ධර්මාලෝකය ශාස්ත්‍රාලෝකය හා විද්‍යාලංකාරය | සිළුමිණ

ධර්මාලෝකය ශාස්ත්‍රාලෝකය හා විද්‍යාලංකාරය

කුන්විසි වන සියවසේ දැල්වුණු ධර්ම ශාස්ත්‍ර දීපාවලියේ ආලෝකය මෙතෙරින් එතෙරටද ගලා ගියේය. එමතු නොව අලුතෙන් බිහි වුණු ඇතැම් ශාස්ත්‍ර ගුරුකුල මනුෂ්‍යයාගේ ලෝකෝත්තර විමුක්ති මාර්ගය මෙන්ම ලෞකික විමුක්තිමාර්ග පොහොණි කිරීමට තරම් නවීකාරක ආයතන බවට පත් විය. පසු ගිය සියවසේ මෙරට සමාජ විපරිවර්තන ක්‍රියාවලියට ඍජු ලෙස දායක වූ විද්‍යාලංකාර පිරුවන එබඳු කීර්තිමත් විද්‍යාස්ථානයකි. මේ යුග කාරක විද්‍යාස්ථානය ස්ථාපනය කිරීමට පුරෝගාමී වූවාහු රත්මලානේ ධර්මාලෝක යතීන්ද්‍රයෝය.

ධර්මාලෝක හිමියන්ගේ උපත සිදුවී තිබෙන්නේ 1828 වර්ෂයේ මැයි මස 28 වෙනි දිනය. රත්මලානේ විසූ රයිගම විදානෙලාගේ දොන් කොර්නේලිස් අප්පුහාමි සහ අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ උන්වහන්සේගේ දෙමවුපියෝය. ඔවුහු අකුරුකරණය සඳහා තම දරුවා රත්මලාන පුරාණ විහාරයේ වැඩවිසූ තලන්ගම සෝභිත ස්ථවිරයන්ගේ ශිෂ්‍ය වූ අඬුපේ සෝනුත්තර හිමියන් වෙත භාර කළහ. ඉගෙනීම සම්බන්ධයෙන් මේ කුමරුන් දැක්වූ බලවත් උද්‍යෝගය හඳුනා ගත් සෝනුත්තර හිමියෝ දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගෙන ඔහු සසුන්ගත කළහ. ධර්මාලෝක නමින් සසුන් බිමට පිවිසි සාමණේර හිමියෝකෝට්ටේ රාජ මහා විහාරයෙහි වැඩ විසූ නව කෝරලයේ නායක පදවිය දැරූ මලිගස්පේ මංගල හිමියන් වෙත වැඩි දුර අධ්‍යාපනය සඳයා යොමු කෙරුණහ.

එකල වස් පින්කම් පැවැත්වීමේදී පිටස්තර විහාරස්ථානයක වැඩ වාසය කරන ධර්මධර භික්ෂූන් වහන්සේ නමකට තම විහාරස්ථානනේ වස් විසීමට ආරාධනා කිරීමේ චාරිත්‍රයක් පැවතිණ. ඒ අනුව මලිගස්පේ නා හිමියෝ රත්මලාන විහාරස්ථානයේ වැඩ විසූ වලානේ සිද්ධාර්ථ හිමිපාණන්ට කෝට්ටේ රාජ මහා විහාරයේ වස් විසීමට ඇරයුම් කළහ. ඇරයුම පිළිගත් සිද්ධාර්ථ හිමිපාණෝ 1838 වර්ෂයේ වස් විසීම සඳහා කෝට්ටේ රජ මහා විහාරයට වැඩම කළහ. සිද්ධාර්ථ හිමියන්ගේ පාණ්ඩිත්‍යය කෙරෙහි ප්‍රසාදව සිටි අඬුපේ සෝනුත්තර ස්ථවිරයෝ ධර්මාලෝක සාමණේර නම වලානේ සිද්ධාර්ථ හිමියන් වෙත භාර කළහ. වසර නවයකට අධික කාලයක් ධර්මාලෝක සාමණේරයෝ සිද්ධාර්ථ හිමියන් ඇසුරේ ශාස්ත්‍ර හදාළහ.

