ජාතික හොකී තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්විය යුතුයි | සිළුමිණ

ජාතික හොකී තරගාවලිය ලීග් ක්‍රමයට පැවැත්විය යුතුයි

හැමෝම පෙරහරේ යන්න ගියොත් රටේ හොකී ක්‍රීඩාවක් නැති වෙයි

පරිපාලනය බැරි නිසා නෙවෙයි අපි පුහුණුකරුවෝ වෙලා ඉන්නෙ

විනයට මුල් තැන දෙනවා - විනයක් නැති තැන ජයග්‍රහණයක් නෑ

ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතය කැප කළා කියලා තවම නම් මට දුකක් දැනිලා නෑ

ගුරුවරයා උත්තම පුරුෂයෙකි. ඔහු ද ගුරුවරයෙකි, එහෙයින් ඔහු ද උත්තම පුරුෂයෙකි. විනය මූලික කර ගනිමින් ආදරය බෙදා දෙමින්, අවශ්‍ය විට රළු පරළු භාවය ප්‍රකාශ කරමින්, ඔහු දශක ගණනාවක් තිස්සේ ක්‍රීඩාව හා අධ්‍යාපන විද්‍යාව සමඟ බැඳී සිටී. කලක් ජාතික හොකී පුහුණුකරුවා වශයෙන් ද කටයුතු කර සාර්ථකත්වයට පත් ඔහු නමින් අනුරුද්ධ හේරත් බණ්ඩාරය. මේ ‘ක්‍රීඩා’ ඔහු හා සම්මුඛ වූ මොහොතක් ය.

ඔබ ජාතික හොකී පුහුණුකරු, ඒත් ඒ ජාතික හොකී පුහුණුකරු කියන නාම පදය ඉස්සරහින් ‘හිටපු’ කියලද එහෙමත් නැත්නම් ‘වත්මන්’ කියලා දැමුවොතින් ද වඩා නිවැරැදි? ඒ කාරණය පහදාගෙනම අපි සංවාදය පටන් ගනිමු.

ඇත්තටම කියනවා නම් හිටපු ජාතික පුහුණුකරු කියලා කිව්වොත් වඩා හරි. මොකද 2018 වසරේ ජාතික හොකී පුහුණුකරු මමයි. කොරෝනා අර්බුදය ආවට පස්සේ ක්‍රීඩාවේ යම් පසුබැස්මක් ඇතිවුණා. සංචරණය සීමාවුණු නිසා පුහුණු සැසි නතර වුණා. මේ නිසා අලුත් ජාතික පුහුණුකරුවකු නම් කර නැහැ. ඉතින් මම හිටපු ජාතික පුහුණුකරු කිව්වොත් වඩා නිවැරැදියි.

ඔබ එම තනතුරට පත්වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ආශිර්-වාදය යටතේයි. ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අනුරුද්ධ හේරත් බණ්ඩාර අතර, වඩා පුළුල් සංහිඳියාවක් තියෙනවා කියන එක. අප නිවැරැදි ද?

මෙහෙමයි, මම මුලින්ම ජාතික පුහුණුකරු බවට පත්වන්නේ 2014 වර්ෂයේයි. එවර මට හැකියාව ලැබුණා වසර 36කට පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ආසියානු තරගාවලියට සහභාගි කරවන්න අවශ්‍ය පුහුණුව ලබාදෙන්න. නමුත් මට ආසියානු තරගාවලියට කණ්ඩායම රැගෙන යාමට අවස්ථාවක් හිමිවුණේ නෑ. ඒත් 2016 යළි වසරේ ජාතික පුහුණුකරු තෝරාගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් මම වැඩිම ලකුණු හිමි කර ගනිමින් සමත් වෙනවා. ඒ නිසා මම ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ඇති සංහිඳියාව නිසා පමණක් එම තත්ත්වයට පත්වුණා කියලා කියනවා නම් එතැන පොඩි නිවැරැදි කිරීමක් තිබිය යුතුයි.

හොකී පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් භාර අරගෙන හොකී ජාතික සංචිතය බලාගත්තු සමයේ ඔබ ජාතික පුහුණුකරු. ජයග්‍රහණ සොයා යන ගමනේදී එතැනදී බොහෝ පහසුකම් ලැබුණා කිව්වොත් නිවැරැදියි නේද?

