ලක්ෂ 25 සේවක වන්දි සුත්‍රය | Page 2 | සිළුමිණ

ලක්ෂ 25 සේවක වන්දි සුත්‍රය

මේ දිනවල පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට බොහෝ දෙනෙක් රැකියා අවදානමකට මුහුණදී සිටිති. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය, ඇඟලුම් ඇතුළු ව්‍යාපාර අංශවල ව්‍යාපාරික කටයුතු බිඳ වැටීමත් සමඟ මේ තත්ත්වය උද්ගත විය. එවැනි ආයතන සේවක කප්පාදුවකට සැරසෙන්නේ ඔවුන්ගේ පාඩු ලබන ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඇති එකම විසඳුම එය ලෙස ඔවුන් සලකන බැවිනි. එහෙත් ආයතනයක සේවකයන් ඉවත් කිරීම ආවාට ගියාට සිදු කළ නොහැකි ය. නිශ්චිත ක්‍රමවේදයකට අනුව වන්දි ගෙවීමක් සිදු කළ යුතු ය. මෙම ක්‍රමවේදය හැඳින්වෙන්නේ ‘වන්දි සූත්‍රය’ යනුවෙනි. වන්දි සූත්‍රයට අනුව සේවයෙන් ඉවත් කරනු ලබන සේවක‍යකුට සේවා යෝජකයා විසින් ගෙවිය යුතු උපරිම මුදල රු. ලක්ෂ දොළහ හමාරක් (12 1/2 ක්) පමණි. එහෙත් 2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා නිකුත් කළ අංක 2216/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සේවකයකුට ලැබෙන උපරිම වන්දි මුදල රු. ලක්ෂ 25 දක්වා වැඩි කර තිබේ. එනම් මින් ඉදිරියට සේවකයකුට ලැබෙන උපරිම වන්දි මුදල දෙගුණයක් වී තිබේ.

සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේදී වන්දි ගෙවිය යුතු ක්‍රමවේදය ඇතුළත් වන්දි සූත්‍රය ප්‍රකාශයට පත් කළේ 2005 මාර්තු 15 වැනි දින අංක 1384/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙනි. එහෙත් සේවා යෝජකයන් විසින් සේවකයන් ඉවත් කිරීම නව සහස්‍රයේ නොව අනාදිමත් කාලයක සිට සිදුවූවකි. 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතට අනුව සේවා යෝජකයකු විසින් සේවකයකුගේ සේවය අවසන් කිරීමට බලාපොරොත්තු වේ නම් සේවකයාට ඒ බව මාස තුනකට (03) පෙර දැනුම් දිය යුතු බව සඳහන් කරනු ලැබුවේ සේවකයන් අකමැත්තෙන් ඉවත් කිරීම නීති විරෝධී බැවිනි. එම පනතින් සේවායෝජකයන් විසින් සේවකයන් හිතුමතේ ඉවත් කිරීමට වැට බැඳිණි.

බොහෝ සේවායෝජකයන් මාස 03 ක වැටුප් ලබාදී සේවකයන් ඉවත් කිරීමට පෙලඹී සිටින්නේ මෙම පනතේ මාස 3 කට පෙර සේවකයන්ට දැනුම් දිය යුතුය යන්න වරදවා වටහා ගැනීමෙන් විය හැකි ය. කෙසේ නමුදු සේවකයන්ට මාස 3 ක වැටුප් ලබාදී රැකියාවෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් මෙරට නීතිගත වී නොමැති බව අවධාරණය කළ යුතු ය.

සේවකයන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ 1971 අංක 45 දරන සේවකයන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ විශේෂ විධි විධාන පනතයි. (Termination of

(වමේ සිට) කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික ‍වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය පද්මසිරි රණවක ආරච්චි,  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ලංකා වෙළඳ ආර්ථික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

Employment of Workmen Act) මේ පනතේ මූලික අරමුණ වූයේ පෞද්ගලික අංශයේ සේවායෝජකයන් විසින් ඔවුන්ගේ කැමැත්ත පරිදි සේවකයන් දැනුම්වත් කිරීමකින් හෝ කැමැත්තකින් තොරව සේවකයන්ගේ සේවය අවසන් කිරීම හෝ සේවය පසෙක තැබීම වැළැක්වීමයි. මෙම පනතින් ආවරණය ලැබීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන් කරුණු කීපයක් සම්පූර්ණ කර තිබිය යුතුය. (විෂමාචාර ක්‍රියාවක් හේතුවෙන් නිසි විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ආයතනයෙන් ඉවත් කළ සේවකයන් මෙම පනතින් ආවරණය නොවේ) වන්දි සූත්‍රය ඉදිරිපත් කරනු ලැබුවේ මෙම පනත 2003දි සංශෝධනය කිරීමෙන් අනතුරුවය. මෙම වන්දි මුදල ගෙවීම, සේවකයා සේවය කළ කාල සීමාව සහ ඔහුගේ වැටුප පදනම් කරගෙන සිදුවන අතර එම වන්දි මුදලට සේවකයා සෑහීමකට පත් නොවේ නම් ඔහුට කම්කරු කොමසාරිස් ජනරාල් වෙත යොමු කර සාධාරණයක් ඉෂ්ට කර ගැනීමේ හැකියාව තිබිණි.

