සමුද්‍ර දූෂණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5 ක් | සිළුමිණ

සමුද්‍ර දූෂණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5 ක්

1. පසුගිය සතියේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවෙන් මෙරටට පැමිණීමට පෙර එහි අවදානම් තත්ත්වය පිළිබඳව කපිතාන්වරයා මෙරට අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර තිබුණේද? 
2. එසේ දැනුම්වත් කර තිබුණේ නම් මෙරට නැංගුරම් ලෑම සඳහා ඉඩ ලබාදීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වගකිව යුතුයි නේද?
3. වන්දි ලබා ගැනීමේ අරමුණින් මේ නැව මෙරට මුහුදු සීමාවට පැමිණීමට ඉඩ ලබා දුන් බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා නේද?
4. මෙයින් විශාල පරිසර හානියක් සහ දුර්ලභ මුහුදු ජීවීන් ඇතුළු කොරල්පර විනාශ වූයේ නිසි වේලාවට තීන්දු තීරණ නොගත් නිසාද?
5. සිදුවූ හානිය අවම කරගැනීම සඳහා ඔබ යෝජනා කරන්නේ කුමක්ද? 

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා

1 මේ නැව මෙරටට පැමිණීමට පෙර එවැනි ඉන්ධන කාන්දුවක් පිළිබඳ කිසිදු දැනුම්වත් කිරීමක් කර තිබුණේ නැහැ. මෙරට නැංගුරම් ලෑමෙන් අනතුරුව මේ නෞකාව උදේ දහයට පමණ වරාය අධිකාරියට විද්යුත් තැපෑලෙන් ලිපියක් යොමුකරමින් ඔවුන්ට පහසුකම් අවශ්‍යයි කියනවා මේ බහාලුම්වල යම් වෙනසක් කිරීමට. එයයි මේ සම්බන්ධයෙන් පළමු වතාවට දැනුම්දීමක් කර ඇත්තේ මේ නෞකාව තුළ යම් සිදුවීමක් සිදුවී ඇති බවට. එහෙත් එහිදී හදිසි තත්ත්වයක් කිසිසේත් වාර්තාකර නැහැ. විසිවැනිදා දහවල් දොළහට පමණ නෞකාවේ දෙවැනි කවුළුව අසලින් දුමක් නැගෙන බවට වරාය අධිකාරිය දැනුම් දී තිබෙනවා. ටික වේලාවකට පසුව ඒ අය විසින් ම දැනුම් දෙනවා ඒ තත්ත්වය ඔවුන් විසින්ම පාලනය කර ගැනීමට සමත් වූ බවට.එයින් පසු පැය දොළහකට පසු එනම් දහවල් 2 ට පමණ නැවත වතාවක් දැනුම් දෙනවා වරාය අධිකාරියේ පාලන මැදිරිය නැවත මේ දුම හදිසි තත්ත්වයක් බව. ඒ අනුව වරාය අධිකාරියේ ගිනි නිවන අංශය එතනට යනවා. එහිදී ගිනි නිවීමේ කටයුත්ත ආරම්භ කර තිබෙනවා, විසිවැනිදා සුළි සුළං තත්ත්වයක් තිබුණ බව අපි කවුරුත් දන්නවා. ගින්න මැඩ පැවැත්වීමට හිතපු තරම් පහසු වුණේ නැහැ. ක්‍රමයෙන් වර්ධනය වෙලා පාලනය කරගන්න බැරි තත්ත්වයකට ආවා. දින ගණනාවක් ක්‍රමයෙන් මේ නැව ගිනිබත් වුණා.

