සකුරා මල් අතර සදාකාලික මතක තුළ සුපිපි පොපි මල අයිරිනා | සිළුමිණ

සකුරා මල් අතර සදාකාලික මතක තුළ සුපිපි පොපි මල අයිරිනා

 

වාර්තා පිහිටුවීම සදාකාලික නැත. ඒ සෑම වාර්තාවක්ම අවිනිශ්චිත වන හෙයිනි. සදාකාලික නොවන ලෝකයක සදාකාලික වාර්තා නොපැවතිය හැකිවීම ඊට ප්‍රධාන හේතුවයි. එහෙත් ඈ සදාකාලික වාර්තා ගොන්නක හිමිකාරිණියකි. ඒ කෙසේ සිදුවූයේද යන්න මෙම ලිපියෙන් සංගෘහිත ය.

මලල ක්‍රීඩා ධාවන පථයේ දී වාර්තා බිඳ හෙළන්නන් පිළිබඳ මෙන්ම වාර්තා සම කරන්නන් සම්බන්ධයෙන් පුවත් නිතර නිතර නැතත් ඉඳහිට හෝ වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයකි.

ක්‍රීඩා පිටියේ දී දක්වන දස්කම් වාර්තා ලෙස සටහන් තැබීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුළ ඒ ඒ ඉසව්වන් හිදී දුර, උස හෝ කාලය ගණනයකොට වාර්තා ලෙස සටහන් කිරීම නිසා දැන් මලල ක්‍රීඩාවේ නව වාර්තා සටහනට ද දිගු ඉතිහාසයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව කාලයෙන් කාලයට අලුත් වෙමින් රටින් රට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතින් අතට දැන් මෙම වාර්තා මාරු වෙමින් පවතී. අද වන විට මලල ක්‍රීඩා ලෝක වාර්තා සටහන එම ලේඛනයට ද දරාගත නොහැකි තරම්ම පැවැතියද පැරැණි වාර්තා මකා අලුත් වාර්තා සටහන් කිරීම ද වැළැක්විය නොහැකි ය.

එසේ වුව ද කිසිම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට බිඳ හෙළීමට නොව සම කිරීමටත් තවමත් නොහැකි වූ ලෝක වාර්තාවන් ද ඒ අතර වෙයි.

කෙටි දුර ධාවන ඉසව් ඔස්සේ පිහිටුවා ඇති එම වාර්තාවේ විශේෂත්වයන් කීපයක්ම දක්නට ඇත. ඉන් පළමු වැන්න ක්‍රීඩකයන් අභිබවා යමින් ක්‍රීඩිකාවක විසින් එම වාර්තාව හිමිකර ගෙන තිබීම ය. දෙවැන්න කෙටි දුර ධාවන ඉසව්වලදී වැඩිම දස්කම් දක්වා ඇති අමෙරිකාවට, ජැමෙයිකාවට හෝ එංගලන්තයට එම වාර්තා හිමිව නොතිබීම ය.

දැනට එම වාර්තාව හිමිව ඇත්තේ පෝලන්තයට ය. එරට ක්‍රීඩිකාවක වන අයිරිනා සෙවින්ස්කා ට ය. ඇය අද ජීවතුන් අතර නැතත් ඇගේ වාර්තාව තවමත් ජීවමාන ය. කෙටි දුර ධාවන ඉසව් ලෙස සලකනු ලබන මීටර් 100, 200 සහ 400 යන ඉසව් ත්‍රිත්වයේම ලෝක වාර්තා අයිරිනා තමන්ගේ ක්‍රීඩා දිවිය තුළ හිමි කර ගන්නට සමත්වූවා ය.

ඇගේ මෙම හැකියාව අද වන තුරුම වෙනත් කිසිම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සම කිරීමටවත් නොහැකි වූවකි.

දසක දෙකක් පුරාවට මලල ක්‍රීඩා පිටියේ ධාවන පථයේ බලය පැතිරූ අයිරිනා දිනා ඇති ඔලිම්පික් පදක්කම් ගණන හතකි. යුරෝපීය මලල ක්‍රීඩා රන් පදක්කම් පහකි.

