙද්දී දුව ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලබලා තියෙනවා. ඇය මේ තත්ත්වයට ගෙන ඒ මේ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ පාසලේ සේ ම ඇයගේ පෞද්ගලික පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලක්ෂාන් හර්ෂණට සහ ඔහුගේ බිරිඳ වන පවිත්‍රා ගිම්හානිටයි. ඔවුන් දෙදෙනා දුව වෙනුවෙන් විශාල ලෙස මහන්සි වෙනවා. සමහර දිනවලට ඔවුන්ගේ පෞද්ගලික කාලය පවා කැප කරමින් ඇයට පුහුණු කිරීම් කටයුතු කරනවා.” ටමාදි ගේ පියා තුසන්ත කුමාර නැවතත් ක්‍රීඩා සමග පැවසුවා.

එමෙන් ම ඇයගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් උදව් කළ අය අතර විද්‍යාලයීය විදුහල්පතිතුමා, ක්‍රීඩා භාර සහ මේසපන්දු භාර ආචාර්යරුන් සේ ම විද්‍යාලයේ සියලුම ගුරුවරුන් සහ සහෝදර සිසු සිසුවියන් ද දක්වන සහයෝගය ඉතා විශාල බවයි පවසන්නේ. විද්‍යාලයීය මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය සංගමය, විද්‍යාලයීය ආදි මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය ද දක්වන දායකත්වයට ස්තුතිය පුද කරන බැව් ද ඔහු පැවසුවා.

එමෙන්ම ඇය ක්‍රීඩාවට පිවිසි දා සිට උදව් කළ විද්‍යාලයීය හිටපු විදුහල්පතිවරුන් සහ හිටපු ක්‍රීඩා භාර ආචාර්යවරුන් සහ පුහුණුකරුවන් ද ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කළා. ටමාදිගේ මේසපන්දු දක්ෂතාවලට තවත් තෝතැන්නක් වී ඇත්තේ Top Champs Table Tennis Academy යයි. එහි ඇය ප්‍රමුඛ සාමාජිකාවක්.

“මේසපන්දු ක්ෂේත්‍රයේ ගොඩාක් දුර යන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ශූරිය වීම ඒ අතර රැදී තියෙන ලොකු ම බලාපොරොත්තුව. ඒ වගේ ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සෑම තරගයක දී ම මගේ මව්රට ට කීර්තියක් ගෙන දීමත් ඒ අතර ප්‍රමුඛ බලාපොරොත්තුවක්. මා මෙතෙක් ආ ගමනේ දී මට විශේෂයෙන් ම උදව් කළ ලක්ෂාන් සර්ට පවිත්‍රා මිස්ට සහ අම්මටත්, තාත්තාටත් සහ අයියටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.” ටමාදි පැවැසුවා.

මේසපන්දු ක්ෂේත්‍රයේ ජයග්‍රාහී ගමනක් බලාපොරොත්තු වෙන ටමාදි කවින්ද්‍යාට ‘ක්‍රීඩා’ වෙතින් උණුසුම් සුබ පැතුම්..!

 

Comments