2 මේ නැව ඉන්දියාවේ සිට කෙළින්ම එන්නේ ලංකාවට. වෙන කොහෙවත් සිට එන්න උත්සාහ කළ නැවක් හෝ ගෙන්න ගන්න උත්සාහ කළ නැවකුත් නොවෙයි, නැව් ගමනා ගමනය ගැන මුකුත්ම දන්නේ නැති අයයි මේ කතා කියන්නේ . සාමාන්‍යෙයන් මේ නැව මාස දෙකකට වරක් මෙහි එනවා. මෙය මේ නැවේ නීත්‍යනුකූල ගමන් මඟ ඔස්සේ එදත් පැමිණියා මිසක කවුරුත් මේක මෙහෙට බලෙන් එන්න කිව්වේ නැහැ. එය ඉන්දියාවෙන් පිටත් වුණේ මැයි 15 වැනිදා. 20 වැනිදා අලුයම අපේ ආසන්න මුහුදු තීරයට ආවා. එසේ නැවක් ආවාම වරායට අපේ බහාලුම් පර්යන්තය සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ පර්යන්තයට ඇතුළු වීමට නියමිතව තිබුණේ 20 වැනිදා රාත්‍රියේ. ඒ නිසා පැය 24 වැනි කාලයක් තිබුණා. ලංකාවට ළඟාවීමත් බහලුම් පර්යන්තයේ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමත් අතර සාමාන්‍ය ක්‍රමවේදය අනුව බහාලුම් පර්යන්තයෙන් ඔවුන්ට අවසර දෙනවා අපේ පිටත වරායේ නැංගුරම්ලෑමට. ඒ අනුව විසි වැනිදා උදෑසන නැව ගොඩබිම සිට නාවික සැතපුම් 9.5 ක් පමණ දුරින් නැංගුරම්ලා තිබුණා. ඒ අයගේ කටයුතු සඳහා පැය 24ක කාලයක් එහි නතර කර තිබුණා.

3 මේ ගින්න කාගේවත් කුමන්ත්‍රණයක් නෙමෙයි. වරායකට නැවක් ගෙනල්ලා ගිනි තියලා වන්දි ගන්න රටක් තියෙනවාද? එහෙම කරන්න පුළුවන්ද? ඇතැම් අය කියනවා, මේ නැව වෙනත් රටවල් දෙකක වරායට ඇතුළු වෙන්න උත්සාහ කරලා තිබුණා, ඒත් එහි නතර කරන්න ඉඩ දීලා නැහැ කියලා. ලංකාවට පමණයි ඇතුළත් වීමට අවසර ලබා දීලා තියෙන්නෙ කියලා සමහර අය කියනවා. මේ කතාව සම්පූර්ණ අසත්‍යක්. මේ කියන විදෙස් වරාය දෙකටම මේ නැව ඇතුළත් වෙලා තියනවා. එනම් කටාර් සහ ඉන්දියානු වරාය දෙකටම මේ නැව ඇතුළු වී තිබෙනවා. එහිදී බහලුම් හුවමාරුව කරලා ඉන් පසු ඔවුන් පැමිණෙන්නේ ගමනාන්තය සඳහා ලංකාවට . එය ඔවුන්ගේ සාමාන්‍ය ගමන් මඟ. බහලුම් කන්ටේනර් 1486 ක් රැගෙන මේ නැව ආවේ. ඒ බහලුම්වලින් 513 ක් ලංකාවේ බෑමට නියමිතව තිබුණා. ලංකාව ගමනාන්තය කරගෙන ආව නැවක් කියලා ඉතා පැහැදිලිවම කියන්න ඕන. මෙහි වැඩි වශයෙන් තිබුණේ රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිතව කරන නිෂ්පාදන. ඒ නිසා ගින්න පැතිරුණු බව කියන්න පුළුවන්. සමහර කන්ටේනර් මුහුදට වැටුණා. ඒවායේ සමහර දේවල් වෙරළට ගසාඟෙන ආවා. ඒ ගහගෙන ආව කොටස් නිසා වෙරළ අපවිත්‍ර වුණා. ඒවගේම ජීවීන්ට අවදානම් සහගත තත්ත්වයක් ඇතිවුණා.