මීටර් 100, 200, 400, 400 කඩුලු මතින් දිවීම, දුර පැනීම හා සත් ප්‍රයාම යන ඉසව් ඇගේ කුසලතාවන්ගෙන් පෝෂණය වී තිබිණි. යුක්රේන මවකගේ හා පෝලන්ත පියකුගේ වැඩිමහල් දියණිය ලෙස 1946 වසරේ උපත ලැබූ ඇය මලල ක්‍රීඩාවට එක්ව ඇත්තේ 14 හැවිරිදි වියේදී ය.

අයිරිනා ලොවම දිනූ මලල ක්‍රීඩිකාවක ලෙස මතුවීමට මඟ පාදා ඇත්තේ ද අහඹු සිදුවීමකි. ඇගේ පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමට පවත්වන ලද තෝරා ගැනීමේ මීටර් 100 තරගයට අයිරිනා ඉදිරිපත් වී තිබුණේ මිතුරියකගේ බල කිරීම මත ය.

ඇය තරගය ජය ගෙන තිබුණේ සෙසු ක්‍රීඩිකාවන්ට වඩා විශාල පරතරයක් ඉදිරියෙන් සිටිමිනි. තරගය විනිශ්චය කළ ගුරුතුමියට ද ඇයගේ තරග නිමි කාලය විශ්වාස කළ නොහැකි විණි. ගුරුතුමිය සිතා ඇත්තේ තමන් අත වූ කාල ගණන යන්ත්‍රයේ දෝෂයක් ඇති වූ බව ය.

එබැවින් එම තරගය නැවත පවත්වන්නට කටයුතු කර තිබුණේ ය. එහෙත් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වූයේ නැත. කාලය ද පෙර පරිදිම ය. එතැන් සිට කෙටි දුර ධාවිකාවක ලෙසින් ඉදිරියට යන්නට එම ගුරුවරියගේ ද සහය ඈට ලැබී තිබිණි.

අයිරිනා ඔලිම්පික් වළලු පහ ඇතුළට එක්වන්නේ දහ අට හැවිරිදි වියේදී ය. ඒ 1964 වසරේ ජපානයේ ටෝකියෝ නගරයේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උලෙළ් දී පෝලන්ත කණ්ඩායම නියෝජනය කරමිනි.

එලෙස ඇරඹි ඇගේ ගමන 1968 මෙක්සිකෝ, 1972 මියුනිච් 1976 මොන්ට්‍රියෙල් හා 1980 මොස්කව් ආදි වශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පහක් තුළ විහිද තිබේ.

මීටර් 100 (තත්. 11.1 -1968), මීටර් 200 (තත්.22.5 -1968), මීටර් 400 (තත්. 49.28 -1976) අයිරිනා පිහිටුවන ලද ලෝක වාර්තාවන් ය. එසේම තත්ත්පර පනහකට අඩු කාලයකදී මීටර් 400 නිම කළ පළමු ක්‍රීඩිකාව ලෙසද සටහන් වන්නේ ඇයගේ නම ය.

මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අයිරිනා සටහන් කළ තත්ත්පර 49.28 තවමත් පෝලන්තයේ ජාතික වාර්තාව ලෙස සටහන්ව ඇත. ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සත්කාරකත්වය ලබා දෙන්නේ ජපානයේ ටෝකියෝ නුවර ය. අයිරිනා සෙවින්ස්කා ලෝක පූජිත මලල ක්‍රීඩිකාවක වීමේ ගමන ආරම්භ කරන්නේ 1964 වසරේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වෙමිනි.

මේ නිසා අද වන තුරුම කිසිම ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයකුට සම කිරීමට පවා නොහැකි වී ඇති විශේෂ වාර්තාවකට හිමිකම් කියන මලල ක්‍රීඩකාවකගේ ගමනට ආලෝකය සැපයූ ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ් දී ඇයව සිහිපත් කිරීම මඟ හැරී ගිය හොත් එය විශාල අත්වැරැද්දක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

 

 

සීවලී එදිරිවීර

Comments