විවිධශාස්ත්‍ර හැදෑරීමෙහි අභිලාෂ ඇති ධර්මාලෝක සාමණේරයෝ 1849 වර්ෂයේ සත් කෝරලයට අයත් බඹරගල විහාරස්ථානයේ වැඩ විසූ බෝගහවත්තේ ස්ථවිරයන් කරා එළඹ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය හැදෑරීමේ කැමැත්ත පළ කළහ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි හසළ දැනුමක් ඇති පල්ලේවත්තේ මහා ස්ථවිරයන් වෙත යොමු කෙරුණු ධර්මාලෝක සාමණේරයෝ උන්වහන්සේ වෙතින් මනා ලෙස ජ්‍යෝතිශ්ශාස්ත්‍රය උද්ග්‍රහණය කළහ. පල්ලේවත්තේ ස්ථවිරයන් ජ්‍යෝතිෂය හදාරා ඇත්තේ පට්ටියේගම මහවාසල ගණිතාචාර්යයන් වෙතිනි.

ඔහුගේ පරපුර ජ්‍යෝතිෂයෙහි මෙන්ම විහාර සිතුවම් කර්මයෙහිද හසළ නිපුණත්වයක් ලැබ සිටි බව ප්‍රචලිතය. විහාර සිතුම් කලාව කෙරෙහි ඇදී ගිය සිතැති ධර්මාලෝක හිමියෝ කලක් සත් කෝරලයේ හායනයට ලක්වෙමින් පැවති විහාරාමවල කටුකොහොල් අරවා තමන් විසින්ම විත්‍ර කර්ම කළහ. ධර්ම ශාස්ත්‍ර නිපුණත්වය ලැබ සිටි සාමණේරයෝ දුර්ලභ ග්‍රන්ථ පිටපත් කිරීමේ සත් ක්‍රියාවටද සක්‍රියව දායක වූහ. ධර්මාලෝක සාමණේරයෝ සත් කෝරලයේ වැඩ වාසය කළ කාලයේ ශිෂ්‍ය භින්ෂූන්වහන්සේට ශාස්ත්‍ර ඉගැන්වීමෙහිද නිමග්න වූහ.

ලෝ සසුන් වැඩ පිණිස කාලය කැප කිරීම නිසා ධර්මාලෝක හිමියන්ට නිසි වයසේදී උපසම්පදාව ලැබීමට තිබූ අවස්ථාව ප්‍රමාද විය. 1860 වර්ෂයේදී උන්වහන්සේ පරණකුඹුරේ සරණංකර හිමියන් වෙතින් උපසම්පදාව ලදහ.

උපසම්පදාවෙන් පසු නැවතත් රත්මලානේ පුරාණ විහාරස්ථානට වැඩම කළධර්මාලෝක හිමියෝ ගිහි පැවිදි ශිෂ්‍යපර්ෂදයන්ට ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමෙහි නිමග්න වූහ. මෙසේ ශාස්ත්‍ර ඉගැන්වීම ආරම්භ කෙරුණු පසු දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් ගිහි පැවිදි බොහෝ පිරිස් ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා රත්මලාන පුරාණ විහාරස්ථානය කරා ඇදී එන්නට පටන් ගත්හ. ඉතා කෙටි කලකින් රත්මලාන පුරාණ විහාරය දිවයිනේ ප්‍රසිද්ධ විද්‍යාස්ථානයක් බවට පත් විය. රජයේ භාෂා පරිවර්තක තනතුර දැරූ සයිමන් ද සිල්වා සෙනෙවිරත්න මුදලිතුමා, වෛද්‍ය අඟුලානේ වී. ඒබ්‍රහම් ප්‍රනාන්දු ධර්මාලෝක හිමියන් වෙතින් රත්මලානේදී ශාස්ත්‍ර උගත් ගිහියෝ වෙති. එවක සිටි ප්‍රසිද්ධ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයකු වූ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ද ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳ ගැටලු තැන් පැන නැගුණු කල ධර්මාලෝක හිමියන්ගෙන් විචාරා නිරාකරණය කර ගෙන තිබේ.1864 වර්ෂයේදී ධර්මාලෝක හිමියන් වෙත එළඹ ප්‍රව්‍රජ්‍යාව ලද කලපලුවාවේ (රත්මලානේ) ධර්මාරාමහිමියෝ මේ හිමියන්ගේ අග්‍රේසර පැවිදි ශිෂ්‍ය ශිෂ්‍ය රත්නය වූහ.