4 මේ වගේ තත්ත්වයකදී විවිධ අමාත්‍යාංශ, විවිධ ආයතන සම්බන්ධීකරණය වන ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම නෞතා අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියයි. මේ අධිකාරිය වහාම ක්‍රියාත්මක වෙලා අදාළ සියලු අංශ සම්බන්ධ කරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා වැඩපිළිවෙළක් සකස් කරනවා. තීන්දු තිරණ ගන්නවා. මේ ගිනිබත් නැවෙන් සිදුවන හානි අවම කරගන්න අවශ්‍ය නෛතික පියවර සහ අපවිත්‍ර වූ වෙරළ යථාතත්ත්වයට පත් කරන්න අපි සියලු කටයුතු කර අවසන්. මෙවැනි දෙයක් වුණාම ජලජ ජීවින්, පැළෑටිවලට හානිවන බව අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට කළහැකි සියලු කටයුතු සිදුකරනු ලැබුවා. ඒ කටයුතුවලට අපි නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය අංශ සමඟ සම්බන්ධ වෙමින් කඩිනමින් අවශ්‍ය කටයුතු තීන්දු තීරණ ගන්නවා.

5 අපි කඩිනමින් මේ සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වෙරළාරක්ෂක, යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, වරාය අධිකාරිය, වෙරළ ආරක්ෂක හමුදාව ආදී සියලු දෙනාම එකතුවෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වන්දියක් ලබා ගැනීමටත් අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. වගකිව යුතු අදාළ පාර්ශ්වයන් ඒ වගකීම භාර ගත්තා. ඒ අනුව මේ වන විටත් වෙරළ පවිත්‍ර කිරීම වැඩ කටයුතු කර අවසානයි. නාවුක හමුදාව, වෙරළ ආරක්ෂක හමුදාව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතුළුව දහසකට අධික සංඛ්‍යාවක් ඉතාමත් කඩිනම් පියවර ගෙන දැන් ඒ සියලු පවිත්‍රතා කටයුතු සිදු කර අවසන්. මෙහි ඉතිරි කටයුතු සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා, මේ ගින්න සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද? මෙයට වන්දි ගෙවන්නේ කවුද ? වග කියන්න ඕන කවුද ? වන්දි ගෙවියුතු වන්නේ කවුද? කියන කාරණාවන් ගැන නීතිමය කටයුතු කිරීමේදී නිසි ක්‍රමවේදයක් තිබෙනවා. එක පාරට කරන්න බැහැ . වන්දි ගන්න කවුරුත් නැව් ගිනිගන්න ඉඩ දෙන්නේ නැහැ. මේවා මෝඩ තර්ක. මෙහිදී නිපා ආයතනය විසින් අවශ්‍ය නීතිමය පියවර ආරම්භ කර තියනවා. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමේන්තුව සම්බන්ධ කරගෙන නඩු පවරන්න කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි ගන්න හැම තීන්දුවක්ම ගන්නේ ජනතාවගේ පැත්ත හිතලයි. නැවේ ගින්නෙන් සිදුවූ හානියෙන් රසායනික ද්‍රව්‍ය කලපුවලට ගලාගෙන පැමිණීමට ඉඩක් තිබුණ නිසා අපි එවැනි දේවල් සඳහා කඩිනම් පියවර ගත්තා. එසේ වුවහොත් ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවරයන්ට නොහැකි විය හැකි නිසා එවැනි අවස්ථා සඳහා අපි කඩිනම් පියවර ගත්තා. අපි ඒ සඳහා දැනටමත් ආරක්ෂිත වැටක් දාලා රසායනික ද්‍රව්‍ය ගලාගෙන ඒම වැළැක්විමට කටයුතු කළා. ධීවර ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අප කටයුතු කර තියනවා.

