කොවිඩ් 19 පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථකද? | සිළුමිණ

කොවිඩ් 19 පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථකද?

මෙරට කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර රැසක් ගෙන තිබේ. ඒ අනුව ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව රෝගය පැතිර යාමේ සහ රෝගීන් වාර්තා වීමේ අඩු ප්‍රවණතාවක් පවතී. කොරෝනා දෙවැනි රැල්ල නිර්මාණය විමත් සමඟ කොරෝනා මර්දනය කිරීමට රජය විසින් විවිධ ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය. මේ වනවිට රටපුරා නව වයිරසයක් පැතිරීමත් සමඟ වයිරසය පාලන කිරිමට රට වසා දැමීමක් සිදු නොකරන බව කොවිච් 19 පාලනය කිරීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අභියෝගය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම් අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙරට ප්‍රදේශ හතරකින් හමුවූ වැඩි ප්‍රචාරණ ශීඝ්‍රතාවයක් ඇති කොරෝනා වයිරසය මෙරට නිර්මාණය වි ඇත.

එමෙන්ම සියයට පනහකට වඩා ශිඝ්‍රයෙන් පැතිරීමේ ප්‍රවණතාවක් එහි පවතින බව සඳහන් කරයි. කෙසේ වෙතත් ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් වුවද දිනකට රෝගීන් දහසකට අඩු ප්‍රමාණයක් වාර්තා වීම දක්වා පාලනය කරගැනීමට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සියලු අංශයන්ට හැකියාව ලැබී ඇත. මේ රෝගය පාලනය කිරීම සඳහා නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් ජනතාවගේ පාර්ශ්වයෙන් ද විශාල සහයෝගයක් ලැබිය යුතුය.

 

වගකීම් බාර ගන්න කෙනෙක් නැති නිසයි මේ ප්‍රශ්නය

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොරෝනා ව්‍යසනය පිළිබඳව යථාර්ථය සඳහන් කරනවා නම් මුලින්ම මෙය ශ්‍රීලංකාවට පැමිණි වෙලාවේ ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතු වෙලා ගත්ත ක්‍රියාමාර්ග යම් කිසි ප්‍රමාණයකට පැතිරීම අඩුවුණා. නමුත් දෙවැනි රැල්ල අවස්ථාවේ දි මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් වුණේ නැති නිසයි රටපුරාම මෙය පැතිරිලා ගියේ. එක එක තර්ක කළා මිසක රෝග නිවාරණය පිළිබඳව බැලුවේ නැහැ. උපදෙස් ලබා දෙමින් කටයුතු කළා පමණයි. මුල් වතාවේ මේ වයිරසය පැතිරිලා ගිය අවස්ථාවේ විදියට කටයුතු කළා නම් මෙය මෙතරම් උග්‍ර වෙන්නේ නැහැ. මෙය පිළිබඳව සැලකිල්ල අඩු නිසා බෝවීම, පැතිරීම වැඩිවෙලා තියෙනවා. රෝග නිවාරණ පැත්ත පිළිබඳව නිසි වැඩපිළිවෙළක් මේ වෙනතෙක් තවමත් අරගෙන නැහැ.

අපි කියන්නේ මේ පිළිබඳව උගන්වලාවත් මේ ගැන දැනුම්වත් වෙන්න කියලා. අපි කියන්නේ මුඛ ආවරණ, අත් සේදීම කොතෙක් කළත් අපි නිසි ආකාරයෙන් උපදෙස් අනුව ක්‍රියා කළ යුතුයි. වගකීම් බාරගන්න කෙනෙක් නැති නිසා අද මෙය පැතිරිලා තියෙනවා. දැන් වුණත් මෙහි වගකීම් බාර අරගෙන උපදෙස් දෙන්න කෙනෙක් ඉන්නවා නම් බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. මාධ්‍ය සන්දර්ශනය කරනවා මිසක කළ යුත්තේ කුමක්ද; විය යුතු වන්නේ කුමක්ද කියලා සෞඛ්‍ය බලධාරීන් නිසි ලෙස සඳහන් කරන්නේ නැහැ.

