කෑගල්ලේ කුඹුක් ගස් ගැන කියූ ගල් පැලෙන බොරු | සිළුමිණ

කෑගල්ලේ කුඹුක් ගස් ගැන කියූ ගල් පැලෙන බොරු

‘‘රටේ හැමතැනම වටිනා ගස් කපනවා. ආණ්ඩුව සංවර්ධනය කියලා කරන්නේ ගස් කපන එකයි. කෑගල්ලෙත් කුඹුක් ගස් එකසිය පනහක් කපන්න දිසාපති අවසර දීලාද? ‘‘කෑගල්ලේ ජනතාවගෙන් වැඩි පිරිසක් මේ සතිය ආරම්භයේ විමසූවේ එක්තරා පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් හේතුවෙනි.

 

තරමක් තද වැස්සකින් පසු කෑගල්ල නගරය ජලයෙන් යටවී තිබීම සුලබ දසුනකි. පසුගිය වසරේ මැයි මාසයේ කඩා හැළුණු තද වැස්සේදීද කෑගල්ල නගරයම ජලයෙන් යට විය. කඩසාප්පු ඇතුළට ජලය ගලා ආවේය. මහමඟ තිබූ වාහන කීපයක්ම ජලයෙන් යට විය. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ නිර්දේශ අතරින් එකක් වූවේ ඇළ මාර්ගවලට බාධා ලෙස ඇති ගස් කපා ඉවත් කිරීමය.

මෙලෙස ඉවත් කිරීමට තිබූ එක් කුඹුක් ගසක් හා තවත් වාණිජ වටිනාකමක් නොමැති ගස් කීපයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ හෙට්ටිමුල්ල මාර්ගයේ කෑගල්ල ලය රෝහල අසලය. ඊට සමීපයේ වූ වැලිමන්නාතොට අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටද මේ පිළිබඳව සැලවිණි. උන්වහන්සේ තවත් ස්වාමින් වහන්සේ දෙනමක්ද සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වැඩම කළේ මේ පිළිබඳව දිසාපතිවරයාගෙන් විමසීමටය.

ඒ කතාබහ සම්බන්ධයෙන් විහාරාධිපති පූජ්‍ය බෝගල සිරිසුමන හිමියෝ මෙසේ පවසති. ‘‘ඇළ මාර්ගයේ ගස් ගැන නිලධාරින් ගිහිල්ලා බලනකොට ගහක් දෙකක් කැපෙන කොට මිනිස්සු කලබල වුණා. මෙතැන වෙන්නේ මොකක්ද අපි දන්නෙත් නැහැ. ජනතාව තවත් කලබල වීමට පෙර අපි දිසාපතිතුමා හමුවෙලා සාකච්ඡා කරන්න කච්චේරියට ගියා. මේ ගස් කපන්න හේතුව මොකක්ද කියලා අපි දිසාපතිතුමාගෙන් විමසුවා. කෑගල්ල නගරය ගංවතුරෙන් යටවෙන නිසා ඇළ මාර්ගයේ බාධක නැතිකිරීමට මෙම ගස් කපන්න කමිටුවකින් නිර්දේශ කරලා තිබෙන බව එතුමා කීවා. ඒ කමිටුවේ සභාපති කෑගල්ල ප්‍රාදේශීය ලේකම්තුමාවත් එතුමා කච්චේරියට කැඳවූවා.

මේ වෙනුවෙන් කපන ගස් ගණන අපි දැනගෙන හිටියේ නැහැ. කුඹුක් ගස් එකසිය පනහක් කපන බවක් අපි කීවෙත් නැහැ.‘‘ කෑගල්ලේ කුඹුක් ගස් එකසිය පනහක් කපන්න දිසාපති අවසර දී ඇතැයි පළවූ පුවත අතේ පැළ වෙන බොරුවක් බව ඒ අනුව අනාවරණය වේ. කෙසේ වෙතත් අපි මේ සම්බන්ධයෙන් කෑගල්ල දිසාපති මහින්ද එස්. වීරසූරිය ගෙන්ද අදහස් විමසූවෙමු.

