ක්‍රිකට් කොන්ත්‍රාත්කාරයෝ සහ මූල්‍ය භාරයේ සකසුරුවම් හැසුරුම | සිළුමිණ

ක්‍රිකට් කොන්ත්‍රාත්කාරයෝ සහ මූල්‍ය භාරයේ සකසුරුවම් හැසුරුම

 

මේ දිනවල වැඩියෙන් සංවාදයට බඳුන් වන මාතෘකා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව ද වේ. කොවිඩ් වසංගතය හා එන්නත්කරණය, සොබාදහමේ රළු වීම් මෙන්ම පෙර කී මාතෘකාව කෙරෙහි ද සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ට අත්සන් කරන්නට යැයි කී වාර්ෂික වැටුප් කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්නේ ද නැද්ද යන්න ගැන විවිධ සංකථන, සල්ලාප හා පරිකතා මතු වෙමින් ඇත්තේ ද එහෙයිනි. මේ සියලු සල්ලාප අතර අන්තර්කාලීන වැටුප් කොන්ත්‍රාත්තුවකට අත්සන් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය දා එංගලන්ත සංචාරය සඳහා පිටත්ව ගියේ ය.

'ක්‍රීඩක වැටුප් කප්පාදු නොකළ යුතුයි. ඔවුන්ට නිසි ලෙස වැටුප් ගෙවීම වැදගත්.' යැයි පවසන පිරිස අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම, මැදහත් සමාජ මතධාරීන් ද දක්නට ලැබුණේ ය.

'අපි ක්‍රිකට් ක්‍රීඩා කරන නිසා තමයි ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ. ඒ මුදල් නැත්නම් ඔවුන්ට කිසිවක් සිදු කරන්න බෑ. ඒ නිසා ඔවුන් අපට වැටුප් ගෙවීමේදී යම් යම් කොන්දේසි දමලා අපව අධෛර්යයට පත් නොකළ යුතුයි. මේ ගිවිසුම ඉරා දමලා ක්‍රීඩකයන්ට සාධාරණ ගෙවීමක් සහිත නව කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමට අවස්ථාව උදා කළ යුතුයි.' යන්න ක්‍රීඩකයන්ට පක්ෂව අදහස් දක්වන පාර්ශ්වයන්ගේ මතය ය.

එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ මත දරන පාර්ශ්ව ද නැත්තේ නොවේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හි පහතටම බැස ඇති හෙයින් හා කණ්ඩායමේ සමස්ත දක්ෂතාවයන් ගේ ප්‍රබල දුර්වලතා, ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් කිසිදු කේවල් කිරීමකින් තොරව අත්සන් තැබිය යුතු බව එම කණ්ඩායම්වල නිගමනය යි.

අර්බුදයක් එය තුළ සිට නිරීක්ෂණය කිරීමේ දී තමන් දරන ස්ථාවරයට පක්ෂපාතී නිගමන නිර්මාණය වීම වළක්වනු නොහැකි ය. එහෙයින් මෙවැනි අර්බුදයක් පිටත සිට මාන කීපයක් ඔස්සේ විමර්ශනය කරන්නේ නම් සාධාරණ පිළිතුරක් හා විසැඳීමක් සොයා ගැනීමට අසීරු වන්නේ නැත.

ඒ අනුව ක්‍රීඩක වාර්ෂික කොන්ත්‍රාත් සිද්ධියේ විශාල චිත්‍රය දෙස බලන්නකුට පහසුවෙන් වැටහෙන්නේ මෙම සිදුවීම චක්‍රීය දාමයක් බව ය. එනම් එක සිදුවීමකට තවත් සිදුවීමක් සම්පූර්ණයෙන්ම සම්බන්ධ බවත් ඒවා වියුක්ත කර මෙකී අර්බුදය විසඳිය නොහැකි බවත් ය.

එය තවත් පැහැදිලි කරන්නේ නම් ජාතික ක්‍රිකට් කණ්ඩායම සතු විභවතාවන් ලෝකය හමුවේ තීරණය කරනු ලබන්නේ තරග ජයග්‍රහණ මඟිනි. තරග ජයග්‍රහණයන්ට සාපේක්ෂව ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි. ඊට සමානුපාතිකව අනුග්‍රාහක ගිවිසුම් මිල තීරණය, විකාශන අයිතිය අලෙවි කිරීම මඟින් සැලකිය යුතු මුදල් සම්භාරයක් උපයා ගැනීමට අවස්ථාව උදා වෙයි. යම් හෙයකින් ජාතික කණ්ඩායමක් ප්‍රමාණවත් දක්ෂතා ප්‍රකට නොකරන්නේ නම් රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීමේදී විවිධ කේවල් කිරීම්වලට මුහුණ දෙන්නට සිදුවීම නොවැළැක්විය හැක්කකි. එවිට සිදු වනුයේ උපයා ගැනීම් සීමා සහිත ත්ත්ත්වයකට පත්වීම ය.