 

 

තාක්ෂණික තීරණ ගැනීමේ ගැටලු වැඩියි

වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවි කුමුදේශ්

කොවිඩ් මර්දන වැඩ සටහන ආරම්භ කරපු දවසේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාරීත්වයේ ගැටලු තිබුණා. ඒ අය විශ්වාස කරන කිහිපදෙනෙක් සමඟ අතිශයින්ම වැදගත් තාක්ෂණික කරුණු ගැන තීරණ ගැනීම සහ ඒ තීරණ ගැනීමට ප්‍රමාදවීම ගැටලුවක්. විවිධ පාර්ශ්වයන්ගේ නිපුණතාව කුසලතාවය විශේෂඥතාවය ඒ අය පිළිගන්න අකමැතිකම තවත් හේතුවක්. උඩ සිට පහළට තීරණ ක්‍රියාත්මක විමේදී ගන්නා තීරණවලයි මේ ගැටලුව පවතින්නේ. එක එක්කෙනාගේ නිපුණතාවය එක් එක් ආකාරයට වැදගත්. රසායනාගාර සේවාවේ හැමදාම තීරණ ගන්නේ සියලු දෙනා එකඟතාවය අනුවයි. නමුත් අපි දැක්කේ නැහැ කොරෝනා ආරම්භයේ සිටම එවැනි තත්ත්වයක්.

මේ වනවිට රසායනාගාර සේවාවේ දැඩි අවශ්‍යතාවයක් තියනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාපිළිවෙතක් අපි දැක්කේ නැහැ. අපි දකින ප්‍රධාන අඩුපාඩුව නිසි තීරණ නොගැනීමත් අවශ්‍ය තීරණ මාසයක් දෙකක් පමණ ප්‍රමාද වී ලබා ගැනීමත්ය.

ඒ පරක්කුව ඇතුළේ විශාල ගැටලු ඇති වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ප්‍රමාදයෙන් පසුව මේ වන විට හරි පීල්ලේ යනවා. කොවිඩ් සම්බන්ධයෙන් වැඩ කරනවා මහන්සි වෙනවා, නමුත් ප්‍රමාදය ඇතුළේ වූ අඩුපාඩු වහන්න බැහැ. මේ වෙලාවේ නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් තිබිය යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ එකම රසායනාගාරයකවත් ජාන අනුක්‍රමික යන්ත්‍රයක් නැහැ. අපි මෙය කියන කොට සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සියලු දේ ලෑස්ති කරලා පසුව නැවැත්වූවා. රසායනාගාර සේවාව ලෝකයේ තියන විදිහට නෙමෙයි ලංකාවේ තියෙන්නේ. හැම එකකටම වි‍ශේෂඥ වෛද්‍යවරයෙක් අත ගහනවා, ඒ අයගේ දැනුමේ ප්‍රමාණයටයි සියල්ල තීරණය වන්නේ. කොරෝනා සම්බන්ධයෙන් ලෝකයේම පර්යේෂණ කරනවා, ජාන අනුක්‍රමණ විශ්ලේෂණයක් කරලා ප්‍රභේද සොයාගැනීම ජාතික වගකීමක්. එය ප්‍රාථමික පර්යේෂණ අවස්ථාවක්. ඒ සඳහා උරදෙන්න පුළුවන් වෛද්‍යවරුන් හිටියත් ඒ අයට ඉඩ ලැබෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මේ අනුක ජිවි ක්ෂේත්‍රයේ නිපුණතාවයන් තිබෙන වෛද්‍ය නොවන විශේෂඥයන් ඕන තරම් ඉන්නවා .

