මුතු මැණික් අභරණින් පුද ලබත් රජ අණින් | සිළුමිණ

මුතු මැණික් අභරණින් පුද ලබත් රජ අණින්

 

අලි, ඇත් සටන් මුළු මහත් ජන සමාජයක් වසඟ කළ ක්‍රීඩාවක් ලෙසින් සැලකුණු හා පැවතුණු යුගයක් තිබුණා. ඒ ඇත් පොර ඉතිහාසයේ තවත් කතාන්තරයක් අපි මෙවර ඔබට කියනවා.

දැන් අලි ඇතුන් සටන් ඇවිලෙන්නේ වන අලි රංචු හීලෑ ඇතුන්ගේ පෙළඹවීමෙනුයි. ගිය සතියේ කිව්වා වගේ උඩගම්පහ කෙත්ගල්ලේ කුරුවේ අය වල් අලි රංචුවක් එළවනවා. අලුත් අවුරුද්දේ තමයි රංචු දෙකම ඉදිකඩ ළඟට ළං වෙන්නේ.

ඒ වෙද්දි මහජනතාව ඇත්පොර බලන්න පොදි කනවා. කුමන අලි රංචුව දිනාවිද කියලයි ඔවුන් බලා ඉන්නේ. එක නොඉවසිල්ලෙන් කරන බලාසිටීමක්. ඇතැම්විට එකිනෙකා ඔට්ටු එහෙමත් නොදානවා නොවයි. හරකබාන, ඉහ ඉඟ තියෙන මිල මේ ඔට්ටුවට අයත්. එතැනදී පළමුවෙන් එන්නේ කුමන ඇත් රංචුවද කියන එක තමයි ඔට්ටුව වෙන්නේ.

ඇත් රංචුව පළමුව පොර පිටියට ගෙන එන්නන්ට වගේම තමන් පන්නාගෙන සටන් පිටිය ගෙනා ඇත් පන්තිය දිනවීමට කටයුතු කිරීම ගැන සතුටු වෙන රජවරු තැගි ලබාදී තිබෙනවා. අතීතයේ එන කතාවක මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඊට තෑගි වශයෙන් හැට පස් අමුණක නින්ද ගමක් තෑගි වරයක් ලෙස ලබාදීලා තියෙන බව පහුගිය සතියේ අපි කිව්වේ ඒ අනුවයි.

දැන් මෙහෙම ආපු ඇත් රැළට කෑම බීම දෙන්න රැස්ව සිටින නරඹන්නන් අමතක කරන්නෙ නෑ. පහළින් පිහිටි භූමියේ සිරවී සිටින අලි ඇතුන් දෙරංචුව එකිනෙක මුණ ගැසුණු පසු මුලින්ම සටන් කරන්නේ කවුද දන්නවද? ඒ සටනට නායකයෝ තමයි ඉදිරියට එන්නේ. ගෝත්‍රය වෙනුවෙන් ඔවුන් සටන් වදිනවා. කුංච නාද දෙමින්, රවමින්, ගොරවින්, සටන් වදිනවා. මොහොතකින් ගල් ඉදිකඩය තුළ එ විධිහට මහා සටනක් ඇරඹෙනවා. නායක ඇතුන් පරාජය වනතුරු මහා සටන දියත් වෙනවාලු. යම් හෙයකින් නායක ඇතා පැරදුණු පසුව තමයි රංචුව සටන නවතා පළායන්නෙ. හරියට මිනිස් සමාජය වගේමයි.

මිනිසා යනු සත්වයෙක් කියා කියන්න හැකිවෙන්න එය හොඳ සාක්ෂියක්. ඇත්පොරය දිහා නිහඬව බලාසිටි පිරිස් ඉන්පසුව මහත් හඬින් ඔල්වරසන් දෙනවා. එසේ කරමින් පරාජය වූ කණ්ඩායමට පරිහාස නගනවා.

දැන් තමයි ජයග්‍රාහී ඇත් රැළ රැගෙන ආ පිරිසට රජුගේ අනුග්‍රහයෙන් මුතු මැණික් ආදියෙන් තෑගි ලැබෙන්නේ. රෙදි පිළි, ආහාර පාන ආදිය ඔවුන්ට ප්‍රදානය කරනවා.

සමහර අවස්ථාවල ඇත් පොරයට බෙංගාලි කොටියෙක් හා කඟවේනුන් වැනි සතුනුත් යවපු අවස්ථා තිබෙනවා. තුවාල ලබපු කොටියට හෙල්ලයකින් අනිමින් ඌ ලවා ඇතා එළවනවා. ඇතැම්විට එහි ඇති අමානුෂීය භාවයක් විද්‍යාමාන වුවත් එකල තිබූ ක්‍රීඩාවේ ම්ලේච්ඡ භාවය ලෙස එය කෙනෙක් දකින්න පිළිවන්.

ඇත් පොරය අවසානයේ රණ හස්ති ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ රජුගේ අනුග්‍රහයෙනුයි. එය තමයි නරඹන්නන්ගේ සතුට වැඩි කරවන්නෙ. දෙකෙළෙවර යකඩ පොලු එල්ලලා දම්වැලින් පිදුරු පුරවලා ඉදිකරපු පඹයන්ට ඇතුන් ලවා පහර දෙවනවා. ඊට පස්සේ පාබල හමුදාවේ ආවරණයට දම්වැල් බැඳ කොටං රැගෙන එන ඇතුන් කීපදෙනෙක් උඩ නැගී ඉන්න පිරිස් සතුරන් මතට හෙල්ල හෝ කඩු එල්ල කරනවා. ඒ වගේම දිවීම් තරග, නැටුම් තරග හා පිහිනුම් තරග ආදී තරග වලට හීලෑ ඇතුන් යොමුකරනවා.

එවැනි පොර අපට සිහිපත් කරන්නේ වර්තමානයේ පැවැත්වෙන හමුදා සංදර්ශනවලටයි. හරියට යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා නිදහස් උත්සවය වෛවර්ණ කරමින් පවත්වන සංදර්ශන වගේ තමයි එකල රජු විසින් තම ජනතාවට ඇත් පොර සංදර්ශන, හීලෑ ඇත් පොර සංදර්ශන පෙන්වීම සිදුකළේ.

ලබන සතියට දඩ කෙළියේ ජන ක්‍රීඩාව

 

 

Comments