ඔව්, ක්‍රීඩක නවාතැන් පහසුකම්, පෝෂණ අවශ්‍යතා, සංචාරක ගුවන් ප්‍රවේශපත් ඇතුළු සියලු අතිරේක ක්‍රීඩක අවශ්‍යතා ඉටු කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කළා. පුහුණුකරු වශයෙන් මට කරන්න තිබුණේ විධිමත් ලෙස පුහුණු සැල-සුම් ක්‍රියාත්මක කරන එකයි. ක්‍රීඩකයන්ගේ පාර්ශ්වයෙන් එම තත්ත්වය හොඳ මානසික නිද-හසක් ඇති කළා. එය ජයග්‍රහණයේ සාර්ථකත්වය සොයා ගන්න කදිම හේතුවක්.

ඒ මානසික නිදහස යටතේ මොනවාද ඔබේ කණ්-ඩායම ලබාගත්තු ජයග්‍රහණ?

මේ හේතුව නිසා තමයි අපිට ලෝක ලීග් සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේ, ආසියාවේ පැවැති තරගාවලියේ දී අපි චීනය හා සම තැන් ගනිමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට හැකිවුණේ. ඒත් හොකී ක්‍රීඩාවේ පවතින සම්ප්‍රදාය අනුව ගිහින් දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව යටතේ අපට අනුශූරයන් වුණා. එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ නලන්ත ද සිල්වා යි. 2016 නොවැම්බර් මාසයේ ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසිලා එහි අනුශූරයන් වුණා. සම්මේලන කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු අවස්ථාව ඒක. 2017 ලෝක ලීග් ශූරතාවයේ දෙවැනි වටයට සහභාගි වෙලා ජයග්‍රහණ කීපයක් ලබාගත්තා. 2018 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගි වී ලෝකඩ පදක්කම් දිනාගත්තා. ඒ නිසා පිට පිට දෙවැනි වතාවටත් ආසියානු තරගාවලියට සහභාගි වෙන්න අවස්ථාවක් උදාවුණා. වසර හතළිහකට පසුව ආසියානු හොකී ක්‍රීඩා උලෙළක තරග දෙකක් ජය ගන්න හැකිවුණා. තරිඳු හීන්දෙණිය තරගාවලියේ හොඳම ගෝල් රකින්නා ලෙස සම්මාන ලැබුවෙත් එවරම තමයි.

ඇත්තටම හොකී ක්‍රීඩාවෙන් අපිට ජාත්‍යන්තරය ජයගන්න හැකි ද? එහෙම ජය ලබන්න නම් රට ඇතුළේ හොකී ක්‍රීඩාවේ සිදුවිය යුතු වෙනස්කම් වශයෙන් ඔබ දකින්නේ මොනවා ද ?

බොහෝ දේ කළ යුතුයි. මම කීපයක් කියන්නම්. පළමුව හොකී ලීග් තරගාවලියක් ආරම්භ කළ යුතුයි. ඒ අනුව දින හතරකින් අවසන් කරන ජාතික ශූරතාව ලීග් තරගාවලියක් කර මාස කීපයක් සංවිධානය කළ යුතු වෙනවා. එවිට දක්ෂයන් නිසි පරිදි හඳුනාගන්න හැකියාව උදාවෙනවා. මුවර් කුසලාන වගේ නතර කර ඇති ඉපැරැණි තරගාවලි, වසර විසි දෙකක් තිස්සේ අක්‍රිය වී ඇති රන් කුසලාන හොකී තරගාවලියත් නැවත් ආරම්භ කළ යුතුයි. ඒ වගේමයි කාන්තාවන් සඳහා පැවැති කැමිලස් කුසලානයත් පටන් ගන්න උවමනායි. ඒ වගේම පාසල් තරගාවලියත් ලංකාවේ පාසල් රගර්, ක්‍රිකට් තරගාවලි ආකාරයේ මොඩලයකට සංවිධානය කළ යුතු වෙනවා. විශේෂයෙන් අවු-රුදු 20 න් පහළ තරගාවලිය රගර් හා ක්‍රිකට් තරගාවලි‌‌යේ කාබන් පිටපතක් වුණාට ගැටලුවක් නෑ. එවිට රට තුළ හොකී දියුණු වෙනවා.