වෛද්‍ය පීඨවල මේ සඳහා ඉන්න විශේෂඥයන් යොදවලා මේ දේවල් කළ යුතුයි. ඒත් ඒ දේවල් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අපිට වාසනාවකට උනන්දුවෙන් විශේෂඥ වැඩ කරන වෛද්‍ය වෘත්තිකයන් ඉන්නවා. ඒ අයට ජාතික වශයෙන් පරික්ෂණ කරන්න බැහැ ප්‍රභේද පැතිරුණා කිව්වාට පර්යේෂණ ජාතික වශයෙන් නොකරන නිසා පැතිරුණු දිස්ත්‍රික්ක ප්‍රමාණයවත් අප හරියට දන්නේ නැහැ.

එමෙන්ම ඒ ප්‍රභේද හැරුණු විට අනෙක් ප්‍රභේද ගැන පර්යේෂණ කරලත් නැහැ. එන්නත් ශරීරය ඇතුළේ ක්‍රියාකාරීද නැද්ද කියලා අපි හොයලා නැහැ. ජාතික රසායනාගාරයක් ඇති කර මේ සම්බන්ධයෙන් පර්යේෂණය කරන වෛද්‍යවරුන්ට සහය දීමට අපිට ඉඩ ලබාදිය යුතුයි. හුදකලා නිරෝධායන කිරීම් ක්‍රමවේදයන් අලුත් වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වැඩිය නැහැ. නීතිය එක විදිහකට ක්‍රියාකාරිත්වය තව විදිහකට තිබිය යුතු නැහැ.

විශේෂයෙන් ක්ෂේත්‍රය ඇතුළේ සිට තීරණ ගත යුතුයි. එයින් බැහැර ඉන්න අය නොවෙයි තීරණ ගත යුතු වන්නේ. පළමුවැනි දේ තමයි අපිට ඇති පහසුකම් ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.

 

රට වහගෙන ප්‍රශ්නය  විසඳන්න බැහැ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක

වෛද්‍ය හරිත අලුත්ගේ

අපට තිබෙන අත්දැකීම් අනුව පසුගිය කාලයේදී ලෝකයේ සමහර රටවල් භාවිතා කරන ක්‍රමවේදය සලකා බලමින් ඒවා අපේ රටට ගළපා ගනිමින් ඒවා අනුගමනය කරමින් තමා අපි ඉස්සරහට යන්නේ. කොරෝනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ප්‍රධාන විකල්ප ක්‍රම තුනක් තිබෙනවා.

පළවෙනි එක කොරෝනා එලෙසම පවතින්න ඉඩ හැරීම. මෙහිදී විශාල ප්‍රමාණයක් මරණයට පත් වූවත් රටක් වශයෙන් ඉදිරියට යෑමට හැකි වෙනවා. නමුත් රටක් ලෙස අපි එසේ කරන්නේ නැහැ. මරණයට පත් වීමට යන එක් රෝගියෙක් පවා සුවපත් කිරීමයි අපේ අරමුණ වී තිබෙන්නේ. එම නිසා අපි කටයුතු කරන්නේ මෙම විකල්පය අනුව නොවෙයි.

දෙවන විකල්පය වන්නේ රට සම්පූර්ණයෙන්ම වසා දමා, රටේ ආර්ථිකය පිළිබඳ නොතකා සියලු ගුවන් තොටුපළවල්, පාසල් ආදිය වසා, රට තුළට කිසිවෙකුට ඒමට හෝ රටින් යාමට නොහැකි වන පරිදි පාලනය කිරීමයි.

අභියෝගාත්මකම සහ අමාරුම තුන්වන විකල්පයයි මෙහිදී තෝරා ගෙන තිබෙන්නේ . මෙහිදී සිදු වන්නේ කොරෝනා පාලනය කරන අතරතුර අප රටේ ජන ජීවිතය සාමාන්‍යකරණය කරමින් රට ඉදිරියට ගෙන යාමයි. මෙම විකල්පයට අනුව සාමාන්‍යකරණය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය එක් වී සාදන ලද මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් මූලික සෞඛ්‍යය හුරු පුරුදු සමඟ ජීවත් වීම අත්‍යවශ්‍ය වෙනවා.