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

1 මේ නැව ඉන්දියාවේ වරායට ඇතුළු වීමට ඉඩ දී නැහැ, නැව ඇතුළත කාන්දු වීම් සහිතව නයිට්‍රජන් තිබෙන නිසා. ඊට පෙර ගුජරාටිවල හසීරා වරායට එන්න ඉස්සෙල්ලා ඒක ඇවිල්ලා තියෙන්නේ සද්දාර් වල හමාජ් වරායේ සිට. ලැබිලා තිබෙන විස්තර අනුව ඒ වරායේ සහ ඉන්දියාවේ ගුජරාටිවලත් නැව නවත්තන්න අවසර දීලා නෑ..එහෙම ආ නැව අපේ වරායට ගන්න අවසර දුන්නෙ කවුද? නැවක් මෙහි නතර කිරීම කරන්න ඕනේ නම් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ගුජරාටි වරායෙනුත් ඒක එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙතන තියෙන ගැටලුව තමයි නැවේ අයිතිකාරයා, ඒජන්තවරයා හරහා අපව දැනුවත් කළාද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. එසේ දැනුම්වත් කළා නම් විද්යුත් තැපැල් පණිවුඩයක් මඟින් harbour master දැනුම්වත් කළ යුතුයි. දැන් තිබෙන විස්තර අනුව මේ විද්යුත් තැපැල් පණිවුඩත් නැහැ කියලයි තියෙන්නේ. ඒ කියන්නේ captain පළමුවෙන්ම දැනුවත් කරන්නේ එයාගේ නැවේ හිමිකරුවව. ඒජන්තවරයාට තිබෙනවා වගකීමක් එවැනි දෙයක් ඇති නම් දැනුම්වත් කරන්න. මෙතන සැක කරන්න හේතුවක් තිබෙනවා. කොහොමද අපේ harbour masterලා ලංකාවට එන්න ඉඩ දුන්නේ?

2 අනිවාර්යෙන්ම දැනුම්වත් වුණා නම් මේ විනාශය වළක්වා ගැනීමට ඉඩ තිබුණා. ජාත්‍යන්තර නීතිය අනුව ප්‍රතික්ෂේප කරන්න බැහැ, කන්ටේනර් අරගෙන එහි යම් අලුත්වැඩියා වේ නම් කරන්න අවශ්‍යයි, එයට ක්‍රමවේදයක් තියනවා. එය ඉන්දියාවෙන් කරන්න තිබුණා . අපිට දැනුම් දුන්නා නම් ඒ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි කියලා. රක්ෂණ සමාගම්වලට දාලා වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීමක්ද කියලා අපිට සැකයක් තියනවා. ක්‍රමවේදය අනුගමනය කර බේරා ගැනිමට ඉඩ තිබුණා. ගිලෙන්න යනවා නම් එළියට අරන් යනවා නම් මුලින්ම අරන් යන්න තිබුණා. මුහුදු කිලෝමිටර් 12 එහා තිබුණා නම් අපේ නීතියවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, එය ජාත්‍යන්තර මුහුද නිසා. ඒජන්තවරයා දැනුම්වත් කරන්න ඇති කියලා අපි හිතන්නේ. කපිතාන්ගේ ලොග් පොත බැලිය යුතුයි . රෙකෝඩ් අයින් කරලා කියල අපිට දැනගන්නට ලැබුණා. ඒ ලොග් එක බැලුවොත් ඒකෙනුත් දැන ගන්න පුළුවන්. එතකොට මේ අය ලංකාවට ඇවිල්ල වරායේ නැංගුරම් ලා සිට තිබෙනවා.