එසේ නම් එලෙස විකාශන අයිතිය මෙන්ම සෙසු අනුග්‍රාහක අයිතීන් අඩු ලංසුවකට වෙන්දේසි කිරීමට වඩා සාධාරණ මිලකට අලෙවි කළ හැක්කේ දක්ෂතා දක්වන ජාතික කණ්ඩායමක් ගොඩනංවා ගැනීමෙනි. එවැනි දක්ෂතා දක්වන කණ්ඩායමක් නිර්මාණය කිරීමේදී ක්‍රීඩකයන් සංතෘප්ත මානසික තත්ත්වයක පසුවිය යුතු ය. ඒ සඳහා ලබා දෙන එක් ප්‍රතිලාභයක් ලෙස ඔවුන්ට ලබා දෙන වාර්ෂික මූල්‍ය ගිවිසුම සාපේක්ෂව සංතෘප්තික පසුබිමක් ක්‍රීඩකයන් තුළ නිර්මාණය කළ යුතු ය.

සාධාරණ ගෙවීම් හිමි වන විට එම ගෙවීම් අහිමි කර ගැනීම වෙනුවට එයට තවත් පාරිතෝෂික දීමනා එක් කර ගැනීමට ක්‍රීඩකයෝ පසුබට නොවෙති. එය එසේ වද්දී එවැනි දක්ෂතා දක්වන සංතෘප්ත කණ්ඩායමක් මඟින් වැඩි වශයෙන් ජයග්‍රහණ හා වඩා උණුසුම් සහගත තරග දැක ගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වෙයි. එවිට පෙර කී ආකාරයේ විකාශන අයිතිය ඉහළ අගයකට අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සැලකිය යුතු කොටසක් එම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් ඉහළ නංවා ගැනීමට වියපැහැදම් කිරීමට බලධාරීන්ට අවස්ථාව හිමි වෙයි. එයින් සිදු වනුයේ චක්‍රීය දාමයක් ලෙස දක්ෂ ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් නිර්මාණය වීම සහ ජාතික පිලේ ස්ථානයක් දිනා ගැනීමට සටන් වදින තරගකාරී ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ය. එමඟින් එම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ඉහළ යෑමට හා ශ්‍රේණිගත කිරීම් හි ඉහළ ස්ථානයකට පත්වීමටත් වැඩි අවස්ථා හිමි වෙයි.

මේ සියල්ල සිදු කළ හැක්කේ ක්‍රීඩකයන් සංතෘප්තියට පත්කරමින් හා ඔවුනට ඉලක්ක ලබා දී ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමෙනි. එහෙත් එය දාම් පෙතේ ඉත්තන් අදින්නාක් මෙන් ක්‍රීඩකයන් ඔබ මොබ ඇද දමා, වේතන කොන්ත්‍රාත්තු හිතුමතේ අඩු කර, වැඩි මිල පුහුණුකරුවන්ගේ සහයෝගය හැකිතාක් ලබා දීමෙන් පමණක් උදා කර ගත නොහැකි ය.

එසේ නම් මෙම ගැටලුවට විසඳුම ඇත්තේ කොහේ ද? අපට පෙනෙන ආකාරයට නම් ක්‍රීඩකයනට ආයතනික අනුග්‍රාහකත්වයක් ලබා දීම, ජාත්‍යන්තර ආරාධිත තරගාවලි සඳහා ඇති අවස්ථාවන්ට උනන්දු කර වීම, විනිවිද භාවයෙන් යුතු ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දී ලකුණු ලබා දීමේ ක්‍රමයකට අනුව වැටුප් වර්ධක හිමි කර දීම ආදි ක්‍රියාවලි මඟින් කණ්ඩායමේ ක්‍රීඩක දක්ෂතා වර්ධනය කළ හැකි ය.

එහෙත් එය සිදු කළ යුත්තේ සමනලයා හා මල අතර ඇති ගනුදෙනුව තරම් සියුම් භාවයෙන් යුතුව ය. ක්‍රීඩකයන් මෙහෙයවා උපයන මුදල් විනිවිදභාවයෙන් යුතුව කටයුතුවලට යෙදවිය යුතු බව ක්‍රීඩකයන් තුළ විශ්වාසයක් ගොඩනැංවීම ද ඒ අතර ප්‍රමුඛ අවස්ථාවකි. එසේ නොමැතිව ක්‍රිකට් මූල්‍ය භාරය නාස්තිකාර ලෙස භාවිත නොකරන බව එහි පරිපාලන වගකීම් දරන බලධාරීන් විසින් සැම විටම රටට ඒත්තු ගැන්විය යුතු ය.

එය එසේ වන විට ක්‍රීඩකයන් ෂයිලොක්ලා ගේ මානසික තත්ත්වයට ඇද වැටෙන්නේ නැත. මස් රාත්තලම ඉල්ලන ආකාරයට වැඩි වැටුප් ඉල්ලන්නට පොර බදන්නේ ද නැත. ඒ වෙනුවට ඔවුන් කරනුයේ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කර ජයග්‍රහණ හඹා යෑමට උත්සාහ කිරීමයි. තමන් සතු පූර්ණ විභවතා තරගයක දී ඉවතට ගැනීමට උත්සුක වීමයි.

මෙම සියලු කටයුතු සිදු කළ හැකි එක් පොදු න්‍යායක් තිබේ. ඒ විනය ය. පරිපාලකයන් වශයෙන් පැවැතිය යුතු විනය, විශේෂයෙන් මූල්‍ය විනය පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කළ යුතු ය. එය ක්‍රීඩකයන්ගේ විෂයේ ද එසේම ය. එවිට යළි ප්‍රතාපවත් පිළිගැනීමක් ලබන, ලෝකය තුළ නමක් දිනාගත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත අභිමානනීය ක්‍රිකට් රාජ්‍යයක් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදා වනු කිසිවකුටත් වළකනු බැරිය.

Comments