“2005 ‍ට පෙර සමහර සේවකයන් වන්දි මුදල් හැටියට රු. ලක්ෂ 12 ½ ට වඩා ලොකු මුදල් ලබාගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. අපි හිතමු බහුජාතික සමාගමක සේවකයෙක් කියලා. ඒ සමාගම්වලට ලොකු වන්දි මුදලක් ගෙවන්න පුළුවන්. ඒත් 2005 දී ගෙනාපු වන්දි සූත්‍රය නිසා ඒවගේ ආයතනවලින් අයින් කරන සේවකයන්ට ලොකු වන්දියක් ලබාගැනීමේ අවස්ථාව අහිමි වුණා. සේවකයන් 15 දෙනකු තියාගෙන සුළු පරිමාණයෙන් ව්‍යාපාරයක් කරන කෙනාටත් ලක්ෂ 12 ½ ක් ගෙවන්න සිද්ධ වුණා. මේ වන්දි සූත්‍රය ගෙනෙන්න ඉස්සෙල්ලා කම්කරු කොමසාරිස් ජනරාල්ට යොමු කළාම ආයතනයේ ස්වභාවය, ආයතනවල හැකියාව අනුව වන්දිය තීරණය කිරීමේ බලයක් ඔහුට තිබුණා‍. එයින් සේවකයන්ට සාධාරණයක් ඉෂ්ට වුණා. ඒත් වන්දි සූත්‍රය ආවාට පස්සේ ඒ අවස්ථාවත් නැති වුණා. ඇත්තටම වන්දි සූත්‍රය ඉල්ලුවේ හාම්පුතුන්. සේවකයන් නොවෙයි.” යනුවෙන් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විස්තර කළේ ය.

සේවක වන්දි මුදල දෙගුණයක් කිරීම පිළිබඳව යහපත් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ඔවුන්ගේ සේවක සංගමය ඊට සම්පූර්ණ සහයෝගය දක්වන බව ද පැවසීය. එහෙත් මෙම උපරිම වන්දි මුදල වන රු. ලක්ෂ 25 හිමිකර ගත හැකි වන්නේ වසර 30 – 35 ක් සේවය කළ අයකුට බැවින් අඩු සේවා කාලයක් සහ අඩු වැටුපක් හිමිවන සේවකයන්ට ලොකු වාසියක් අත් නොවන බව සඳහන් කිරීමට ද මැළි වූයේ නැත.

“ප්‍රායෝගිකව සලකා බැලුවාම වන්දි මුදල වැඩි කිරීමේ වාසිය හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒත් අඩු වැටුප් ලැබෙන අයටත් වැඩිවීමේ අනුපාතය අනුව යම් වැඩිවීමක් ලැබෙනවානේ. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.” යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර සඳහන් කළේය.

“අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ රැකියා සුරක්ෂිතභාවය මිස රැකියා ඉවත් කිරීම නෙමෙයි. ඒත් ආර්ථිකයේ පසුබෑම් සහ සේවක අතිරික්තය නිසා සේවකයන් ඉවත් කරන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. ඒ අනුව උපරිම වන්දි මුදල රු. ලක්ෂ 25 දක්වා ඉහළ නැංවීමට අපි ප්‍රතිපත්තියක් වශයෙන් එකඟයි. ඒත් සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ නැතිව වන්දි මුදල වැඩි කළාට වැඩක් නැහැ. අද අවම වැටුප වශයෙන් නීතිගත කර තිබෙන්නේ රු. 13,500 යි. රු. 2500/- ක් වැඩි කළොත් වැටුප රු. 16,000/- ක් වෙනවා. මූලික වැටුප 16,000/- ලබන සේවකයකුට මාස 48 ක වැටුපක් වන්දි විදියට ලැබුනොත් හිමිවෙන්නේ රු. හත් ලක්ෂ හැට අට දාහයි. මූලික වැටුප රු. 50,000.00 ලැබෙන කෙනෙකු රු. ලක්ෂ 25 ක් වන්දි හැටියට ලබාගන්න නම් මාස 50 ක වැටුපක් හිමි විය යුතුයි. ඒත් වන්දි සූත්‍රයට අනුව උපරිමව ලැබෙන්නේ මාස 48 ක වැටුපක් පමණයි. එයින් පැහැදිලි වෙනවා වන්දි මුදල රු. ලක්ෂ 25 හිමි වෙන්නේ විධායක ශ්‍රේණියේ කළමනාකාර තනතුරු දරන අයට මිස සුළු වැටුප් හිමි පොඩි මිනිසුන්ට නෙමෙයි‍. වන්දි සූත්‍රයේ උපරිම වන්දි මුදල දෙගුණයක් කරනවාට වඩා සිදු කළ යුතු වන්නේ අවුරුද්දක සේවා කාලය නම් මාස 2 ½ ක වැටුපක්, අවුරුදු 5 ක සේවා කාලය නම් මාස 12 ½ ක වැටුපක් ආදී වශයෙන් පනවා තිබෙන නිර්ණායක වෙනස් කිරීමයි.” යනුවෙන් විස්තර කළේ ජාතික ‍වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය පද්මසිරි රණවක ආරච්චිය.

