පදක්කම් දිනිය හැකි වචන පුහුණුව | සිළුමිණ

පදක්කම් දිනිය හැකි වචන පුහුණුව

කුමන හෝ දෙයකට ඔබ අකමැති නම් ලැබෙන්නේ ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල නොවේ.

 

ක්‍රීඩකයෙකු ජය හෝ පරාජය ලබන්නේ තරගය තුළදී පමණක් ද ? සෑම අයෙකුටම සිය මනසෙහි පුදුමාකාර බලයන් සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත. මේවා අපට දැක ගත හැක්කේ ක්‍රියාවන් තුළින් පමණි.

'ක්‍රීඩකයෙකු ජය හෝ පරාජය ලබන්නේ තරගය තුළදී පමණක් ද ? පදක්කම් ලබාගත හැක්කේ පුහුණුවීමෙන්ම ද? එසේත් නැතහොත් අහස දෙස බලා දෙවියන් සිහිකර, පපුවේ කුරුසය සලකුණු කර හෝ සුරය අතගා එසේත් නැතහොත් දණින් වැටී හිස බිම ඔබා දෙවියන් නමැදීමෙන් ද?'

සෑම අයෙකුගේම මනසෙහි පුදුමාකාර බලයක් ඇත. ඒ සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාවක් ද පවතී. මේවා අපට දැක ගත හැක්කේ ක්‍රියාවන් තුළිනි.

මෙම සියලු ක්‍රියාවන්වලට ප්‍රතිඵල හිමිය. ඒ නිව්ටන් ගේ නියමය සේමය.

උදාහරණයක් වශයෙන් ක්‍රීඩකයෙක් ඉතා හොඳින් පුහුණුවීම් කළ හොත් තමා සිටියාට වඩා හොඳ තත්වයක් උදාකරගත හැකි අතර ජයග්‍රහණය පවා ලබාගත හැකිය.

ක්‍රීඩා පුහුණුව පමණක් නොව කුමන හෝ දෙයකට ඔබ අකමැති නම් ලැබෙන්නේ ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල නොවේ.

මේවා සරල සිද්ධාන්තය. එහෙත් වර්තමානයේ අසන්න දකින්න ලැබෙන්නේ බාහිරින් අත්වන බලපෑම් නිසා කොපමණ දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් ඊට මැසිවිලි නැගීම සහ පසුබට වීමය. මේවා ඔවුන්ගේ ක්‍රියාව සහ වචන තුළ දක්නට ලැබෙන්නකි. එහි බැරෑරුම්බව ඇත්තේ ඒවා පසුව ක්‍රීඩකයාගේ හැඟීම් බවට පත්වන හෙයිනි.

මෙම හැඟීම් වලින් ඇති කරන උද්දීපනය යනු ක්‍රියාව සහ ප්‍රතිඵලය ය. එනම් ක්‍රියාවක් කිසිවිටකත් හැඟීමක් නොමැතිව සිදුනොවේ.

ඔබ ක්‍රීඩකයෙක්ගෙන් ප්‍රතිවාදියා ගැන ඇසූ විට ලැබෙන, පිළිතුර තමාට ඇති අඩුපාඩුවක් හෝ අභියෝගයක් ගැන නම් ඉන් කියැවෙන්නේ ඔහු සතුටින් නොසිටින බවය. එය ක්‍රියාවටත් ඉන්පසු ඇතිවන ප්‍රතිඵලයටත් සෘජුවම බලපෑම් කරයි. එම තත්ත්වය ඉලක්කයට යාමට ඔහුට එල්ල කරන ප්‍රබල බාධකයකි. මේ නිසා ක්‍රීඩකයෙකුගේ මානසික සමබරතාවය ඉතා වැදගත් වෙතැයි සැලකෙයි.

අනිච්චානුගත ක්‍රියා හැර අනෙක් සෑම ක්‍රියාවකටම හැඟීම බලපාන්නේය. මෙම හැඟීම ජනිත වන්නේ කොහෙන් ද?

ඇත්තෙන්ම හැඟීම් ඇති වෙන්නේ ආකල්පවලිනි. ඉතා ඕනෑකමින් අපි යමක් දිහා බැලුවොත් අප තුළ විවිධ ආකල්ප ඇතැයි අවබෝධ වෙයි. සමහර ඒවා ධනාත්මක ආකල්ප මෙන්ම සෘණාත්මක ආකල්ප වෙයි. අපට අප ගැන හෝ ප්‍රතිවාදී කණ්ඩායම, අපට ඇති පහසුකම් ගැන කුමන ආකල්ප තිබුණත් එය අපේ හැඟීම් වලට බලපෑම් කරයි. එම හැඟීම් අපේ ක්‍රියාවටත් (පුහුණුවීම් වලදී සහ තරඟ බිමේදී), ක්‍රියාව ප්‍රතිඵලයට බලපෑම් කරයි.

උදාහරණයක් වශයෙන් යම් ක්‍රීඩාවකට අදාළ පරිපාලනයේ ඇති දුර්වලතා ක්‍රීඩකයන්ගේ හැඟීම් වලට බලපායි. එම හැඟීම් අනුව ඇති වන්නේ දිගින් දිගටම ඔවුන් තුළින්ද අඩුපාඩු මතුව ඒමය.

මේ ආකල්ප අහම්බයෙන් ඇතිවෙන දේවල් නොවේ. ඒවා නිර්මාණය කරන ලද බල පවත්වන හෝ සම්පූර්ණයෙන්ම බලපෑම් ඇතිකරන අපගේ විශ්වාසයන් හේතුකොටගෙන ඇති වෙයි.

