ෆ්ලෙචර්ගෙන් පසු රූට් පවත්වන ශ්‍රී ලංකාවේ දෙවැනි ටෙස්ට් සංගායනාව | සිළුමිණ

ෆ්ලෙචර්ගෙන් පසු රූට් පවත්වන ශ්‍රී ලංකාවේ දෙවැනි ටෙස්ට් සංගායනාව

‘ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසා තිබුණේ මෙය ඔහු දැක ඇති දුර්වලම ඉනිම ලෙසය. එහෙත් එසේ පවසා පිතිකරණ පුහුණුකරු වශයෙන් මෙහිදී ඔහුට නිහඬ විය හැකි ද යන්නත් ප්‍රශ්නයකි.

දසුන් ශානක එල්ල කළ පහර පිතිකරු අසල පන්දු රකිමින් සිටි ක්‍රීඩකයෙකුගේ පාදයක වැදි එය කඩුලු රකින්නා විසින් උඩ පන්දුවක් ලෙස රැකගත් අතර ලසිත් ඇඹුල්දෙනියගේ දැවී යාමද කියා පෑවේ එදින වාසනාවද පැවතියේ සංචාරක කණ්ඩායම සමඟ බවය.

‘කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුතුව 1982 වසරේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ඕවල් පිටියේ තරග වැදුණේය. එය සැලකිය හැක්කේ ‘ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කුලවැද්දීමක් වශයෙනි. එසේ නැතහොත් එතෙක් මෙරට පැවැති ක්‍රිකට් ක්‍රීඩාව ටෙස්ට් තත්ත්වයට බෞතිස්ම කිරීමක් හෝ දක්ෂ ක්‍රීඩකයන් එක්කර පවත්වන ලද ටෙස්ට් සංගීතියක් ලෙස ය.

ඊට වසර තිස් නවයකට පසුව නැතහොත් දසක හතරක් සම්පූර්ණවීමට පෙර ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යළි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකට ටෙස්ට් ක්‍රිකට් පාඩමක් උගන්වා තිබේ. ඒ 2021 වසරේ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ය. එයත් එක්තරා ආකාරයකට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ටෙස්ට් ක්‍රීඩාවට කුලවද්දා ගැනීමට උත්සහ කිරීමකි, ටෙස්ට් බෞතිස්මයකි. එසේත් නැතහොත් දෙවැනි වරටත් ටෙස්ට් සංගීතියකි.’

මෑත යුගයෙහි ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථකවූ විදෙස් ටෙස්ට් කණ්ඩායම් අතරට පසුගිය සඳුදා අවසන් වූ පළමු ටෙස්ට් තරගයත් සමඟින් එංගලන්තය ඇතුළත් විය. ඒ ගාල්ලේ පැවති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලද ජයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ලැබූ පස්වැනි අඛණ්ඩ ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කරමිනි.

තරගමාලාවට පෙර සිද්ධි පෙළ ගැසී තිබු ආකාරය අනුව මානසික වාසිය එංගලන්තයට බවද ,නායක ජෝ රූට් ,ජොනි බෙයාර්ස්ටෝ,ජෝස් බට්ලර්,වැනි පිතිකරුවන් ඉක්මනින් දවාගත යුතු බව මෙන්ම දඟ පන්දු යවන ජැක් ලීච් ගාලු තණතීරුව වාසිය උකහා ගැනීමට හැකි බවත් පළපුරුදු වේග පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් ගෙන් පිතිකරුවන්හට තර්ජනයක් විය හැකි බව ත් තරගාවලිය ඇරඹීමට පෙර අපි පෙන්වා දුන්නෙමු. ජේම්ස් ඇන්ඩර්සන් මෙම තරගයට ක්‍රීඩා නොකළ නමුත් අප නම් කළ අනෙක් ක්‍රීඩකයෝ එංගලන්ත ජයග්‍රහණයට මාවත විවර කළහ.

දියබත් වූ පළමු ඉනිම

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 135 කට දැවී ගියේ ගාල්ලේදී එංගලන්තයට එරෙහිව ඉනිමක ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි. එයට හේතුවූයේ කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවෝ කිසිවෙක් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීමය, නායක දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙමින් තිබූ ලකුණු 56 සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපොහොසත් වීම සමඟ ශ්‍රී ලංකා ඉනිම රුවල් බිඳ වැටුණු නෞකාවක තත්ත්වයට පත් කළේය, නිසි එල්ලයට පන්දු යැවූ එංගලන්ත පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිදීමට පිතිකරුවෝ උත්සහ කළේ අනවශ්‍ය ලෙස පහරවල් කරා යාමට උත්සාහ ගැනීම ය.