වෘත්තීය සමිති විසින් අඛණ්ඩව සිදු කළ කන්නලව්වක ප්‍රතිඵලයක් වශයෙන් සේවක වන්දි මුදල දෙගුණයකින් වැඩි කිරීම සතුටට පත් විය හැකි කරුණක් වුව ද මෙය පවත්නා ජීවන වියදම් දර්ශකයට අනුව සමානුපාතික ආකාරයට වැඩි වී නොමැති බව පෙන්වා දුන්නේ ලංකා වෙළඳ ආර්ථික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ය‍. ඔහුගේ අදහස වූයේ මෙම යාවත්කාලීන කිරීම බොහෝ ප්‍රමාද වී සිදු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල සපුරාගත නොහැකි බවය.

“2005 වන්දි සූත්‍රය ගෙනාපු කාලේ තිබුණු ජීවන වියදම් දර්ශකයයි අද දවසේ පවතින ජීවන වියදම් දර්ශකයයි බලපුවාම මේ වැඩි කිරීම ප්‍රමාණවත් නැහැ. ඒත් මුකුත්ම නැතිවාට වඩා මේ දේ හරි ලැබුණනේ.” යනුවෙන් ලංකා වෙළෙඳ ආර්ථික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි පැවසීය.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ රටේ ජීවන වියදම ඉහළ යෑම සහ බොහෝ සේවකයන්ගේ වැටුප් වැඩිවීම හේතු කොට ගෙන මෙම වන්දි මුදල ඉහළ දැමූ බවය.

“2005 වසරට සාපේක්ෂව මේ වන විට ජීවන වියදම වගේම වැටුපත් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා වෘත්තීය සංගම්වල ඉල්ලීම් සලකා බලලා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සේවකයන්ගේ වන්දි මුදල දෙගුණයකින් වැඩි කළා. මෙය සිදු කළේ වෘත්තීය සංගම් ඇතුළු නිලධාරින් සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමෙන් අනතුරුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වී තිබෙනවා යල් පැන ගිය නීතිරීති වෙනස් කරලා කම්කරුවන්ට සහන සැලසිය යුතුයි කියලා. ඒ අනුව තමයි 2005 වර්ෂයේ ගෙනාපු වන්දි සූත්‍රය වෙනස් කළේ. ඉස්සර තිබුණු ක්‍රමවේදය අනුව රු. ලක්ෂ 20කට හිමිකම් කිව්වත් වන්දියේ සීමාව ලක්ෂ 12 ½ නිසා රු. ලක්ෂ 12 1/2න් නවතින්න සිද්ධ වුණා. දැන් ඒ අයට මුළු මුදලම ලබා ගන්න පුළුවනි. උදාහරණයක් හැටියට රු. 75,000/-ක වැටුපක් ගන්න කෙනෙක් අවුරුදු 10ක් සේවය කරලා ඉවත් කළොත් එයාට හිමි වන්නේ මාස 22 ½ක වැටුප් ප්‍රමාණයක්. එතකොට එයාට දහසය ලක්ෂ අසූ හත්දහස් පන්සියයක් (1,687,500/0) හිමි විය යුතු වුණත් උපරිමය දොළොස් ලක්ෂ පනස්දාහ නිසා හිමි විය යුතු මුදල ලැබුණේ නැහැ. ඒත් දැන් උපරිමය ලක්ෂ 25 නිසා අදාළ මුදල ලබා ගන්න පුළුවන්.” යනුවෙන් තවදුරටත් විස්තර කළේ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ය. ‍

සුළු වැටුප් හිමි වන අයට මෙයින් වාසියක් නොලැබෙන බව පොදු අදහසක් ලෙස වෘත්තීය සංගම් ඉදිරිපත් කළත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ වැටුප් ප්‍රමාණය අනුව සේවක අර්ථසාධක මුදල්, පාරිතෝෂිත දීමනා සියල්ල තීරණය වීමේදි වැටුප අනුව වන්දි ගෙවීම අසාධාරණ නොවන බවය. මේ අතරවාරයේදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් වන්දි සූත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර 2005 වසරේදී දුන් පොරොන්දුවක් සිහිපත් කළේ එය කාටත් අමතකවී ගිය කාරණයක් වන නිසා ය. ඔහු පැවසුවේ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමේදී වන්දියට අමතර විරැකියා දීමනාවක් ගෙවීමට එදා කම්කරු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පොරොන්දු වූ බවයි.

Comments