3 නැව නැති වුණොත් නැවේ අයිතිකාරයාට රක්ෂණයෙන් වන්දි ලැබෙනවා. එතකොට පරිසර දූෂණයෙන් වෙන හානි ලැබෙන්නේ අපිට. අපේ වරාය තුළ නිසා. හැබැයි පරිසරයට වෙන දූෂණය ගණනය කරන්න බෑ. මේ නැව ඇයි ගෙනාවේ කියලා අපිට සැකයක් තියෙනවා. කිලෝ මීටර් 9.5kmම ඇතුළට තිබුණේ. නිව් ඩයමන්ඩ් නැව ගිනිගත්තා 2020 දී. ඒකෙන් ලැබුණේ රුපියල් මිලියන 450යි. ඒ රුපියල් මිලියන 450 න් මුළු මුදල ලැබිලා නැහැ. නිව් ඩයමන්ඩ් එක ගැනත් හොයලා බලන්න ඕනේ. හොයලා බැලුවොත් ඒකයි මේකයි සම්බන්ධතාවයක් තියෙනවද? කියලා බලන්නත් ඕන. ගනුදෙනු ඒ කාලයේදිත් ක්‍රියාත්මක වෙන්න ඇතිනේ. ඒ කාලයේදිත් නිලධාරීන්, මේ ඇමතිලා එහෙමත් හිටියනේ. අනිවාර්යෙන් මේක ගැන හොයලා බලන්න ඕනේ. මෙහි වාර්තාවක තිබුණා ඒජන්තවරයා විසින් හාබර් මාස්ටර් ට දුරකතන ඇමතුමකින් දැනුම්වත් කර තියෙන්නේ කියලා. ඒක දැන් හොයලා බලන්න වෙනවා. සාමාන්‍යයෙන් දුරකතන පණිවුඩවලින් පමණක් දැනුම්වත් කරන්න බැහැ. විද්යුත් පණිවිඩයක් හරි තියෙන්න ඕනේ. ඉන්දියාවේ ගුජරාටි වරායේ ඉඳලා කොළඹට එන්න පැය 72ක් විතර ගත වෙනවා. හැබැයි දැන් කැප්ටන්ගේ ලොග් එකක් තියනවනේ. කැප්ටන් හැම පැය 8 න් 8 ටම නැව ගැන ලොග් එකේ දාන්න ඕනේ. ඒ ලොග් ඒක බැලුවොත් ඒකෙනුත් දැන ගන්න පුළුවන්.

4 මෙහි හානි රැසක් තියනවා, මේ සිදුවිම් සිදුවුණාම නැව් කර්මාන්තයටම පාඩුවක් . ජාත්‍යන්තර නැව් සමාගම් හිතනවා ලංකාවට එන එක භයානකයි කියලා. ලංකාවේ ප්‍රශ්නයක් ඇති වුණොත් තාක්ෂණයක් නැහැ,අවශ්‍ය යන්ත්‍ර උපකරණ නැහැ කියලා හිතනවා. එය මේ නැව් කර්මාන්තයටම හානියක් වෙනවා. ආනයන අපනයන කර්මාන්තයටත් හානියක්. විෂ වායුව, ප්ලාස්ටික රසායනික ද්‍රව්‍ය නිසා එක පාරටම මාළු කන්න බැහැ. ධීවර ජනතාවගේ ජිවිකාවට ප්‍රශ්නයක් වෙනවා. අපි හුඟක් වෙලාවට යැපෙන්නේ අපේ සංචාරක ව්‍යාපාරය හරහායි. අපේ රටේ සුන්දරත්වය, ‍ඓතිහාසික වටිනාකම්, පැරණි සංස්කෘතිය සහ වනජීවි කර්මාන්තය වැනි දේවල්වලට අපේ රටේ සංචාරක කර්මාන්තයේදි වැඩි වටිනාකමක් දෙනවා. ඒ වගේම අපි අපේ මුහුදු වෙරළ පිළිබඳවත් වඩාත් කතා කරනවා. මේ සියල්ලටම මෙය ප්‍රශ්නයක් වුණා. සංචාරක ව්‍යාපාරයට මෙය ලොකු හානියක්. මුහුදු පතුල, කොරල්පරවලට සහ මුහුදු මත්ස්‍යයන්ට අති විශාල හානියක් සිදුවෙලා තියනවා. මේවා ගණනය කරන්න බැරිතරම්. මෙහි බලපෑම පරම්පරා ගණනාවකට බලපානු ලබන බව මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පවසනවා.

