ජීවක පර­පුරේ ජීව­මාන ගුරු තරුවක් ගාල්ලේ එළි­ස­බෙත් සේනා­නා­යක | සිළුමිණ

ජීවක පර­පුරේ ජීව­මාන ගුරු තරුවක් ගාල්ලේ එළි­ස­බෙත් සේනා­නා­යක

ගාල්ලේ “එළි­ස­බෙත් සේනා­නා­යක” ගුරු මාතා­ව
ගාල්ලේ “එළි­ස­බෙත් සේනා­නා­යක” ගුරු මාතා­ව

ම්පූර්ණ ජීවිතය ම ඒ වෙනුවෙන් ම වෙන් කළාය. වෙනත් කිසිම පෞද්ගලික අභිමතාර්ථයක් හෝ නොතිබුණු ඇය නිරන්තරවම සිතුවේ තමන් වටා සිටින දියණිවරුන්ගේ යහපත් අනාගතය පමණි. තමන්ගේ ජීවිතයේ සැප විහරණය පවා පසෙක තැබූ ඇය තමන් හමුවට එන සෑම දියණියකගේ ම අනාගතය යහපත් වේවායැයි පැතුවාය. ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කළා ය. මේ අපූරු ගුරු මාතාවකි. ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාමයේ උප ගුරුවරියක ලෙස තම ජීවන වෘත්තිය ආරම්භ කර පසුව එහි නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස විශ්‍රාම ලැබූ ඇය සියලු දේ කැප කළේ ශ්‍රී හෘදය කන්‍යාරාමය වෙනුවෙන් හා එ‍හි ඉගෙනුම ලැබූ දියණිවරුන් වෙනුවෙනි. ඇය සුවිශේෂී වන්නේ මේ විද්‍යාලයේ ගුරුවරියක වීම හේතුවෙන් නොවේ.

 

ඇය ඉගෙනුම ලැබුවේ ද එම විද්‍යාලයේ ම ය. විශ්‍රාම ලැබීමෙන් පසුව ද ඇය තවමත් වැඩිම කාලයක් ගත කරන්නේ එම විද්‍යාලය වෙනුවෙනි. විදුහලේ සංවර්ධනය වෙනුවෙනි, එහි සිසුවියන්ගේ උන්නතිය වෙනුවෙනි.

පාසලේ හිටපු විදුහල්පතිනිය සහ ආදි සිසුවියන් සමඟ විනෝද චාරිකාවකදී
ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාම විද්‍යාලය 

දැන් 85 වැනි වියේ පසුවන ඇය විශ්‍රාම ලැබූ පසු වසර 25ක් පුරා ලැබුණු වැටුපෙන් වැඩිම කොටසක් වැය කළේ තමන් ඉගෙනගත් හා පසුව ඉගැන්වූ පාසල වෙනුවෙනි.

මේ ගාල්ලේ “එළිසබෙත් සේනානායක” නම් ගුරු මාතාවයි.

1936 මැයි මස 03 වැනි දින සේරා පණ්ඩිතරත්න මවගේ කුසින් ඇල්ෆ්‍රඩ් ඩැනියෙල් සේනානානයකට දාව පවුලේ වැඩිමල් දරුවා ලෙස උපත ලැබූ ඇයට බාල සහෝදරියන් 05 දෙනෙක් සහ බාල සහෝදරයෝ 05 දෙනෙක් සිටිති.

දැන් වයෝවෘද්ධව සිටිය ද ඇය පාසල් යන කාලයේ දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඒ පිළිබඳ සහිපත් කරන්නේ මහත් උද්යෝගයකිනි.

එකල දකුණේ අධ්‍යාපන සාධන මට්ටම්වලින් ශ්‍රී හෘදය කන්‍යාරාමය පළමුවන ස්ථානයේ තිබූ බව ඇය සිහිපත් කරයි. අධ්‍යාාපනයෙන් ද විශිෂ්ට කුසලතා දැක්වූ එලිසබෙත් ශිෂ්‍යාව ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගය හොඳින් සමත්වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා වරම් හිමි කරගත්තාය. ඇය සමඟ සම වයසේ තවත් ශිෂ්‍යාවන් 04 දෙනකු ගාල්ලේ කන්‍යාරාමයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයට වරම් හිමිකර ගෙන තිබිණි. එහි දී සිංහල, ආර්ථික විද්‍යාව හා භූගෝල විද්‍යාව හැදෑරූ ඇගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාව උදා වන්නේ ඉන් අනතුරුවය.

“විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේදී එවකට කන්‍යාරාමයේ විදුහල්පතිව සිටි සිස්ටර් ඒඩ්රියන් මට ලියුමක් ලියලා එවල තිබුණා ඉස්කෝලේ උගන්වන්න එන්න කියලා. ඉතින් මම ඒ ආරාධනය පිළිගත්තා. එදා ආවට පස්සේ දිගමට හිටියේ මේ ඉස්කෝලේ. ආයෙත් වෙනත් තැනක් ගැන හිතුවේ නැහැ.”

එදා එලෙස ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය තම ජීවිත කාලයම පාසල වෙනුවෙන් කැප කළාය.

මේ කාලයේ ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය බොහෝ වෙනස්කම්වලට භාජනය වෙමින් තිබිණි. කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන විසින් පවත්වාගෙන ගිය පාසල් මෙන්ම පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසල් පවා රජයට පවරා ගනිමින් තිබිණි.

මේ කාලයේ තවත් අපූරු චරිතයක් ශ්‍රී හෘදය කන්‍යාරාමයේ සිටියේය.

ඒ එහි පළමු ශ්‍රී ලාංකීය විදුහල්පතිනිය වූ රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියයි. ඇය පාසලේ විදුහල්තිනිය වනවිට පාසලේ ගුරුවරියක ලෙස සිටි එලිසබෙත් සේනානායක ගුරු මාතාව රොසිනා නානායක්කාර කන්‍යා සොයුරියට අයෝමය ශක්තියක් වූවාය.

ශ්‍රී හෘදය කන්‍යාරාමයට රොසිනා නානායක්කාර හා එලිසබෙත් සේනාන­ායක යනු ගසට පොත්ත මෙන් බද්ධ වූ දෙදෙනෙකි.

ඇගේ විශේෂත්වයක් තිබේ. ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ දැරියන් දහස් ගණනකගේ නම් ගම් ඇතුළු සියලු තොරතුරු ඇයට තවමත් මතකය. ඔවුන් පාසලේ දී කළ කී දේ මෙන්ම ඔවුන් දැන් කරන රැකියා පවා ඇය දනී. ඇය තමන්ගේ සෙවණේ අධ්‍යාපනය ලැබූ කිසිම දියණියක් පාසලෙන් පසුව ද අමතක කර නැත. ඔවුන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යෑම අැගේ සිරිතයි. ආදි ශිෂ්‍යාවෝ ද එසේමය. ඔවුන් සැමට එලිසබෙත් ගුරු මාතාව යනු තම මව හා සම කළ හැකි ගුරු මාතාවකි. ඒ තරමටම දරුවන්ගේ හදවත් දිනා සිටින්නීය.

පාසලේ ඉගෙනුම ලබන කාලයේ දී ම බාලදක්ෂිකාවක වූ ඇය පාසලේ උගන්වන කාලයේ දී ද බාලදක්ෂිකා ව්‍යාපාරය පවත්වාගෙන ගියාය. ඇය ජීවත්වන නිවස කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව බාලදක්ෂ කඳවුරු පවා සංවිධානය කරන එළිසබෙත් ගුරු මාතාව දකුණු පළාත් බාලදක්ෂිකා කොමසාරිස් වරියක මෙන්ම ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා කොමසාරිස්වරියක ද විය. දකුණේ අති දුෂ්කර තණමල්විල වැනි ප්‍රදේශවල පාසැල් වලද බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීමට ඇය මූලික වූවාය. බාලදක්ෂිකාවන් වෙනුවෙන් කරන ලද සේවය හේතුවෙන් ඇය ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් පිරිනමන ඉහළම සම්මානය වූ “හංසපූට්ටුව සම්මානයෙන්” ද පිදුම් ලැබුවාය.