ලකුණු 23ක් ලබා සිටියදී දසුන් ශානක එල්ල කළ පහර පිතිකරු අසල පන්දු රකිමින් සිටි ක්‍රීඩකයෙකුගේ පාදයක වැදි එය කඩුලු රකින්නා විසින් උඩ පන්දුවක් ලෙස රැකගත් අතර ලසිත් ඇඹුල්දෙනියගේ දැවී යාමද කියා පෑවේ එදින වාසනාවද පැවතියේ සංචාරක කණ්ඩායම සමඟ බවය. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම එංගලන්ත හිටපු නායකයෙකු වන මයිකල් වෝන් දැඩිව විවේචනය කර තිබිණි. තවත් එංගලන්ත හිටපු නායකයෙකු වන නසාර් හුසේන් ඩේලි මේල් පුවත්පතට පවසා තිබුණේ ශ්‍රී ලංකාව වැනි කණ්ඩායමකින් මෙවන් අනුවණ පිතිහරඹයක් දැක ගැනීම ලැජ්ජා සහගත බවයි. ‘පිතිකරුවන්ට හිතකර මෙවැනි කඩුල්ලක ලකුණු 135 කට දැවී යාම සමාව දිය හැකි කරුණක් නොවෙයි.’ කියාය.

‘ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසා තිබුණේ මෙය ඔහු දැක ඇති දුර්වලම ඉනිම ලෙසය. එහෙත් එසේ පවසා පිතිකරණ පුහුණුකරු වශයෙන් මෙහිදී ඔහුට නිහඬ විය හැකි ද යන්න ත් ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකා පිල එසේ දැවී ගිය ද සංචාරක පිලේ නායක ජෝ රූට් 228 හා ලෝරන්ස් 73 ලකුණු අතරට පැමිණීම සැලකිල්ලට ලක්කළ යුතුය. විශේෂයෙන්ම නායක ජෝ රුට්ගේ ඉනිම මෙරට තුළ විදෙස් ක්‍රීඩකයකු දියත් අගනා ටෙස්ට් ඉනිම් අතරින් එකකැයිද කිවයුතුය.

සත්කාරකයන් අවදි වෙයි

මුල් දින දෙක තුළ අසාර්ථක වූ ශ්‍රී ලංකාව යළි තරගයට අවතීර්ණ වුයේ තෙවන දිනයේදී ය. ග්‍රහණයෙන් මිදී ලකුණු 304 කට කඩුලු 4 බිඳ වැටී තිබු එංගලන්ත ඉනිම ලකුණු 421 ට නිමා කරන්නට සමත්වීම අගය කළ යුතුය.

ඒ අනුව දෙවැනි ඉනිමේ වැඩි සංයමයකින් ක්‍රීඩා කළ පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවයක් ගොඩනංවා තිබුණ ද ලකුණු 62 ක් ලබා සිටි කුසල් ජනිත් යළි සිය ශතකය මඟ හැර ගත්තේය. ක්‍රීඩකයකු වශයෙන් ස්ථාවර වීමට ඔහුට අවශ්‍ය වන්නේ නිවැරදිව පන්දුව තෝරා ගැනීමය. දිගු කලකට පසු ළහිරු තිරිමාන්න ලැබූ ලකුණු 111 දෙවන ඉනිමේ මෙරට ලකුණු රැස් කිරීමේ කොඳු නාරටිය බවට පත්වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ලැබූ ලකුණු 71 අවස්ථාවට ගැලපෙන ඉනිමකි.

එහෙත් සමස්ත තරගයම සංචාරක එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කෙසේදැයි ඉදිරිපත් කළ පාඩමකි. ඒ පාඩම දෙවැනි ටෙස්ට් තරගයටවත් උපයෝගී කරගන්නවා යැයි ‘ක්‍රීඩා’ විශ්වාසය.

 

*********************

‘පළමු තරගයට වඩා දෙවැනි තරගය වඩාත් තියුණු වෙයි.’

‘අපිට වැරදුණේ පළමු ඉනීමේ දැක්වූ දුර්වල පිතිහරඹය තමයි. ඒ වගේම පන්දු යැවීමෙන් පවා අපි අසාර්ථක වුණා. එය සමස්ත තරග පරාජයට හේතුවක්.’ ඔහු ප්‍රකාශ කළේය.

‘ ඔබ ගාල්ල තණතීරුවේ ක්‍රීඩා කරන්නේ නම් පළමු ඉනීමට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කළ යුතුය. නමුත් එය සිදු කිරීමට අපිට නොහැකි වුණා. මෙවැනි තණතීරුවක ක්‍රීඩා කරන විටදී පළමු ඉනිම ඉතාමත් වැදගත්.

අපි දකුණු අප්‍රිකාවෙ ඉදළා ආවා විතරයි. තරගයේ සිදුවූ අඩුපාඩු අප ඉගෙනගත යුතුයි. එවිට තමයි අපිට ඉදිරියට එන්න හැකිවෙන්නේ.’ ඔහු පවසන්නේය.

කෙසේ වෙතත් එංගලන්ත පිලට ලකුණු 74ක් හඹා යාමේදී තර්ජනයක් එල්ල කිරීමට හැකිවීම පිළිබද තමා සතුටු වන බව ද චන්දිමාල් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ඉනීම අතරතුර දැඩි කණස්සල්ලෙන් පසුවනු දක්නට ලැබුණු අතර එයද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය.

 

Comments