අපේ­ක­මට මුල්තැන දී නික්ම ගිය මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳ­ගම | සිළුමිණ

අපේ­ක­මට මුල්තැන දී නික්ම ගිය මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳ­ගම

ක් මාසය උදාවත් ම මුළු රටම සූදානම් වන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමටය. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙළයන්ගේ අවුරුද්ද ලෙස හැඳින්විය යුතු බව සඳහන් කළේ පණ්ඩුල ඇඳගමයන් ය. නව වසරක උදාව ලෙස ජනවාරි 01 වැනිදා සැලකීම බටහිරින් පැටවූ දෙයක් බව පැවසූ පණ්ඩුල ඇඳගමයන්, හෙළයන්ගේ අලුත් අවුරුද්ද ඇරඹිය යුත්තේ බක් මාසයේ බවත් සඳහන් කළේය. එසේ පැවසූ ඇඳගමයන් 2021 සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අද ජීවතුන් අතර නැත. ඔහු මෙලොවින් සමුගෙන ගියේ පසුගිය 26 වැනිදාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ තුත්තිරිපිටිය නම් හද්දා පිටිසර ගමක ඇඳගමගේ මොහොට්ටි සහ යසෝහාමිට දාව උපන් පණ්ඩුල ඇඳගමට සහෝදරයන් පස්දෙනකුත් සහෝදරියන් හත් දෙනකුත් සිටියේය. හෙතෙම සිවු හැවිරිදි වියේ සිටියදී මව මිය ගිය බැවින් ඔහුගේ මව වූයේ ලොකු අක්කා ය.

ගමේ පන්සල සමඟ සමීප සබඳතාවක් තිබූ ඔහුගේ ළමාවිය දේශීයත්වය, අපේකම, අපේ උරුමයන් වැනි අදහස්වලින් පෝෂණය වූයේ පන්සලේ වැඩ විසූ නායක හාමුදුරුවන් නිසා ය. එවකට ලංකාව යටත් විජිතයක්ව තිබීම හේතුවෙන් රට ජාතිය ආගම මුදා ගැනීමේ විප්ලවීය අදහස් තිබුණු භික්ෂූහු වැඩ වාසය කළහ. එවැනි හාමුදුරුනමකගේ ඇසුර ලැබීමෙන් ඔහු තුළ ජාතික හැඟීම් ජනිත වූයේ කුඩා වියේ පටන් ය.

එකී හාමුදුරුනමවූයේ රාජකීය පණ්ඩිත අධිකරණ නායක හේන්පිටගෙදර ඥානසීහ හිමිපාණන්ය. උන්වහන්සේගේ ගෝල හිමිනමක් ලෙස පණ්ඩුල ඇඳගමගේ එක් සහෝදරයකු පැවිදී වීම නිසා පණ්ඩුල ඇඳගමට උන්වහන්සේගේ ඇසුර හා ගුරුහරුකම් ලැබීමෙන් දේශීය සංස්කෘතිය සිරිත් විරිත් හා ජාතික හැඟීම් වගාවට මූලික පදනම වැටුණි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ පණ්ඩුල ඇඳගම කරවිට මහ විදුහලට ඇතුළත් විය. සරසවි ප්‍රවේශය සඳහා අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 1959 දීය. පාසල් වියේදී නාට්‍ය කලාවට සම්බන්ධ වී සිටි නිසා ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වෙල්ලවැහුම්, එලොව ගිහින් මෙලොව ආවා, රත්තරන් වැනි වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක විය. එමෙන්ම දේශපාලන කටයුතුවලට ද සම්බන්ධ වූයේ ගමේ සිටියදී වාමාංශික අදහස්වලින් පන්නරය ලබා සිටි බැවිනි. මානව විද්‍යාව අංශයෙන් මූලික උපාධිය අවසන් කළ ඔහුට මුලින්ම රැකියාව ලෙස ලැබෙන්නේ ගුරු පත්වීමකි. ඒ බණ්ඩාරවෙල ඇල්ල මහා විදුහලටය.

මානව විදඥ පණ්ඩුල ඇඳගමයන් බිරිය මහාචාර්ය මාලනි සමඟ 

එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඔහු පිළිමතලාවේ පිරිවෙනක ගුරුවරයකු වශයෙන් සේවය කළේය. ඉන් අනතුරුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සේනපුර නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළේය. බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙමින් තිබුණ එම නිවාසයේ දරුවන්ට දරුවන් ලෙස සැලකීම නිසා ඔහුට නිලධාරින්ගෙන් බලපෑම් එල්ල වන්නට විය. උපාධියට මානව විද්‍යාව හදාරා තිබූ පණ්ඩුල ඇඳගම පරිවාසය භාරයේ සිටි දරුවන්ට පියකු මෙන් කරුණාවන්ත වුවත් ඉහළ නිලධාරින් කෙරෙහි ඔහුගේ සිත තුළ හට ගැනුණේ දැඩි කලකිරීමකි. පුවත්පතක පළ වී තිබූ සිංහල විශ්වකෝෂයේ මානව විද්‍යා තනතුරට ඔහු ඉල්ලුම් කළේ එම නිසාය. ඒ අනුව සිංහල විශ්වකෝෂයට ලිපි රචනා කිරීමට ඔහුට හැකි විය.