අවුරුදු 60ට වැඩි පිරිස්, දියවැඩියා අධිරුධිර පීඩනය පිළිකා වකුගඩු රෝග ආදී වෙනත් රෝගවලින් පීඩා විඳින අය මෙම අවදානම් කාණ්ඩයට අයත් වෙනවා. පසුගිය කාලයේදී සිදු වූ මරණ වලින් වැඩි ප්‍රමාණයක් මෙම අවදානම් කාණ්ඩයේ සිදුවුණේ. මේ තුළින් අවදානම් කාණ්ඩය ආවරණය කරගත හැකි වුවහොත් එය වඩාත් සාර්ථකයි.

සියලුම පාසල්වල අමතර උත්සව නවතා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනු ලැබුවා. මෙවැනි ස්වයං විනයක් සියලු ස්ථානවල සාදාගත යුතුයි. මංගල සහ අවමංගල උත්සව පවා පනවන ලද සීමා තුළ සිටිමින් සිදු කළ යුතුයි. ඊට අමතරව පවත්වන උපන්දින සාද වැනි අමතර දෑ අනිවාර්යයෙන්ම රටේ පවතින නිරෝධායන නීති වලට පටහැනියි. ඒවා වහාම නතර කළ යුතුයි.

තවත් වැදගත් වෙන කාරණාවක් වන්නේ නගර අතර සංචරණ සීමා පිළිබඳ සොයා බැලීමයි. සාමාන්‍යයෙන් රෝගීන් ගලා යන්නේ අවදානම වැඩි තැන සිට අඩු තැනටයි. එම නිසා මේ පිළිබඳව මීට වඩා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙම අලුත් වයිරස ප්‍රභේදය බලපෑම් කර ඇති ලෝකේ අනිත් රටවල් ක්‍රියාත්මක වී ඇති ආකාරය සහ අපේ රටට ඇති අවදානම තක්සේරු කර මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාදැයි රජය දැනුම්වත් විය යුතුයි. එවිට රජයට මේ සම්බන්ධව ක්‍රියා කළ හැකියි. මේ රෝගය පිළිබඳ සමහර දත්ත පවතින්නේ වසංගත රෝග විද්‍යාඥයන් සතුව පමණයි. එම දත්ත මත පදනම්ව රජය ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි වහාම නිර්දේශ ලබා දිය යුතුයි.

 

 

කොරෝනා මර්දනය බිම්මට්ටමින් ක්‍රියාත්මක වීම ශක්තිමත් නැහැ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංවිධානයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු

 

පොදුවේ ගත් විට කොරොනා පාලනයට අරගෙන තියන ක්‍රියාමාර්ග ශක්තිමත් මදි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දුන්නත් ක්‍රමවේද පිළිබඳව හඳුන්වා දුන්නත් ඒවා බිම්මට්ටමට යද්දි ක්‍රියාත්මක් වෙන්නේ නැහැ. ඒ නිසා අද කොරෝනා ප්‍රශ්නය ගැන කතා කරන්න පත් කළ සියලුම කාර්යය සාධක පිරිස් ඉන්නේ ඉහළ පෙළේ අයයි. ඒ අය ඉහළ පෙළේ දේවල් විතරයි වාර්තා කරන්නේ.

අපි වගේ බිම් මට්ටමේ තොරතුරු වාර්තා කරන්නේ නැහැ. පළමු වැනි භයානක කාරණාව කොරොනා වලට ජනතාව බය නැහැ. ඒ නිසා අසාදිතයන් වැඩිවෙමින් පවතිනවා. එමෙන්ම මේ රෝගය වැලඳුණ අයව නිරෝධායන මධ්‍යස්ථානවලට නිසි වැඩ පිළිවෙළක් නැහැ.

උඩ ඉඳගෙන නීති පැනවුවාට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක විය යුතුයි.

ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙන්න ඕන . එමෙන්ම කොරොනා වලින් මිය ගිය අයට නීතිය එක විදිහට ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා බිම්මට්ටමින් කොරෝනා මර්දනය ක්‍රියාත්මක වීම ශක්තිමත් නැහැ.

ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක නැහැ. මිට වඩා අවධානය යොමු කරන්න අවශ්‍යයි.

 

ජනතාවගේ සහය අත්‍යවශ්‍යයි

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් පාලනය සඳහා ගත්ත තීරණ තීන්දු සාර්ථක වූ නිසා මේ තරමට රෝගීන් වාර්තා වීමෙන් පාලනය වී පවතින්නේ. ලෝකයේ වෙනත් රටවල රෝගීන් වාර්තා වීමේ අනතුරුව ශිඝ්‍ර වර්ධනය වීමක් පවතිනවා. අපේ රටේ ඔක්තෝබර් මාසයේ සිට මේ වන විට දිනපතා රෝගීන් වාර්තා වීම දහසකට අඩු මට්ටමින් පවත්වා ගෙන යාමට සිදු වෙනවා. ඒ මට්ටමින් පවත්වා ගෙන යාමට හැකිවෙලා තියෙන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම තුළිනුයි. රටක් ලෙස මීටත් වඩා මේ රෝග වාර්තා වීම අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා; ජනතාව සහය තියෙනවා නම්. අධික ලෙස පැතිරීමට ඇති අවස්ථා අවම කරගැනීමට ජනතාව සහය දිය යුතුයි. විශේෂයෙන් පොකුරු ඇතිවීමට හේතු වන්නේද නොයෙක් ආකාරයේ උත්සව, මංගල්‍ය, අවමංගල්‍ය, ප්‍රිය සම්භාෂණ පැවැත්වීමයි. නිසි සෞඛ්‍ය පුරුදු එවැනි අවස්ථාවල පිළිපදින්නේ නැති නිසයි, මේ තත්ත්වය ඇතිවෙන්නේ. මේ තරම්වත් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ; ජනතාවගේ පැත්තෙන් එම සහය තියෙනවා නම්. ඒක තමයි වැදගත්ම දේ. අත්‍යවශ්‍ය මුලික කරුණු ටික කෙරෙනවා නම් මෙය වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.

 

රෝගීන්ට අසාධාරණයක් වන්නේ නැහැ

 කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන්

වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල මෙහෙවරක් කරලා තියනවා. දිනපතා සෞඛ්‍ය නිලධාරීන්ගේ රැස්වීම් පැවැත්වෙනවා. රෝගීන් සඳහා වෙනම රෝහල් පවත්වා ගෙන යාමක් සිදුවෙනවා, එමෙන්ම නිරෝධායනය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීම් ක්‍රියාත්මක වෙනවා.

කොවිඩ් 19 රෝගීන් සඳහා විශේෂිතම ප්‍රතිකාර කිරීම් රැසක් සිදුවෙනවා. උදාහරණ ලෙස ජාතික රෝහලේ විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය එවැනි රෝගියෙකුට මේ වයිරසය ආසාදනය වීඇති අවස්ථාවලදී කොවිඩ් 19 වැලඳී සිටියාට වෙනත් දරුණු රෝගාබාධ ඇති අවස්ථාවලදී අපි වෙනම රජයේ රොහල්වල ඒ අය සඳහා කාර්යය මණ්ඩලයක් පවත්වාගෙන යනවා.

ඒ අතර සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා වෙමින් කටයුතු කිරීමට අපි සියලු කටයුතු සිදු කරනවා. ජාතික රෝහලේ සහ අනෙක් රෝහල්වලදී ලබාදිය හැකි ස්ථර අනුව ලබා දෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනුවත් කිරීම් මෙන්ම ඇතුළත් වන සියලු රෝගීන්ට ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබනවා. එහිදී කොවිඩ් රෝගීන් බවට තහවුරු වන රෝගීන් වෙනම වාට්ටුවකට යොමු කරනවා. අනෙක් රෝගීන්ගෙන් ඒ අය වෙන් කිරීමට ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ සඳහා විශේෂිත සෞඛ්‍ය නිලධාරින් සේවයේ යොදවා තියෙනවා. ජාතික රොහලෙන් විශේෂ ප්‍රතිකාර ලබාදුන් පසු මාරු කර යැවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.