ධර්මාලෝක හිමියන්ගේ පාණ්ඩිත්‍යය රටෙහි පතළ වීමත් සමඟම බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම කෙරෙහි ප්‍රෝත්සාහී වූ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කළ ප්‍රභූවරු මේ හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය පැතූහ. 1874 වර්ෂයේදී කැලණි රජමහ විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත ස්ථවිරයන් හා උන්වහන්සේගේ ශිෂ්‍ය සංඝරක්ඛිත හිමියන් ප්‍රමුඛ පෙතියාගොඩ දායක පිරිස පෙතියාගොඩ විහාරයෙහි වස් විසීමට ධර්මාලෝක හිමියන්ට ඇරයුම් කළහ.

1875 වර්ෂයේදී උන් වහන්සේට දළුගම වස් විසීමට ඇරයම් කෙරිණි. මේ ආරාධනයන්හි පරමාර්ථය වූයේ ධර්මාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ අධ්‍යාපනය ඒ ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීමට පදනම සකස් කර ගැනීමය. දොන් ඒබ්‍රහම් සමරතුංග රන්දුණු බස්නායක මුහන්දිරම්තුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලංකාර දායක සභාව නමින් සංවිධානයක් පිහිටුවා ගත් ප්‍රදේශවාසී බෞද්ධයෝ ඒ ප්‍රදේශයේ ශාස්ත්‍රශාලාවක් පිටුවීමට ධර්මාලෝක හිමියන්ට ඇරයුම් කළහ.

1875 වර්ෂයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ වන්නේ මේ පරිශ්‍රමයේ ප්‍රතිඵලය ලෙසිනි. රත්මලානේ ධර්මාලෝක හිමියන් සහ උන්වහන්සේගේ අග්‍ර ශිෂ්‍ය (කලපලුවාවේ) රත්මලානේ ධර්මාරාම හිමියන් පෑලියගොඩ ඉදි කෙරුණු පොල්අතු සෙවෙණි කළ මඬුවක පිරුවන අරඹා ඉගැන්වීම් කටයුතු ඇරඹූ පසු නන් දෙසින් ශිෂ්‍ය ගණයා ශාස්ත්‍රෝද්ග්‍රහණයට ඇදී ආහ.

ධර්මාලෝක හිමියන් කෙරෙහි වූ උතුම් ගුණාංගයක් මූර්තිමත් වන්නේ ජීවිතාන්තය තෙක් කඩ නොකළ එක් පැවැත්මක් මගිනි. සතියේ දිනවල විද්‍යාලංකාර පිරුවනේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වන ධර්මාලෝක හිමියෝ සිකුරාදා සවස කැලණිය දුම්රිය ස්ථානයෙන් රත්මලානට වැඩම කොට සති අන්ත දින දෙක ප්‍රදේශවාසී දායක කාරකාදීන්ගේ සුබසිද්ධිය උදෙසා පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරති.

යළි පෑලියගොඩ බලා වැඩම කරන්නේ සඳු දින උදයේය.

සිවු පසයෙන් තමාට උපකාරී වූ දායක පින්වතුන් හා නිජ ග්‍රාමය අමතක නොකිරීමේ උතුම් ගුණාංගයයි ඒ පැවැත්මෙන් මූර්තිමත් වූයේ. කෙටි කලක් ගත වන විට විද්‍යාලංකාර පිරුවන නවීන ගොඩනැගිලි ඉදි වී භෞතික සහ ශාස්ත්‍රීය යන උභය පාර්ශ්වයෙන්ම දියුණුවෙන් දියුණුවට පත් වුවද ධර්මාලෝක හිමියෝ මුලින් ඉදි කෙරුණු පොල් අතු නිවහනෙහිම වාසයට රුචියක් දැක්වූහ.

නැණ නුවණින් කෙතරම් අග්‍රස්ථානයක වැජඹුණද සරල නිරහංකාර දිවි පැවැත්ම අත් නොහළ ධර්මාලෝක නා හිමියෝ ලෝ දහමට අවනතව 1887 වර්ෂයේ අගෝස්තු මස 15 වැනි දින සැට විය සපිරෙත්ම ආයු සංස්කාරය හළහ.

Comments