1972 දී ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව විද්‍යාඥ තනතුරට පත් වූ පණ්ඩුල ඇඳගමයන් එහි මානව විද්‍යා අංශයේ ප්‍රධානි, සහකාර අධ්‍යක්ෂ දක්වා පැමිණියේ ජාතික කෞතුකාගාරයට අනුපමේය සේවයක් ඉටු කරමිනි. කුඩා වියේ පටන් ජාතිකත්වයට අපේකමට ඇලුම් කළ ඔහුට ජාතික කෞතුකාගාරය හොඳ තෝතැන්නක් විය. කෞතුකාගාරයේ මානව විද්‍යාත්මක කෞතුක වස්තූන් එකතුව වැඩි කිරීම සඳහා ඔහු ගම් නියංගම්වල සැරිසැරුවේය. ගැමි ගෙවල්වල අටු, දුම්මැහි අතපත ගාමින් පැරණි දේ සෙව් පණ්ඩුල ඇඳගමයන් පැරණි මුළුතැන්ගෙයි උපකරණ, පැරණි ගෘහභාණ්ඩ, ගොවි උපකරණ වැනි පැරණි සාම්ප්‍රදායික ආම්පන්න එක්රැස් කර ගෙනැවිත් ජාතික කෞතුකාගාරයේ මානව විද්‍යා තැන්පතුවක් ඇති කිරීමට විශාල කැපවීමක් කළේය. මෙම භාණ්ඩ විශ්ලේෂණය කරමින් අධ්‍යයනය කළ ඔහු සමාජය සහ සංස්කෘතිය අලළා ජනතාව දැනුම්වත් කළේය. උදැල්ල සහ නඟුල ගැන ඔහු විශේෂ පර්යේෂණයන් සිදු කළේ රත්නපුර, මොනරාගල, තිස්සමහාරාමය වැනි ප්‍රදේශයෙන් ප්‍රදේශයට උදැල්ලේ සහ නඟුලේ වෙනස්කම් තිබෙන නිසාය. ඔහු මේ පිළිබඳව විශේෂඥයෙක් විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ආර්.එල්.එස්. ගුණවර්ධන මහතා “සිවුර සහ නඟුල“ යනුවෙන් පර්යේෂණාත්මක නිබන්ධනයක් කළ විට පණ්ඩුල ඇඳගමගේ මිතුරන් ඔහුට “උදැල්ල සහ නඟුල“ යනුවෙන් පොතක් රචනා කරන ලෙස පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඔහු සතු හසළ දැනුම නිසා ය.

ජාතික කෞතුකාගාරය තුළ තාවකාලික ප්‍රදර්ශන රාශියක් සංවිධානය කර කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන අයගේ වර්ධනයක් ඇති කිරීමට ඔහු සමත් විය. ජාතික කෞතුකාගාරයේ සේවය කරන වකවානුවේදී ඔහු ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී බැරී රෙනෝල්ඩ් මහාචාර්යවරයා යටතේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීය. පණ්ඩුල ඇඳගමයන් ජාතික කෞතුකාගාරයේ සේවය කළ කාලය වසර 20කි. ඉන් අනතුරුව පණ්ඩුල ඇඳගමයන් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලයේ සභාපති ධුරය සහ අමාත්‍යාංශයේ උපදේශක තනතුර හෙබවීය. සංස්කෘතික අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද සඟරා, පුවත්පත් වැනි ප්‍රකාශනවලට ලිපි ලියූ ඔහු, රජය මගින් සබරගමුව පිළිබඳව පළ කරනු ලබන ලිපි සංග්‍රහයේ සංස්කාරකවරයා විය. ශ්‍රී ලංකා මානව විද්‍යා සංගමය බිහි කිරීමට පුරෝගාමිව කටයුතු කළ ඔහු එම සංගමයේ ලේකම් ධුරය දරමින් එහි උන්නතිය උදෙසා වටිනා මෙහෙරවක් ඉටු කළේ භාෂාව, සංස්කෘතිය හා ජාතිකත්වය කෙරෙහි උපන් ඇල්ම ලේ නහර පමණක් නොව ඇට මිදුළුවලට කාවැදී තිබූ නිසාය. ඔහු මහාචාර්ය නිමල් ද සිල්වා සමඟ එකතු වී ශ්‍රී ලංකා ධජ සංගමය ආරම්භ කර ක්‍රියාකාරී පුද්ගලයකු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ ධජ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

ලාංකේය ගැමි සමාජය පිළිබඳව ඔහුට ඇති දැනුම ශ්‍රී ලංකාවේ කිසිවකුට නැති තරම්ය. සමාජ සංස්කෘතිය හා අපේකම සම්බන්ධයෙන් පුවත්පත්වලට ලිපි සම්පාදනය කළේ පාඨකයන් දැනුම්වත් කිරීමේ උදාර අරමුණෙනි.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලීය බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ අපේ උරුමයන් සහ ජාතිකත්වය ගැන මතු පරම්පරාව පෝෂණය කරමිනි. ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රවර්ධන තනතුර වසර 3ක් හෙබවූයේ ඔහු සැබෑ පරිසරවේදියකු ද වූ නිසාය. සූප ශාස්ත්‍රය, කෞතුකාගාර අත්පොත, සබරගමු වංශ කතාව, ඌව වංශ කතාව, පරිසරයයි අපි සැවොමයි ආදි වශයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ පණ්ඩුල ඇඳගමයන් සිංහල විශ්ව කෝෂයේ ජ්‍යෙෂ්ඨ උපකර්තෘ වශයෙන් ද කටයුතු කර තිබේ. ගන්නෝරුවේ පිහිටි ජාතික සාම්ප්‍රදායික කෘෂිකර්ම කෞතුකාගාරය ඔහුගේ නිර්මාණයකි. පැරණි ගල්කැටයම්, චිත්‍ර හා මූර්ති, වාස්තු නිර්මාණ පමණක් නොව ගිරය, බුලත් හෙප්පුව, කිල්ලෝටය වැනි උපකරණවලින් පවා මානව ක්‍රියාකරකම් සහ මිනිසුන්ගේ භාව ප්‍රකාශන හදාරමින් මානව විද්‍යාඥයකු ලෙස ඔහු ඉටු කළ විශිෂ්ට සේවය මිල කළ නොහැකිය.

මිනිසා සහ ස්වාභාවධර්මය 2ක් නොව 1ක් ලෙස තරයේ ඇදහූ පණ්ඩුල ඇඳගමයන් බටහිර සංස්කෘතියට ආවඩන සමාජයේ අපේකමට මුල්තැන දෙමින් දේශීයත්වය සනිටුහන් කිරීමට නිර්භීතව ක්‍රියා කළේය. අපේ උරුමයන් රැක ගැනීම උදෙසා පෙනී සිටීමට ඔහු තුළ කිසිදු පැකිළීමක් තිබුණේ නැත. රටේ ජාතික ආගමික ගැටලුවලදී මැදිහත් වූ පණ්ඩුල ඇඳගමයන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. අපේ දියුණුව රඳා පවතින්නේ අපේකම තුළ යන්න සිය දර්ශනය කරගත් හෙතෙම අපේකම ගැන හැඟීමක් ඇති කිරීමටත් එහි අගය වටහාදීමටත් සෑම තත්පරයක් ම කැප කළ අතර කිසිම විටෙක තනතුරු සහ ලාභ අපේක්ෂා පසුපස හඹා ගියේ නැත. මානව විද්‍යාඥයකු වශයෙන් පමණක් නොව මානව හිතවාදියකු වශයෙන් ද ඔහුව හැඳින්විය හැක්කේ කිසිම භේදයකින් තොරව ලොකු පොඩි කාටත් ඔහුගේ නිවසේ දොරටුව විවෘතව ඇති නිසාය. කොයි කාටත් බතින් බුලතින් සංග්‍රහ කරන නිසාය. 1938 දෙසැම්බර් 16 වැනි දින උපත ලැබූ පණ්ඩුල ඇඳගමයන් 2021 මාර්තු 25 වැනි දින අවසන් සුසුම් හෙළුවේ වසර 82ක ආයු කාලයක් සපුරමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වූ මහාචාර්ය මාලනි ඇඳගම සමග විවාහ වී සිටි පණ්ඩුල ඇඳගමයන්, දියණියන් සිවුදෙනකුගේ පියෙකි. ඔහුගේ අවසන් කටයුතු පසුගිය 28 වැනි ඉරිදා සිදු කෙරිණි. පණ්ඩුල ඇඳගමයන්ගේ අභාවය ශ්‍රී ලාංකික ජනතාවට සිදු වූ බලවත් පාඩුවකි.

 

Comments