5 මේ පිළිබඳව රජය සොයා බැලිය යුතුයි. මුලික වශයෙන් මේ සම්බන්ධයෙන් වන්දියක් ලබාගත යුතුයි. පාරිසරික හානියට දවසින් දෙකින් විසඳුුමක් ලැබෙන්නේ නැහැ . වන්දිය කොහොමද ලබා ගන්නේ කියන කාරණාව ගැන රක්ෂණ සමාගම් හරහා කරගත යුතුයි. ජාත්‍යන්තර නීති කඩකර තිබෙනවා නම් වන්දියක් ලබා ගැනීමට හැකිද කියලා බැලිය යුතුයි. මේ සම්බන්ධයෙන් අදාළ අංශ සොයා බැලිය යුතුයි. වරාය අධිකාරියේ මැදිහත් වියයුතුයි. මර්චන් ශිපින් ලේකම් කාර්යාලය විසින් ලංකාව නියාමනය සිදුකිරීමේදි ජාත්‍යන්තර නීතිය අනුව නියාමනය වී තිබෙනවාද යන්න සෙවිය යුතුයි. MARPOL ගිවිසුම් වැනි ගිවිසුම් මේ සඳහා වැදගත් වෙනවා. විශේෂයෙන් මෙවැනි ගිවිසුම් අනුව ක්‍රියාත්මක වී තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

1 කපිතන්වරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර යුතුයි. වරායකින් තවත් වරායකට නැවක් පිටත් වන විට ඒ නැවේ යෝග්‍යතාව පිළිබඳ පරික්ෂණයක් කර වාර්තාවක් ලබාදෙනවා . කටාර්වල මේ කාන්දුව පිළිබඳව දැනුම්වත් කරලා අවසර ඉල්ලා තිබෙනවා. කටාර් වරායට ගෙන එන බහාලුම් බෑමෙන් පසුව මෙහි නඩත්තු කටයුතුවලට අවසර ඉල්ලා තිබෙනවා. නමුත් ඇසිට් කාන්දුව ඉවත් කිරීමට කපිතන්වරයා ඒජන්තවරයා දැනුම්වත් කිරිම සිදු නොකළා යැයි අපිට පිළිගන්නට බැහැ .

2 පැහැදිලිව ම වගකිව යුතුයි. වරාය ඇතුළට ඇසිට් කාන්දු වන කන්ටේනරය ඉවත් කර ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. අවසරයකින් තොරව වරායට එන්න බැහැ. සියලු දැනුම්වත් කිරීම්වලින් පසුවයි නැව වරායට ගන්නේ. ඇයි මෙය වරාය ඇතුළට නොගත්තේ? වරායෙන් නාවුක සැතපුම් 12ක් එහා නැවැත්තුවේ ඇයි? නොදැනුම්වත්ව කළා කියලා කිසිසේත් විශ්වාස කළ නොහැකියි. ඒ අය ඉදිරිපත් කරන ලද ලේඛනවල මේ තොරතුරු තියනවා. වරාය ප්‍රධානියාට හාබර් මාස්ටර්ට මේ නැවේ වාර්තා පිළිබඳ දැනුවත් කර තියන්න ඕන. දැනුම්වත් වීමකින් තොරව එනවා නම් එය බරපතල වරදක්. අපිට එය පිළිගන්න බැහැ. වරායට නැවක් ආවාම රේගු නිලධාරින් විසින් ගොස් නැව පරීක්ෂා කළ යුතුයි. නාවුක හමුදාවෙන් මේ පිළිබදව අවබෝධයක් ලබාගත යුතුයි . වරාය අධිකාරියේ නියෝජිතයන් විසින් නැව පරීක්ෂා කළ යුතුයි. නැව නැංගුරම් දාන්නට පෙර මේ සියල්ල සිදුවිය යුතුයි. මේ සියල්ල කළාට පස්සේ නැව ඇතුළට ගන්නේ. නොදැනුවත්ව හිටියා නම් ඇයි මේ නැව වරාය ඇතුළට ගෙනාවේ නැත්තේ. නොදැනුවත් කියන තර්කය අදාළ නැහැ .