“පසුගිය වසරේ ඇතිවූ අධික වර්ෂාවෙන් නගරය යටවුණා. මහජනතාව මහත් පීඩාවකට පත්වූවා. කෑගල්ල නගරයේ ගංවතුර පාලනය සඳහා විධිමත් සැලැස්මක් සකස්කරන ලෙස ඉල්ලීමක් ආවා. මෙය දිගින් දිගටම සිදුවුවහොත් ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී සාකච්ඡා කර විධිමත් කමිටුවක් මා විසින් පත්කළා.

දැවමය වටිනාකම අනුව බැලුවාම මට මතක හැටියට තිබුණේ කුඹුක් ගස් තුනක් පමණ. දැවමය වටිනාකමක් තිබෙන ගස් ඉවත් කරනවා නම් ඇළ හරස්වෙන විදියට පිහිටා තිබෙන ගස් පමණක් ඉවත් කිරීමටත් ඇළ ඉවුරේ තිබෙන ගස් ඉවත් නොකිරීමටත් තීරණය කළා. එසේම ඉවත් කරන ගස් වෙනුවෙන් ඇළ දෙපස හෝ මහා මාර්ගය දෙපස පැළ රෝපණය කිරීමටත් තීරණය කළා. එ් අනුව අවහිර ගස් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් විසින් දැව සංස්ථාවට අවසර ලබා දුන්නා.

දැව සංස්ථාවෙන් පැමිණ ගස් දෙකක් කපා තිබෙනවා. ඒ සමඟම අශෝකාරාම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ වැඩම කර මා මුණ ගැසී මෙම ගස් කැපීමෙන් පරිසරයට හානිවන බව පැවසුවා. මම ප්‍රාදේශීය ලේකම්වරයා කැඳවා ගස් කපන එක නතර කළා.

කුඹුක් ගස් එකසිය පනහක් කපනවා යනුවෙන් පළ වූයේ ව්‍යාජ ප්‍රවෘත්තියක්. කෑගල්ල නගරයේ තබා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස­‌ෙයවත් කුඹුක් ගස් එකසිය පනහක් නැතිව ඇති. පානීය ජලය පිළිබඳව කෑගල්ලට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපට තිබෙන ප්‍රධාන ජලමූලාශ්‍ර තමයි මොරොන්තොට හා හිරිවඩුන්න. සති දෙකතුනක වියළි කාලගුණයක් ආ සැණින් මේවායෙහි ජල මට්ටම අඩුවෙනවා. ජනතාවත්, පාසල් දරුවොත් දැනුම්වත් කරලා ජලමූලාශ්‍ර වල අපි පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. කෑගල්ල නගර සභා අපේක්ෂක සනත් පතිරණ මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් අදහසකි.

‘කෑගල්ල නගරය නවීකරණය වීම, අලුත් ගොඩනැඟිලි ඉදිවීම, නගරය පුළුල්වීම හොඳයි. ඒත් ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූ වගුරු බිම් යටකරලා නගරය නිර්මාණය කිරීමට යාමෙනුයි මේ ගැටලුව ඇතිව තිබෙන්නේ. පුරාණ රජවරු රට සංවර්ධනය කළේ ස්වභාව ධර්මයට ගැළපෙන විදියටයි. පරිසරය ස්වභාව ධර්මයෙන් සැකසී තිබෙන්නේ මහපොළොවට අවශ්‍ය පරිදියි‘‘

මේ සම්බන්ධයෙන් අපි කෑගල්ල සිංහල වෙළෙඳ සංගමයේ ලේකම් ඉන්දික මල්ලිකාරච්චි පවසන්නේ මෙබන්දකි.

‘‘මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කර ඇළ මාර්ග පවිත්‍ර කිරීමෙන් නගරය ජලයෙන් යටවීම වළක්වා ගත හැකියි. එම කාර්යය සාර්ථක කරගැනීමට සිංහල වෙළෙඳ සංගමය ලෙස අප දිසාපතිතුමාට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න සුදානම්.‘‘

 

Comments