එමෙන්ම හුදකලා ප්‍රදේශවල සාමාන්‍ය වෛද්‍යවරු සහිත කණ්ඩායම් පමණක් නොවෙයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම් පිටත් කර හැරීම් කරනවා.

 

 

ඇතැම් අරමුණු පැහැදිලි නැහැ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

කොවිඩ් පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්යන්හි සාර්ථක සහ අසාර්ථක තැන් තියෙනවා. පාලනය කිරීමේ ක්‍රමවේදය අතරින් සියලුම සමාජ කොටස් ඒකරාශී කර කරමින් කරනු ලබන ක්‍රියාදාමයන් සාර්ථකයි. නමුත් සෞඛ්‍ය අංශයේ නායකත්වයක් තිබිය යුතුයි. එහි නායකත්වයේ සහ වැඩපිළිවෙළේ දුර්වලතාවයක් ඇති බව අපිට දක්නට ලැබෙනවා. ඇතැම් අරමුණු පැහැදිලි නැහැ. පාලනයට අරමුණක් තබාගන යායුතු සේම ඒ අරමුණට යායුතු ක්‍රමවේදයන් උපායමාර්ගයන් තිබිය යුතුයි. ඒ උපායමාර්ග සහ අරමුණුවලට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මෙතෙක් පැවැති වැඩ පිළිවෙළ නොව පොදු සෞඛ්‍ය ක්‍රමවේදයන්ට එහා ගිය ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. සම්බන්ධීකරණයට නිසි ක්‍රමවේදයක් නොවන අතර නිසි සන්නිවේදනයක්ද සිදු නොවෙයි. උඩින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් පහළට ගලා ඒමේදී යම් යම් අඩු පාඩු දක්නට ලැබෙනවා .තාක්ෂණික තීරණ ගැනීමට නිසි වැඩපිළිවෙළක් නැහැ. ජාතික මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් තියනවාද කියන කරුණ ගැන ගැටලු තියනවා.

ජාතික මට්ටමින් පමණක් නොවෙයි දිස්ත්‍රික් මට්ටමින්ද තාක්ෂණික කමිටුවලට වැඩි අවධානයක් යොමු විය යුතුයි. එසේ වැඩ පිළිවෙළක් නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද කියලා ගැටලු තියනවා. මෙහිදී විශේෂිත කරුණක් වන්නේ ඇතැම් අවස්ථාවලදී බලය තියන අයට තාක්ෂණය නැහැ තාක්ෂණය තියන තැන බලය නැහැ. බලය තියන තැන තාක්ෂණික දැනුම නැහැ. මේ ගැටලු නිරාකරණය කරගත යුතුයි. නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. තාක්ෂණික කමිටු දාලා තිබුණාට නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද කියන ගැටලුව තියෙනවා. ඒ අය නිසි පර්යේෂණ කරලා දෙන සමහර අවසන් වාර්තා පුස්කනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන ගැටලුව තියනවා. නිරෝධායනයට වෙනම ආයතනයක් තිබෙනවා. නමුත් එහි යොමු වීම් අඩුයි. අනිවාර්යෙන්ම සෞඛ්‍යයට අදාළ දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කළ යුතුයි. ආරක්ෂක අංශවල සේවය අපි අගයනවා. මේ වනවිට හුදකලා කිරීම් ප්‍රාදේශීය මට්ටමින් සිදුවෙනවා.

