ගුවන විනිවිදි ඈපාසිංහයෝ සවන් තල මත ක්‍රිකට් මී රස අතුරති | සිළුමිණ

ගුවන විනිවිදි ඈපාසිංහයෝ සවන් තල මත ක්‍රිකට් මී රස අතුරති

 

සිසුවෙක්, ක්‍රීඩකයෙක්, පුවත්පත් කලාවේදියෙක්. ගුරුවරයෙක් බවට කලානුරූපව වෙනස් වූ ජීවිතයට දැන් ක්‍රිකට් විස්තර විචාරකයකුගේ භූමිකාවට පණපෙවීමට ඉඩ කඩ හිමිව ඇත.

කෘතඥතාවය මිනිසකු තුළ පැවතිය යුතු උසස්ම ගුණාංගයකි. එහෙත් එය වත්මන් සමාජය තුළ විරලය. එය විවෘත ආර්ථික ක්‍රමයේ අතුරුඵලයක් වන්නට ඇතැයි සිතෙන්නේ එකී අර්ථ ක්‍රමය හඳුන්වා දෙන්නට පෙර උපන් ඈපාසිංහයන් යනු නොවෙනස් කෘතවේදී මිනිසකු වන හෙයිනි. ඔහු තමන් තුළ පවතින එකී කෘතවේදිත්වය යළි යළිත් ස්මරණය කරන අප්‍රමාණ මිනිසෙකි. දසක අටකට එපිටට විහිදෙන තම ජීවිතය තුළ වුව ද එහි අංශු මාත්‍ර වශයෙන් හෝ අඩුවීමක් නැත. ඈපාසිංහයන් ගේ ජීවිතයෙන් උගත යුතු ප්‍රබල පණිවුඩය අතර කෘතවේදිත්වය සදාකාලික ගුණාංගයකැයි පැවසිය හැක්කේ එහෙයිනි.

තමන්ට සිප් සතර ඉගැන්වූ ගුරු දෙවිවරුන් මෙන්ම ඔහුට අත හිත දුන් සියල්ලන්ම නිබඳව සිහිපත් කරයි. ඔහුගේ අතීත ආවර්ජනයේදී ඇතැම් සිදුවීම් මෙන්ම පුද්ගල නාමයන් නොපැකිලව ඔහු පවසන්නේ එකී කෘතවේදිත්වය හද ගැඹරේ තැන්පත්ව ඇති අවංක හැඟුම් සමුදායක් වන හෙයිනි. වියපත් වනවිට බොහෝ දෙනෙකු තුළ මතුවන අමතක වීමේ ස්වභාවය ඈපාසිංහයන්ගේ මනස වෙලාගෙන නැත. එය ආශිර්වාදයකි. ඈපාසිංහයන් එවැනි වාසනාවකට උරුමකම් කියන්නේ ඔහුගේ ජීවිතයේ පවතින පෙර කී කෘතවේදී භාවය නිසාම විය යුතුය.

‘1968 ජනවාරි මාසයේ මට නාලන්දාවට පත්වීම ලැබුණා. නාලන්දාව කියන්නේ මගේ දෙවැනි උපන් බිම යයි කිව්වොත් නිවැරැදියි. මොකද නාලන්දාවෙන් මා ලබාගත් දේ අපමණ නිසා. ඒ උගත් දේ නැවත නාලන්දාවේ පසු පරපුරට ලබා දීමේ යුතුකම ඉෂ්ඨ කරන්නට මට අවස්ථාව උදාවුණා. උසස් පෙළට සිංහල භාෂාව ඉගැන්වීමත්, ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා ලෙස කටයුතු කිරීමේ වගකීමත් ඒ අනුව මට හිමිවුණා. ඒ වගකීම් ඉටු කරන්න මම උපරිම ලෙස කැපවීමක් කෙරුවා.’ ඈපාසිංහයන් සිය නාලන්දා ජීවිතයේ දෙවැනි ගමන ගැන සිහිපත් කළේය.

‘විශේෂයෙන් ඒ කාලයේ නාලන්දාවේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරපු නෙල්සන් මෙන්ඩිස් මහත්මයගෙන් ලැබුණේ අගනා සහායක් ඔහු එදා මෙදා තුර පාසල් ක්‍රීඩා කේෂත්‍රයේ බිහි වුණ දක්ෂම පුහුණුකරුවෙක් ලෙසට මම හඳුන්වන්න කැමතියි. එදා අප දෙදෙනාගේ මඟ පෙන්වීම යටතේ අනුර රණසිංහ, ලලිත් කලුපෙරුම. ලෙස්ලි නාරංගොඩ, ජයන්ත සෙනවිරත්න, පාලිත සෙනවිරත්න, බන්දුල වර්ණපුර, නන්දදේව පෙරේරා, මාධව සමරසිංහ, දයා සිරිසේන, ධම්මික සමරවික්‍රම, අනුර ද සිල්වා,මධුර විජේවික්‍රම වගේ විශිෂ්ට ක්‍රීඩකයන් නාලන්දෙන් බිහිකරන්න හැකිවුණා. මේ අතර කාලයේ රාජ්‍ය සේවා ක්‍රිකට් සමාජය වෙනුවෙනුත් මම ක්‍රීඩා කළා’ තවත් අතීතයක මතක කවුළුවක් අසළට අප රැගෙන යමින් ඔහු පැවසූවේය.

