වාහන ආනයනය අත්හිටුවීමෙන් රුපියල අවප්‍රමාණය වීම වළකී | Page 2 | සිළුමිණ

වාහන ආනයනය අත්හිටුවීමෙන් රුපියල අවප්‍රමාණය වීම වළකී

 

මේ වන විට මෙරටට වාහන ආනයනය කිරීම රජය මගින් අත්හිටුවා තිබේ. පසුගිය 2020 වසරේ මාර්තු මාසයේදී වාහන ආනයනය අත් හිටුවීමට කටයුතු යෙදුණු අතර එහිදී මුදල් අමාත්‍යාංශ බලධාරීන් අවධාරණය කර සිටියේ මෙරට ජනතාවට අලෙවි කළ හැකි වාහන ප්‍රමාණවත් තොග ඒ වන විටත් වාහන ආනයනකරුවන් විසින් මෙරටට ආනයනය කර තිබූ බැවින් ඉදිරි වසර දෙක, තුනක කාලය තුළ මෙරටට වාහන ආනයනය අත්හිටුවීමට මෙලෙස පියවර ගන්නා බවයි.

එම අවස්ථාව වන විට ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයද වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබුණු අතර වාහන ආනයනය සඳහා ඒ වන විට වැය වෙමින් තිබුණු මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිවීම නිසා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා ද එමඟින් හැකියාව ලැබී තිබුණි.

කෙසේ වුවත් වාහන ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණයත් සමඟ එම ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ව්‍යාපාර කටයුතු කර ගෙන ගිය ව්‍යාපාරිකයන් හා ඔවුන්ට අයත් එම ව්‍යාපාරයන්හී හා සෘජුව හා වක්‍රව සේවය කරමින් සිටි 60,000 කට වැඩි පිරිසක් බරපතළ දුෂ්කරතාවන් රැසකට මුහුණ දී සිටිති. මේ වන විටත් වාහන ආනයනය හා සම්බන්ධව කටයුතු කරමින් සිටි ව්‍යාපාර ආයතන රැසක් වැසී ගොස් ඇති අතර තවත් ආයතන ගණනාවක් ඉදිරියට පවත්වා ගෙන යාමේ ගැටලු රැසක්ද මතු වෙමින් තිබේ. ඒ සමඟම බොහෝ පිරිසකට සිය ජීවනෝපාය මාර්ගද අහිමි වී ගොස් තිබේ. ඊට අමතරව දැනට වෙළෙඳපොළ තුළ ඇති සියලුම වාහන මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින පාරිභෝගිකයන්ද ඒ නිසා දුෂ්කරතාවට පත්ව සිටිති. ආනයන අත්හිටුවීමට පෙර තීරු බදු සහන බලපත්‍ර යටතේ වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරන තිබුණු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් රැසක්ද අදාළ වාහන එලෙස ආනයනය කරන ලද රටවලින් නැවුගත කිරීමට අවසර දෙන මෙන්ද අවස්ථා ගණනාවක් රජයේ පාර්ශ­්වයන්ගෙන් ඉල්ලිම් කර තිබුණද; මෙතෙක් එම ඉල්ලීම් සඳහා ධනාත්මක ප්‍රතිචාර හිමි නොවීම පිළිබඳවද එම වෘත්තිකයන් දැඩි කණස්සල්ලට පත්ව තිබේ.

වසරකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තීරණයත් සමඟ වාහන අලෙවි ක්ෂේත්‍රය තුළ මේ වන විට මතු වී තිබෙන අර්බුදකාරී, දුෂ්කර වාතාවරණය පිළිබඳව වාහන අලෙවිකරුවන් මෙන්ම ආනයනකරුවන්ද දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මේ සම්බන්ධයෙන් "සිළුමිණ" සමඟ අදහස් දැක්වීමකට එක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ එහිදී අවධාරණයෙන්ම සඳහන් කර සිටියේ තම ක්ෂේත්‍රය මුහුණ දී සිටින අනතුර තේරුම් ගෙන ඊට නිසි පිළියම් ලබාදීමට නිලධාරීන්, බලධාරීන් මෙන්ම රජයද වහා පියවර ගත යුතු බවයි.

මෙරටට මේ වන විට වාහන ආනයනය නොකිරීම නිසා නුදුරු කාලය තුළ රට තුළ ඇති වාහන තොග අවසන් වී වාහන අලෙවි ව්‍යාපාරිකයන්ට ස්ථිර වශයෙන්ම සිය ආදායම් මාර්ග අහිමි වී යා හැකි බවද ප්‍රකාශ කළ පහුගිය දිනවල කොරෝනා ව්‍යාප්තිය සමඟ අඩපණ වූ ව්‍යාපාර යළි ගොඩ නැගීමට රජයේ උපදෙස් පරිදි බැංකු හා මූල්‍ය ආයතන මඟින් කාරක ප්‍රාග්ධන ණය මුදල් ලබා දුන්නද එම අවස්ථාවේදීවත් එම ණය මුදල් තම ව්‍යාපාර ආයතන වෙත ලබා දීමට කිසිදු පාර්ශ­්වයක් උනන්දු නොවූ බවටද චෝදනා කළේය. මේ අතර වාහන ආනයනය අත්හිටුවීම සඳහා රජය ගෙන ඇති තීරණයට අනුව වාහන ආනයනය අත්හිටුවීමේ කාල සීමාව පිළිබඳව පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙසට බලයලත් දේශීය අලෙවි නියෝජිතවරුන් මගින් ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් හා සෘජු සබඳතා පවත්වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), විසින් මීට මාස කීපයකට පෙර රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණද ඊටද මේ වන තෙක් සතුටුදායක ප්‍රතිචාරයක් හිමිවී නැති බවට ද වාර්තා වේ.

කෙසේ වුවත් මුදල් අමාත්‍යාංශය මේ වන විටත් අවධාරණය කර ඇත්තේ වාහන ආනයනය අත්හිටුවීම සඳහා ගනු ලැබූ තීරණය වෙනස් කිරීමට හෝ එහි සීමා ලිහිල් කිරීමට හෝ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. වාහන ආනයනය සඳහා පසුගිය කාලය තුළ විදේශ රටවලට ඇදී ගිය මුදල් සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට හැකි වීම නිසා රුපියල අවප්‍රමාණය වීම නවත්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට හැකි වුණු බවද ඒ නිසා මෙම අවස්ථාවේදී වාහනද, රටේ ඉදිරි ගමනද යන සාධකය මත පදනම්ව ඉදිරියේදීද යම් කාලයක් මෙරටට වාහන ආනයනය නොකිරීමට කටයුතු යෙදෙනු ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කෙසේ වුවත් මෙරට ජනතාවගේ වාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මෙරට තුළම වාහන එකලස් කිරීමේ ව්‍යාපාර සිදු කරන ඕනෑම ව්‍යාපාරිකයකුට ඒ සඳහා ලබා දිය හැකි දිරිගැන්වීම් හා සියලු සහයෝග ලබා දීමට ජනාධිපතිවරයා හා රජය අදාළ සියලු වගකිවයුතු අංශ වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවද දැන ගැනීමට ඇත.

Comments