එයින් කියැවෙනුයේ අපගේ ආකල්ප ඇති වන්නේ විශ්වාසයන්ගෙන් බවය. යමෙක් තුළ විශ්වාසයක් පවතින්නේ නම් ඒවා බිඳ දැමීමට නොහැකි තරම් ප්‍රබලය. එකී විශ්වාසයන් අප තුළ ආකල්ප නිර්මාණය කරයි. එම ආකල්ප හැඟීම් ගොඩනංවයි. හැඟීම් තුළින් ක්‍රියාවන් උත්පාදනය වේ. එම ක්‍රියා නිසා යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ඇති වෙයි. දුර්වල ක්‍රීඩා විලාශය ක්‍රියාව වන අතර මෙහි ප්‍රතිඵලය පරාජයයි.

එම නිසා අපට ඉතා පැහැදිලි ව පෙනී යන්නේ ක්‍රීඩකයෙකු සිය විශ්වාසයන් තීව්‍රර කරගත යුතුම බවය.

විශ්වාසයක් ඇති වෙන්නේ අප තුළ ඇති programming එක මඟිනි. ග්‍රීක භාෂාවෙන් මෙහි අර්ථය කලින් ලියන ලද යන්නයි. මෙසේ කලින් ලියන ලද විශේෂ වැඩසටහනක් ක්‍රීඩකයෙකු තුළ ද ක්‍රියාත්මකය. ඒ නිසා යමෙකු ක්‍රීඩා කිරීම තමාට යෝග්‍ය යැයි තෝරාගන්නේ සහජයෙන් ලද හෝ වාසනා මහිමය නිසා නොවේ. කලින් ලියන ලද වැඩසටහනක් එනම් program එක නිසාය. එම program එකට බලපාන්නේ ඔහු නිතර ඇසුරු කරන වටපිටාවයි.

එම වටපිටාවෙන් ලැබෙන පෝෂණය ඔහු තුළ program එකක් ගොඩ නංවයි. යමෙකු ක්‍රීඩාවෙහි විශිෂ්ටයකු වීම හෝ මධ්‍යස්ථ දක්ෂතා දැක්වීම හෝ පරාජිතයකු වීම මෙම program එකෙහි ප්‍රතිඵලයකි. ක්‍රීඩකයෙකුට අභිප්‍රේරණය(motivation) නිසා කුසලතා දැක්වීමට ඇරඹුමක් ලැබුණත් තමා තුළ ඇති program එක ඊට වඩා බලවත් වීමෙන් අභිප්‍රේරණය යටපත් වන අවස්ථා ඇත්තේ එහෙයිනි.

ක්‍රීඩකයා තුළ ක්‍රියාත්මක program එක කිසිසේත්ම වෙනස් කළ නො හැකි දැයි යමකු ඇසුවහොත් අපට කිවිය හැක්කේ හැකිය යන්නයි.

ආචාර්ය ත්‍රඩ් හෙල්ම්ස්ටෙතර්ට අනුව එසේ තමන්ගේ වැඩසටහන (program) වෙනස් කළ හැක්කේ ස්වකීය ආමන්ත්‍රණය (Self-talk) මගිනි. ක්‍රීඩකයා තමාගේ ජයග්‍රහණය තකා මෙම ස්වකීය ආමන්ත්‍රණය මගින් නිරන්තරයෙන්ම ඉහත කී program එක ධනාත්මකව වෙනස් කළ යුතුය.

ඔබ මෙය උත්සාහ කරන ප්‍රථම වතාවේදීම ලැබෙන ප්‍රතිඵල දැක විශ්මයට පත්වනු ඇත.

ධනාත්මක වැකි ලියා නිතර නිතර ශබ්ද නගා ඔබවම ඇමතීම හා ඔබටම ඇසීමට සැලැස්වීම මගින් ස්වයංක්‍රීයව යටිසිත ඔබ තුළ වැඩසටහනක් ලියයි.

විශ්වාසයේ තෝතැන්න හටගන්නේ මෙතැනින්ය. ඔබේ යටි සිත තමන් ලියූ වැඩසටහන මගින් ඉහත චක්‍රය සක්‍රීය කෙරේ. එම විශ්වාසයන් ඔබ නිතර දරන ආකල්පයන් බවට පත්වන අතර එම ආකල්පයන් ඔබ තුළ ජනිත වන හැඟීම් බවට පත්වන්නේ එලෙසය.

මීටර් දෙකයි දශම තුනක් උස පැනීම කරන්නට හැකි දෙයක් ලෙස විශ්වාසයක් නැති අයට ඒ ගැන ධනාත්මක ආකල්පයක් නැති අතර තමන්ට හැකි යැයි හැඟීමක් ද ඇති නොවේ. තමන්ගේ පුහුණුකරු හෝ සුභ පතන්නන් සැනසීමට තමන් දිනනවා යැයි පැවසුව ද සිය ඉසව්වට ඇති බිය නිසාම ජයග්‍රහණයේ හැඟීම අනිවාර්යෙන් පලුදුවේ. එවැන්නෙකුට එම ක්‍රියාව ඉතා බියජනක තැතිගන්නා සුළු අත්දැකීමකි. එහි ප්‍රතිඵලය ඔබට හිතා ගත හැකියි.

වචනය මේතරම් බලවත් ඇයි ඔබ නිකමටවත් සිතුවාද ?

 

 

Comments