මේ අතර කාලයේ ඇපාසිංහයන්ගේ තනි-කඩ ජීවිතයට ස්ථිර නැවතුමක් තැබූ වසර උදාවෙමින් තිබිණි. ඒ 1968 නොවැම්බර් මාසයේදීය. කොළඹ ස්ටැෆර්ඩ් කාන්තා විදුහලේ ගුරුවරියක ලෙස සේවය කළ ස්වර්ණා සමරරත්න මෙනෙවිය හා ඈපාසිංහයන්ගේ සිත බැඳීමත් සමඟ එකී නැවතුම ගොඩනැංවුණේය. එය කෙළවර වූයේ විවාහයෙනි. එහෙත් මෙකල මෙන් එකල බොහෝ විවාහ හදවත මුල්කරගනිමින් දුටුසැණින් බැඳුණු ඒවා නොවේ. එසේම මෙම විවාහයද යෝජිත විවාහයකි. එහෙත් රන් රස සේ පෑහුණු විවාහයකි.එය නොදැවී ක්‍රියාත්මක තවත් චිරත් කාලයක් නොදැවීම් අපේක්ෂා කරන දීර්ඝ ඉනිමක ඇරැඹුමකි. දැන් එය නොදැවී වසර 53කි.

කෙසේ නමුත් විවාහයෙන් පසු ඈපාසිංහයන්ට ජීවිතයේ වගකීම් පිළිබඳ බර දැනුම් දුන්නේ කුලුඳුලේ නිවසට ආ අමුත්තාය. ඔහු භාග්‍යය. ඔහුගේ උපතින් පසු ගුරු වෘත්තියට සමු දුන් ඈපාසිංහයන් ලංකා බැංකුව හා සේවයට බැඳුණේය. ඒ අතර කාලයේ ඈපාසිංහයන්ගේ කැදැල්ලට දියණිය අප්සරා ද එක්වූවා ය.

මේ අතර වෘත්තීය ජීවිතය තුළ ද ඔහු විවිධ වෙනස් මානයන්ට ස්වකීය වෘත්තිය රැගෙන ගියේය. ඒ අතරින් වර්තමානයේ ජනප්‍රිය “ආරාධනා” සංගීතමය හෝරාව ඇරැඹුණේ ඈපාසිංහයන්ගේ මැදිහත් වීමෙනි. ඒ ඔහු ලංකා බැංකුවේ ප්‍රථම මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස සේවය කරන සමයේ ගුවන් විදුලියට හඳුන්වාදුන් වැඩසටහනක් ලෙස ය. මෙම කාලයේදී ද ඔහු ක්‍රිකට් ක්‍රීඩාව නම් අමතක කළේ නැත. වෙළෙඳ සේවා ක්‍රිකට් සමාජයේ ද ආරම්භක පිතිකරුවා මෙන් ම කඩුලු රකින්නා වශයෙන් ද ඈපාසිංහයන් ක්‍රීඩා කළේය.

ඒ හැත්තෑව දශකයේ ආරම්භයයි. එකල ඇරැඹි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සන්ධ්‍යා සේවය භාරව කටයුතු කළේ නන්දා ජයමාන්න මහත්මිය ය. ඈ එහි අරඹන වැඩසටහන් මාලාවකට ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණය පිළිබඳව දැනුමැති විචාරකයෙකු අවශ්‍යය විය. ඇය ඒ සඳහා සහය පැතුවේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ගුණරත්න අබේසේකර ගෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩාව ගැන විචාර දැනුමැත්තෙකු වශයෙන් අවස්ථාව හිමිවුණේ ප්‍රේමසර ඈපාසිංහයන්ට ය.

ඈපාසිංහයන් නාලන්දා කණ්ඩායම සහභාගි වූ මහා ක්‍රිකට් තරගයක පළමු වරට අඩු ලකුණු ගණනකට දැවීයාමෙන් අනතුරුව විස්තර විචාරක අට්ටාලයට පිට දී අසා සිටි විස්තර කථනයේ නියැලීමේ අවස්ථාව දැන් ඔහුට උදාවී තිබේ. සිසුවෙක්, ක්‍රීඩකයෙක්, පුවත්පත් කලාවේදියෙක්. ගුරුවරයෙක් බවට කලානුරූපව වෙනස් වූ ඈපාසිංහයන්ගේ ජීවිතයට දැන් ක්‍රිකට් විස්තර විචාරකයකුගේ භූමිකාවට පණපෙවීමට ඉඩ කඩ හිමිව ඇත.

ඒ අනුව නන්දා ජයමාන්න මැතිණියගේ සහයෝගය හේතුවෙන් ඔහු ගුවන් විදුලියේ මහගෙදරට ආවේය. දැන් මී වදයක් බඳු මයික්‍රපෝනය ඉදිරියේ අසුන්ගෙන සිටිමින් තරග නරඹමින් සිට විස්තර කථනයේ යෙදීමට ඈපාසිංහයන්ට සිදුව ඇත. ආරම්භයේ කටහඬ කොහේදෝ සැඟවී ගොසින් දෝ හෝ යි ඈපාසිංහයන්ට හැඟිණි.

එහෙත් උපතින් රැගෙන ආ නොපසුබස්නා අධිෂ්ඨානය විශිෂ්ට පෞරුෂයක්ව තමන් අසල තනිරකිමින් සිටින බව ඔහුට දැනෙන්නට විය.

‘ආයුබෝවන්’ සුපැහැදිලි, විනිවිදින ස්වරූපයෙන් යුත් වාග් චාතුර්යයෙන් හෙබි ඈපාසිංහයන්ගේ තියුණු භාෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ට්‍රාන්ස්මීටර් ඔස්සේ ගොස් ගුවන් තල සිසාරා හඬ නගන්නට විය. එය දසක කීපයක නොනවතින කෙළි හඬ නළුවක ආරම්භය වූයේය.

නිමි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments