Galaxy Cup වොලිබෝල් තරගාවලිය | සිළුමිණ

Galaxy Cup වොලිබෝල් තරගාවලිය

ජෝශප් වාස් හා නාවික හමුදාව මන්දාකිණියේ ලැගුම් ගනී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ‘Galaxy Cup’ වයස අවුරුදු 25න් පහළ සුපර්ලීග් වොලිබෝල් ශූරතාවයේ පිරිමි ශූරතාව වෙන්නප්පු ජොශප් වාස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දිනාගත් අතර, කාන්තා ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට හිමිවිණි.

මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාගාරයේ පැවැති මෙම අවසන් තරග අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම අනාගත වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් නැවුම් අපේක්ෂා ගොනුකරලීමක් විය.

පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ ජෝශප් වාස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී පළමු වටය 25-20 ක් ලෙස විදුලි බල මණ්ඩල කණ්ඩායම ජය ලැබීය. දෙවැනි හා තෙවැනි වට පිළිවෙලින් 25-22 ක්, 25-19 ක් වශයෙන් ජයගත්තේ ජෝශප් වාස් කණ්ඩායමයි.

විදුලි බල මණ්ඩලය යළි තරගයට අවතීර්ණ වෙමින් 25-23 ක් ලෙස සිව්වැනි වටය ජය ගත් අතර, තීරණාත්මක පස්වැනි වටයේ දී 16-14 ක් ලෙස ජෝශප් වාස් කණ්ඩායම ජයගත්තේ ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ දහයක ත්‍යාගයට හිමිකම් කියමිනි.

අනුශූරයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ප්‍රදානය කෙරිණි.තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක ත්‍යාගය පිරිනැමුණේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ය.

කාන්තා තරගාවලිය

හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජ කාන්තා කාණ්ඩායම පරදා එහි කාන්තා ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා පිල ජයගත්තේ ය.

එහි අනුශූරතාව හයිඩ්‍රාමනී ආයතනයටත්, තෙවැනි ස්ථානය මහ උස්වැව ක්‍රීඩා සමාජයටත් පිරිනැමිණි.

විශේෂ ත්‍යාග

හොඳම පිරිනමන්නිය/ තරගාවලියේ ශූරිය - කවීෂා ලක්ෂාණි පෙරේරා (නාවික)

හොඳම ලබන්නිය - සුපිපි ප්‍රබෝධා (නාවික)

හොඳම ප්‍රහාරිකාව - දිල්රුක්ෂි හර්ෂනී ( හයිඩ්‍රාමනී)

හොඳම සකසන්නිය- දිල්කි චාරුකා (නාවික)

හොඳම ආවරණය කරන්නී - ශකිරා ලක්ෂානි (නාවික)

හොඳම ආරක්ෂිකාව - එස්. ප්‍රියදර්ශනී (හයිඩ්‍රාමනී)

පිරිමි

හොඳම පිරිනමන්නා/ තරගාවලියේ ශූරයා - චමිත් දිල්ෂාන් (ජෝශප් වාස්)

හොඳම ලබන්නා - මිරාන් සන්තුෂ් (ජෝශප් වාස්)

හොඳම සකසන්නා - මලීෂ රිවිෂාන් (ජෝශප් වාස්)

හොඳම ප්‍රහාරකයා - ලක්ෂිත බණ්ඩාර (විදුලි බල මණ්ඩලය)

හොඳම ආවරණය කරන්නා - අෂේන් මලින්ත (ජොශප් වාස්)

හොඳම ආරක්ෂකයා - දුලාර චන්ද්‍රසිරි (විදුලි බල)

ශූරතාවයට හිමි කුසලාන සහ මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්ත මහතා වෙතින් කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම වෙත පිරිනැමිණි.

සීවලී එදිරිවීර

ඡායාරූප - කුමරේශ්

Comments