වර්තමානයේ රට ඇතුළේ සත් සාමාජික හොකී තරගාවලි සඳහා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙනවා. මේ තත්ත්වය කොහොමද හොකී ප්‍රවර්ධනයට දායක වන්නේ?

හොඳ ප්‍රශ්නයක්. නමුත් සත් සාමාජික හොකී තරගාවලියක් කියන්නේ අනු ක්‍රීඩාවක්. ඒ කිව්වේ ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා නැඹුරුවක් ගොඩනැඟීමට සිදුකරන පසුබිම සැකසීමක්. ඒත් එමඟින් දක්ෂ හොකී ක්‍රීඩකයන් ගොඩනංවන්න බෑ. මොකද කෙටි වේලාවක් ක්‍රීඩා කරන මෙවැනි තරගවලින් සිදුවන්නේ තාවකාලික, ක්ෂණික උද්-යෝගයක් නිර්මාණය කිරීම පමණයි. අවුරුදු 12, 14, 16 න් පහළ හා අවුරුදු 40ට ඉහළ ක්‍රීඩකයන් සඳහා ක්‍රීඩා කරන්න සත් සාමාජික හොකී

තරගාවලි පැවැත්වූවාට කමක් නෑ. නැතිව ඒවා-යෙන් ක්‍රීඩාවේ ගුණාත්මක දියුණුවක් ලබාගැනීමට නොහැකියි. මම කියන්නේ මෙම තරග ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න ඉඩ නොදිය යුතුයි කියායි. මොකද සම්පූර්ණ හොකී තරගයක ප්‍රතිඵලයට සත් සාමාජික හොකී තරගයක ක්‍රීඩා කිරීම බාධාවක් විය හැකි නිසා.

එතකොට ඔය සත් සාමාජික තරගවල ලුණු ඇඹුල් ඇත්තේම නැද්ද? ඒ කිව්වේ ගත හැකි හරයක් ඇත්තේම නැද්ද?

මෙහෙමයි, ඔය වර්ගයේ හොකී තරග මඟින් ක්‍රීඩාව වේගවත් කරන්න පුහුණුවක් ලබාදෙන්න හැකියි. ඒක පුහුණු ක්‍රමවේදයක් ලෙසයි යොදා-ගන්නේ. හැබැයි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන කටයුත්තේදී සත් සාමාජික හොකී තරග වැඩි

වශයෙන් ජනමාධ්‍ය තුළ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. ඒ නිසා අපට මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් ලෝකයේ දියුණු යැයි සම්මත හොකී කණ්ඩායම් ඉන්න රටවල් සත් සාමාජික හොකී පස්සෙන් පන්නන්නේ නෑ.

ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ ප්‍රකට කාරණය තමයි ඔබ විනය ගැන දැඩිව සිතන පුහුණුකරුවෙක් කියන එක. ඒ නිසා අපි විනය ගැන කතා කරමු?

ඔව්. විනය නැතුව කිසිදු ජයග්‍රහණයක් ලබාගන්න බෑ. ඒක මම ගුරුවරයෙක් වශයෙන් මගේ දරුවන්ට ලබාදිය යුතුයි. එහෙම නැතිව ජයග්‍රහණය පමණක් මූලික කරගෙන වැඩ කරලා වැඩක් නෑ. මොකද ක්‍රීඩාව අවසන් වෙලා ඔවුන් යන්නේ සමාජයට. ඒ සමාජයේ ජීවත් වෙන්න දන්නේ නැතිනම් මොනවා කළත් වැඩක් නෑ. අපි ක්‍රීඩකත්වය ආරක්ෂා කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජ විනය වර්ධනය කරන්න පුහුණුකරුවන් වශයෙන් කටයූතු කළ යුතු වෙනවා.

ඇත්තටම හොකීවලින් අපට ලෝකයේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා ද?

ඔව්. ප්‍රමාණවත් පහසුකම් තිබෙනවා නම් අපට ලෝකයේ හොකී ක්‍රීඩාව තුළ බොහෝ ජයග්‍රහණ ලබාගත හැකියි. ඒ ගැන හිටපු ජාතික ක්‍රීඩකයෙක් වගේම සුවහසක් ක්‍රීඩකයන් බිහි කරන්න සහයෝගය දුන්නු පුහුණුකරුවෙක් වශයෙන් මට කියන්න පුළුවන්.