3 මින් පෙර එවැනි අත්දැකීම් තිබෙනවා. මෙහිදීත් දේශීය නියෝජිතයාගේ විද්යුත් තැපැල් පණිවුඩ මකා දමා ඇති බව අපිට දැනගන්නට ලැබුණා. ඒවා සිද්ධ වෙන්නේ ඇයිද කියලා අපිට හිතන්න වෙනවා. මේ සම්බන්ධයෙන් මූලික පරික්ෂණ තියන්න කලින් සමහර ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න සුදානම් වුණා.පරිසරයට හානි වුණාට කමක් නැහැ වන්දි ගන්න පුළුවන් කියලා ඒ අය කියන්නේ. අපිට කරන්න පුළුවන් දෙයක් සහ අපිට කරන්න බැරිදෙයක් සම්බන්ධයෙන් වගකිම භාර ගන්නේ කවුද කියන කාරණාව මෙහිදී මතුවෙනවා. නැව ගිනිබත් වුවාට පසුව වගකීම බාරගන්න බැරි බව කියන එක පිළිගත හැකි තර්කයක් නොවෙයි. මින් පෙර නැවක් ගිනි අරන් පරිසරයට වුණ හානිය අපි දන්නවා. ප්ලාස්ටික් එකතු වීමෙන් මත්ස්‍යයන්ට හා සාගරජීවි පද්ධතියට, ජලජීවි පද්ධතියට වන හානියට, සාගර සම්පත්වලට වන හානියට වග කියන්නේ කවුද? නැවට වන්දියක් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි දේවල් කිරීම ඉතාම වැරදියි. අවුරුදු දහස් ගණනකට මුහුදට, මුහුදු වෙරළට, දුර්ලභ මුහුදු ජීවින්ට, කොරල්පරවලට වුණ හානි මුදලින් ගණනය කරන්න බැහැ

4 ඇත්ත වශයෙන්ම මුදලින් ගණන් බලන්න බැරි හානියක් පරිසරයට සිද්ධ වෙලා තියනවා. එය මුදලක අගයකින් මනින්න බැහැ. සාගර ජීවින්, පරිසර පද්ධතිය පිහිටීම, මුහුදු තල්මසුන් කැස්බෑවන් වැනි ජීවින් දුර්ලභ ජීවීන්, කොරල්පර හැදෙන්න වසර දසදහස් ගණන් ගත වෙනවා.

5 අපේ රට නාවුක ගමන් මාර්ගයක් තිබෙන, නැව් තුන්සියයක් විතර ගමන් ගන්නා මාර්ගයක් තිබෙන රටක් ලෙසත් මේ හානිය වළකාගන්නට තිබුණා. අද රටට වෙලා තියෙන්නේ විශාල හානියක්. නැවත මෙවැනි හානියක් සිදුනොවන ආකාරයට අපි ප්‍රතිකර්ම කළ යුතුයි. නාවුක ක්ෂේත්‍රයේ අපිට හැකියාව තියෙනවා. ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ හැකියාව තිබෙන අය ඉන්නවා, මෙවැනි ආපදාවකදී වරද කාගේද කියා සොයා බලා ජාත්‍යන්තර නීතිමය පදනමින් අපිට කළ හැකි දේ කුමක්ද? ඒ ජාත්‍යන්තර නීති පද්ධතිය සමඟ කටයුතු කරන්න අපේ බැඳිම් කොතරම් ශක්තිමත්ද ? ලෝකයටම බලපාන නාවුක නීතියක් තිබෙනවාද? මෙවැනි ක්‍රියාවන් සඳහා වන්දි ලබාගැනීමේ යාන්ත්‍රණය සහ වන්දි සඳහා ඒ ඒ එජන්තයන් සමඟ ඇතිවිය හැකි එකඟතා යන කරුණු පිළිබඳව අප බරපතළ ලෙස මෙහිදී සැලකිලිමත් විය යුතුයි.

Comments