 

මාර්ගෝපදේශවලත් ගැටලු තියෙනවා

 ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ

සංගමයේ සභාපති උපුල් රෝහණ

 

සමස්ත ලෙස ගත් විට අපේ රටේ කොවිඩ් 19 පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හොඳයි. බෝවන රෝග පාලනය සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබනවා. බෝවීම් පාලනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිපත්තිමය ගැටලු තිබුණා. නිසි වෙලාවට රටේ සංචරණ සීමා පැනවූවත්, රට වසා දැමුවත් රට යළි විවෘත කිරීමේදී දෙන ලද උපදෙස් සහ ආයතන ඇතුළේ හැසිරීම් පිළිබඳව නිසි ලෙස ක්‍රියාත්මක වුණාද යන කරුණ මතුවෙනවා. ඒ ක්‍රියාමාර්ග සාර්ථක වුණාද යන කාරණාව සම්බන්ධයෙන් යම් ගැටලු තියනවා. එහි මාර්ගෝපදේශවල විශාල ගැටලු තිබීම නිසා ජනතාව ඉක්මනින්ම සාමාන්‍යකරණය වුණා. දෙවැනි රැල්ල හරහා විශාල අර්බුදයක් නිර්මාණය වීමට හේතුව එයයි. අනෙක් කාරණාව අපේ රට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයවල කොවිඩ් පාලනය සඳහා දෙන ලද ක්‍රියාමාර්ග ක්‍රමවේද අසාර්ථක වෙලා තියෙනවා. ආයතනවල ක්‍රමවේදයන් අනුගමනය කිරීම් අඩු සේම කොව්ඩ් පාලනය කර ගැනීමට නොහැකි ක්‍රමවේදයන් ඇතැම් රැකියා ආශ්‍රිතව තියෙනවා. පළමුවැනි රැල්ල පාලනයට ගත් ක්‍රියාමාර්ග හොඳයි. ඉන් අනතුරුව දෙවැනි රැල්ල පාලනය කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් නිසා දෙවැනි රැල්ල මේ තරම් ව්‍යාප්ත වුණා. අපි දුන් උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ජනතාවට නොහැකි වෙලා තියනවා.

රටක් විදිහට කොතරම් හොඳ ක්‍රියාමාර්ගයන් අනුගමනය කළත් දෙවැනි අදියරේදි සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ නිකුත් කර නිරෝධායනය කිරීම් වැනි පාලනය කිරීම් කළා. ඒ පාලනය කිරිම්වලදි නිරෝධායනය කරන්න පුළුවන් පළමු පෙළ ආශ්‍රිතයන් පමණයි.

දෙවැනි පෙළ ආශ්‍රිතයන් අපිට නිරෝධායනය කරන්නට බැහැ.

ඒවගේම පීසීආර් ප්‍රතිඵල ප්‍රමාදය සාම්පල අස්ථාන ගතවීම් වැනි කරුණු දැඩි ලෙසින් මේ සඳහා බලපා තියනවා. ප්‍රතිකාරක මධ්‍යස්ථානවල ඇති යම් යම් ගැටලු නිසා ජනතාව අතර විශ්වාසය පළුදුවීම් තියනවා. කලින් කලට ගන්නා ක්‍රියාමාර්ගවල තීන්දු තීරණවල ද අඩු පාඩු තියනවා.

ආසාදිතයන් ප්‍රතිකාරක මධ්‍යස්ථානවලට යවාගන්න දින කිහිපයක් නොහැකිවීම, ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ මදිකම වැනි ගැටලුත් තියෙනවා. මේ නිසා ජනතාවගේ විශ්වාසය බිදි තියනවා. එහිදී පීසී.ආර් සඳහා යොමු නොවීමට පෙලඹෙන්න පවා පුළුවන්.

රජය නිරෝධායන මධ්‍යස්ථානවලට විශාල වියදමක් කර තියනවා. අපි අනෙක් රටවල්වල නැති විදිහට සම්පුර්ණයෙන්ම ආසාදිතයන් සියල්ල රෝහල් ගත කළා. ඒ කැපකිරීම්වල නිසි අවසන් ප්‍රතිඵලයක් දැන් නැති වෙමින් තියෙනවා. එන්නත තාම ලබා දුන්නා පමණයි. එය කොතරම් දුරට සාර්ථකද කියන්න කල් තියනවා. නමුත් අපිට ඇති එකම විකල්පය එන්නත පමණයි.

 

 

Comments