ඒත් දකුණු ආසියාවේ අපි ඉන්නේ බංග්ලාදේශයටත් පහළින්. ඉතින් කොහොමද හොකීවලින් ලෝකය දිනන්න පුළුවන් කියලා කියන්නේ?

ඉන්දියාව, පකිස්තානය හා බංග්ලදේශය දැන් ලෝකයේ ප්‍රබල හොකී රාජ්‍යයන් වෙලා. හැබැයි බංග්ලාදේශය ඉදිරියට ගියේ මෑතදී. අපි හරියට ක්‍රීඩාව කරනවානම් ප්‍රමාණවත් පහසුකම් දෙනවා නම් අපේ ක්‍රීඩකයන්ට දකුණු ආසියාව තුළ හොඳ තරගයක් දීලා ලෝකයට යන්න බැරිකමක් නෑ. අපේ ක්‍රීඩකයන් හොඳයි කියලා ජාත්‍යන්තර පුහුණුකරුවෝ කියනවා.

ඒත් හොකීවලින් ලෝකය ජය ගන්න අපිට පහසුකම් තිබෙනවා ද? මාතලේ කෘත්‍රිම හොකී පිටිය ගලවලා, ටොරින්ටන් හොකී පිටිය දැන් කල් ඉකුත් වෙලා. බොහෝ ක්‍රීඩාංගණවල හොකී පිටි වශයෙන් භාවිත කරන්න තිබෙන ඉඩකඩ සීමා වෙලා?

එතැන ගැටලුවක් තිබෙනවා. මාතලේ කෘත්‍රිම හොකී පිටිය 2015 සිට වැඩ නෑ. එය කඩිනමින් අලුත්වැඩියා කරන බව ක්‍රීඩා ඇමැතිවරයා පවසලා තිබෙනවා. කොළඹ කෘත්‍රිම හොකී තණතිල්ලේ තත්ත්වය බැරෑරුම් බව ඔබ පුවත්පතත් අවස්ථා ගණනාවක් කියලා තිබෙනවා. එඩ්වඩ් උද්‍යානය පිටියේ දැන් හොකීවලට වඩා වෙනත් ක්‍රීඩාවලටයි තැන දීලා තිබෙන්නේ. කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජ කීපයක හොකී තණතීරු වෙනුවට ඒ තැන්වලට පිහිනුම්, ක්‍රීඩාගාර හෝ වෙනත් ක්‍රීඩාවන් ඇවිත්. සී.ආර්. පිටිය ඊට නිදර්ශනයක්. මේවා අභියෝග. කඩිනමින් වෙනස් කර ගත යුතුයි.

අපේ තියෙන කෘත්‍රිම හොකී පිටි දෙකත් නිසි ප්‍රමිතියෙන් නැති ඒවා නේද?

නිවැරැදි විශාලත්වය ඇතිව ඉදිකරලා නැති බව පිළිගත යුතුයි. ක්‍රීඩාගාර, පුහුණු ක්‍රීඩාංගණයක්, විනිසුරු ඇතුළු නිලධාරීන් රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් වැනි අතිරේක පහසුකම් තිබිය යුතුයි. අනෙක දැනටත් ටොරින්ටන් හොකී පිටියේ තියෙන තණතීරුව ලෝකයේ භාවිත වන්නෙ නෑ. ජාත්‍යන්තරය දිනන්න ඒවා වෙනස් කරගත යුතුයි. නිල් පැහැ කෘත්‍රිම තණතීරු දෙකක් කඩිනමින් ඇතිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අපේ ක්‍රීඩාංගණ කිසිවක් අයත් වෙනවා ද? තියෙන ඉඩකඩ අනුව ටොරින්ටන්වල නම් ඔය පහසුකම් හදන්න ඉඩකඩ නෑ. ඒ කියන්නේ ටොරින්ටන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට හසුවෙන්නේ නෑ?

නැහැ. අපි ඒ ලැයිස්තුවේ නෑ. ටොරින්ටන්වල ඉඩකඩ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඔය ක්‍රීඩාංගණය හදද්දී තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තිබෙන්නේ. මම ඒ බව පිළිගන්නවා. සෙසු ඉදිකිරීම්වලට ටොරින්ටන්වල ඉඩ දෙද්දී ඒ ගැන බුද්ධිමත්ව සිතිය යුතුව තිබුණා. අන්තර්ජාතික තරගාවලියක් අපිට ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පවත්වන්න බැරි වෙන්නේ මේ ප්‍රමිතිය පවත්වාගන්න බැරිවෙන නිසයි. කනගාටුවෙන් වුවත් එය පිළිගත යුතුයි.

