ක්‍රිකට් කළමනාකරණයේ සති හයක සතිමත් වගකීම | සිළුමිණ

ක්‍රිකට් කළමනාකරණයේ සති හයක සතිමත් වගකීම

 

අලුත් අවුරුද්ද උදාවන්නේ අනිද්දාය. එලෙස නව අවුරුද්දක් උදාවන්නේ පෙර වසරේ සිදුවූ අතපසුවීම් නිවැරදි කරගනිමින් නව බලාපොරොත්තුවක් සහිතව අනාගතයට මුහුණ දීමටය. බක් මාසයේ අලුත් අවුරුදු උදාව ක්‍රීඩාව තුළද එවැනි නව්‍ය වෙනස්කමක්, නව ගාමක බලවේගයක් එක්කරනු ඇතැය

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පංච පුද්ගල කළමනාකරණ කමිටුවක් පත්කරනු ලැබුවේය. එහි සභාපතිත්වය පිරිනැමුණේ මෙරට කීර්තිමත් වෛද්‍යවෘත්තිකයකු මෙන්ම පරිපාලකයකු වශයෙන්ද සැලකෙන මහාචාර්ය අර්ජුන් ද සිල්වා ට හා තවත් සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවකටය.

ඔවුන්ට පැවරී ඇති මූලික වගකීම වන්නේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර සති කීපයක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමය. පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනයට නිල බලයෙන් පත්ව සිටි ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයේ නිලකාලය පසුගිය 5 වැනිදායින් අවසන් වීමෙන් අනතුරුව නිලවරණය පැවැත්වෙන තෙක් ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම නව කළමනාකරණ කමිටුවට පැවරෙන මුඛ්‍ය වගකීමය.

මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව දැක්වෙන්නේ ලබන මස 20 වැනි දින දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් වෙනුවෙන් පමණක් මෙලෙස පත්කළ කළමනාකරණ කමිටුවට කටයුතු කරන බවය. එසේම එම කමිටුවට අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමේ බලයක් හිමිව නැතැයිද එහි දැක්වේ. එහෙත් යම් ආකාරයකින් එවැනි මූල්‍ය වැය කිරීමක් සිදුකරන්නේ නම් ඊට ව්‍යතිරේක සැපයීමටද අදාළ ගැසට් පත්‍රයෙන් කටයුතු කර ඇත. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ පූර්ව ලිඛිත අවසරය ලබා එකී වියදම් සිදුකළ හැකි බව දක්වමිනි.

මෙම තත්ත්වය යටතේ තමන් වෙත පැවරී ඇති වගකීම සම්බන්ධයෙන් අදහස් පළකළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරණ කමිටුව ප්‍රකාශ කළේ ඔවුන්ගේ පළමු කාර්යයවී ඇත්තේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම බවය. එසේම බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජීව බුබුළු තාක්ෂණය පවත්වාගෙන යාමත්, තරගාවලිය ක්‍රීඩාංගණයට පැමිණ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබා නොදීමටත් කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. එසේම තමන්ගේ ප්‍රමුඛ අභිලාෂය එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ ජයග්‍රහණය නිසැක වශයෙන්ම අපේක්ෂා කිරිම බවද ඔවුහු ප්‍රකාශ කර ඇත. එය ප්‍රශස්ත ප්‍රකාශයකි.

අප එසේ කියන්නේ තම කමිටුවේ ජීව කාලය සති හයක් වුවද එම කෙටි කාලය තුළ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිවැරදි අරමුණක් ලබාදීමට නව කළමනාකරණ කමිටුව නොපැකිලව පෙරට පැමිණ ඇති හෙයිනි. අනුබද්ධ සංගම්වල ඡන්දයෙන් බලයට පත්වන නිලධාරී මණ්ඩලයක් තුළින් අපේක්ෂා නොකරන ආකාරයේ සෘජු භාවයක්, අරමුණු පැහැදිලි කිරීමක් මෙලෙස තාවකාලිකව බලය පැවරුණු අන්තර්වාර ක්‍රිකට් කළමනාකරණ කමිටුවට තිබීම වෙසෙසින් අගය කළ යුතුය.

නිල බලයෙන් පත්වන බොහෝ නිලධාරීන් තම පරිපාලන සාර්ථකත්වයේ නියැඳියක් බවට ජාතික කණ්ඩායමේ දක්ෂතා උපයෝගී කරගැනීමට උත්සුක වනබව මෙතෙක් කාලයක් මෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර නැත. එහෙත් තාවකාලික පදනමක් යටතේ බලයට පත්කරන කළමනාකරණ කමිටුව ජනතා අපේක්ෂා පාර්ශ්වයේ සිට ගැනීම අගය කළ යුතුය.

සැබැවින්ම එය හුදී ජන අපේක්ෂා සමඟ සිට ගැනීමකි. බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේදී කොදෙවු ක්‍රිකට් විචාරකයන් (හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්) මහත් අභිමානයෙන් සිහිපත් කළ ශ්‍රී ලංකාවේ අසිරිමත් ක්‍රිකට් යුගය යළි ස්ථාපනය කිරීමකි. එය එසේ සිදුනොවන්නේ නම් සිදුවිය හැක්කේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැත්තටම නැතිවී යාමය. එහි මූලික ලකුණු ප්‍රකට කරමින් වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කීඩකයන්ට ලෝකය තුළ නිසි පිළිගැනීමක් හිමි නොවීම දැක්විය හැකිය. එහෙත් එකී කැරිස්මා බලය අවසන් වශයෙන් හිමිව තිබුණේ ලසිත් මාලිංගටය.

මාලිංගලාගෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පවා අවස්ථාවක් නැත්තේ ජාත්‍යන්තරයට ගැලපෙන දක්ෂතා පළ නොවන හෙයිනි. එම තත්ත්වය තවත් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වානිජ්‍යය වටිනාකම පහළ අගයකට දැමීමක් බවට පත්කර ඇත.

විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රිකට් විකාශන අයිතිය අලෙවි කිරීමේදී අඩු ලංසුවක් හිමිකරගැනීමට ඉවහල්වන තත්ත්වයකි. මේ ආකාරයෙන් දිගින් දිගටම ගමන් ගන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද යන්න පැහැදිලිය.

එවන් පසුබිමක සති හයකට හෝ සතිමත් භාවයෙන්, තෙදවත් භාවයෙන්, විධිමත් භාවයෙන් සවිමත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්කිරීම සතුටුදායකය. ගැටලුව ඇත්තේ ඒ ක්‍රිකට් කළමනාකරණ කමිටුවට වැඩකිරීමට ඇතිකාලය අවමවීමය. එසේ නොවුණේ නම් සාර්ථකත්වයේ දුම්රිය රේල් පීලි උඩින් තබා ශක්තිමත් හා දිරිමත් ගමනක් යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරෝපණය කිරීමට නව කළමනාකරණ කමිටුවට ශක්තිය ඇතැයි සිතිය හැකිය.

බක් මාසයේ සමරන සුපුරුදු සංස්කෘතික මංගල්‍යයෙන් අනතුරුව මෙම තත්ත්වය තේරුම්ගත හැකි නව පරිපාලනයකට බලය හිමිවන්නැයි සුවහසක් ක්‍රිකට් ලෝලීන් තුළ ප්‍රාර්ථනා ගොඩනංවන්නට ක්‍රීඩා ඇමැති පත්කළ නව ක්‍රිකට් කළමනාකරණ කමිටුව අභිප්‍රේරණයක් ගොඩනගා තිබෙන බව අවසන් වශයෙන් පිළිගත යුතුව ඇත.

Comments