එළිසබෙත් සේනානායක ශ්‍රී හෘදය කන්‍යාර‍ාමයේ ඉගෙනුම ලැබුව ද ඇය ඇදහූ ආගම වූයේ බුද්ධ ධර්මයයි. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද වූ ඇය ආගමික කටයුතු පිළිබඳ මෙසේ කීවාය.

“අපේ ඉස්කෝලේ කොන්වන්ට් එකක් නිසා සමහරු හිතනවා ආගමේ ඉස්කෝලයක් වෙන්න ඇති කියලා. විදුහල්පතිනිය සිස්ටර් කෙනෙක්. නමුත් නියෝජ්‍ය විදුහල්පති හැටියට හිටපු මම බුද්ධාගමේ. ඉස්ලාම් ළමයි හින්දු ළමයි හිටියා.

අපි පාසලේ නත්තල්, පාස්කු වගේ සියලු ආගමික උත්සව සමරනවා වගේම පිරිත් කියනවා, දාන දෙනවා, තෛපොංගල් සමරනවා, නබි තුමාගේ උපන්දිනය සමරනවා. හරිම සමගියකින් ළමයි හැමෝම ගුරුවරු එක්ක එකතුවෙලා මේවා කළා.” ගුරුවරියක හා නියෝජ්‍ය විදුහල්පතිනියක වූ ඇයට වරක් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයක් ලැබී තිබිණි.

“මාව ඉස්කෝලෙන් එළියට අදින්න අධ්‍යක්ෂ ධූරයක් දුන්නා. මම කිව්වා ඒක බාරගන්න බෑ කියලා; මම උසස්වීම් ගත්තේ නැහැ. පාසල දාලා ගියේ නැහැ”

1941 වර්ෂ‍යේ දී කුඩා ශිෂ්‍යාවක ලෙස ශ්‍රී හෘදය කන්‍යාරාමයට පිය නැඟූ ඇය අතුපතර විහිදුණු මහා වෘක්ෂයක් සේ තවමත් පාසලට සෙවණ සපයන්නීය.

එම පාසලේ ඉතිහාසයේ වැඩිම කාලයක් පාසල වෙනුවෙන් ම කැප වූ ඇය ශ්‍රී හෘදය කන්‍යාරාමයට වසර 125ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දැඩි උනන්දුවකින් හා කැපවීමකින් පාසල් ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරයක් ද නිර්මාණය කළාය. ඇය පවසන්නේ පාසලේ සියලු තොරතුරු අකුරක් නෑර එහි තැන්පත් කළ බවයි.

එළිසබෙත් ගුරුතුමිය වෙසෙන තිස්ල් කෝට් නිවස

එලිසබෙත් සේනානායකගේ සංකල්පයකට අනුව පාසලේ පිටත තාප්පය අදින් වසර 25කට පමණ පෙර අපූරු ආකාරයෙන් හැඩ ගැන්විණි. බිඳුණු පිඟන් කැබලි ගෙනවිත් පාසලේ නිවාස ලාංඡන හා විෂය බාහිර ක්‍රියාකාරකම් හී ලාංඡන මේ තාප්පයේ ඒවායින් සටහන් කෙරිණි. මේ දිනවල ද ඇය තම පුද්ගලික වියදමින් ඒ තාප්පය යළි ප්‍රතිසංස්කරණය කරමින් සිටියි.

සිරිහද පාසලේ කුදු මහත් සෑම කටයුත්තක් වෙනුවෙන් තවමත් සම්බන්ධ වන මේ ගුරුතුමිය පාසල වෙනුවෙන්ම සෑම සියලු දේ කැප කළ අතර විවාහයක් ගැන හෝ සිතුවේ නැත.

“මම විවාහ වුණේ ඉස්කෝලෙත් එක්ක. ඉගෙන ගත්තු හැම දරුවෙක් ම මගේ දරුවෝ. ඉතින් මට කවදාවත් තනිකමක්, පාළුවක් නෑ. හැමදාම ඉන්නේ සතුටෙන්” ඇය කියන්නීය.

Comments