වෘත්තීය හොකී ක්‍රීඩකයන් හෝ අර්ධ වෘත්තීය හොකී ක්‍රීඩකයන් දැන් අපේ රට ඇතුළේ නැහැ. ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට මේ තත්ත්වය විශාල බලපෑමක් නේද?

ඔව්, ඒක ගැටලුවක්. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. අර්ධ වෘත්තීය මට්ටමක් ඇති කළ යුතුයි. ජාතික පුහුණු සංචිතයට තේරෙන ක්‍රීඩකයන්ට ගෙවීමක් කරලා ක්‍රමානුකූලව අර්ධ වෘත්තීය භාවය නිර්මාණය කළ හැකියි. විදෙස් ක්‍රීඩා සමාජවලට අපේ දක්ෂයන් සම්බන්ධ කරන්න හා ඒ රටවල දක්ෂයන්ට මෙරට ක්‍රීඩා සමාජවල අවස්ථා උදාකර දීමත් වැදගත්.

පුහුණුකරුවන්ටත් නිසි ප්‍රතිපාදනයක් ලැබෙන්නේ නෑ. ඒකත් ගැටලුවක් නේද?

මම කියන්නේ සියලු පුහුණුකරුවන් ක්‍රීඩා විද්‍යායතනයේ ශ්‍රේණිගත විය යුතු බවයි. ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ සේවා සභාව වැනි ආයතන විසින් එය අධීක්ෂණය කළ යුතුයි. පුහුණුකරුවෝත් තමන්ගේ ගෘහ ජීවිතයේ වගකීම් මැද තමයි අතිරේක කාලයක් කැප කරලා පුහුණු කටයුතු කරන්නේ. ඒ නිසා ඔවුන්ගෙන් උපරිමය ලබාගන්න අගැයීමක් සිදුකරන්න වගේම, වෘත්තීය භාවයක් ලබාදී ගෙවීම් සිදුකරන එක අවශ්‍යයි. මෙතැනදී ලංකාවේ ඉන්න සෑම හොකී පුහුණුකරුවකුගේම හැකියාවන් නිරන්තරයෙන් අධීක්ෂණය කර විද්‍යායතනයේ ඇති පුහුණුකාර ලැයිස්තුව නිවැරැදිව යාවත්කාලීනව ශ්‍රේණිගත කළ යුතු වෙනවා. එය ප්‍රාදේශීය මට්ටමටත් යන්න උවමනායි. එවිට හොඳම පුහුණුකරුවන් ගොඩනඟා ගන්න අපට හැකියි.

ඔබ හිටපු ජාතික ක්‍රීඩකයෙක්. වර්තමානයේ පාසල් හා ජාතික තලයේ හොකී පුහුණුකරුවෙක්. දැන් ඔබ හොකී ක්ෂේත්‍රයේ විවිධ භූමිකා දරා ඇති නිසා පරිපාලන වගකීම් ගන්න සූදානමින් ඉන්න බවක් හැඟවෙනවා. අපි නිවැරැදිද?

නැහැ. මගේ එහෙම සැලසුමක් නෑ. හැබැයි ඒකෙන් කියැවෙන්නේ නෑ අපිට පරිපාලනය බෑ කියලා. මොකද මෑත කාලයේ පරිපාලනය කරපු ඇතැම් පුද්ගලයන්ට වඩා අපිට ඒ දේ කළ හැකියි. ඇත්තම කියනවා නම් පෙරහරේ යන්න ඉස්සරහට නාවට අපිට ඉතා හොඳට වගකීම් දරාගෙන පෙරහරේ යන්න පුළුවන්. ඒත් අපි වගේ බිම්තලයේ වැඩ කරන පුහුණුකරුවන් පිරිසක් නිසා තමයි තවමත් හොකී ක්‍රීඩාව රැකිලා තිබෙන්නේ. අනික හොකී නිලවරණ ඡන්ද ක්‍රමය විශාල අවුලක්. ඒවා නිවැරැදි විය යුතුයි.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments