කෝවිඩ් නිසා හාන්සි වූ පාපන්දුව කෙළින් කරන්න | Page 2 | සිළුමිණ

කෝවිඩ් නිසා හාන්සි වූ පාපන්දුව කෙළින් කරන්න

 

‘මහින්ද ගලගෙදර වර්තමානපොලිස් කණ්ඩායමේ පාපන්දු පුහුණුකරුවා ය. කලක් ජාතික පාපන්දු පිලේ දැල් රකින පුහුණුකරුවා වූයේද ඔහු ම ය. මේ ඔහු අරඹා ඇති කෝවිඩ් වසංගතයට අභියෝග කරන ඔන්ලයින් පාපන්දු වැඩමුළුවක් ගැන කතාවකි.’

‘මම ඔන්ලයින් ක්‍රමය යටතේ පාපන්දු පුහුණු කරන්න පටන් ගත්තා. ඒක තමයි අලුත් වැඩේ.’ ඔහු කීවේය. ඔන්ලයින් ක්‍රමයට පාපන්දු පුහුණුවක් ලබාදිය හැකි ද? එය සාර්ථක ක්‍රමවේදයක්ද? යන්න අපි පෙරළා විමසූයෙමු. ඔන් ලයින් සූම් මැප්එක හරහා තමයි ඒ දේ කරන්නේ. මම පළමුවෙන් ‘වට්ස්ඇප් ගෘප්’ එකින් ඒ වැඩේ ආරම්භ කළා. මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකයි. ලෝකය නවින තාක්ෂණය උපයෝගී කරගෙන මෙවැනි වැඩසටහන් කාලයක සිට සිදුකරනවා. අපිට අලුත් වුණාට මෙම ක්‍රමය ඉතාමත් සාර්ථකයි. ක්‍රීඩාවේ තාක්ෂණය, නිති රීති, හා ක්‍රීඩාවේ ගුණාත්මකභාවය මේ තුළින් ගොඩනැගිය හැකියි. පිටියට පිවිසුණාම එම ක්‍රම වේදයන් අත්හදා බැලිය හැකියි.’ ඔහු පැවසීය.

කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා අකර්මන්‍ය වී ඇති ක්‍රීඩාවට නව උත්තේජනයක් ලබාදීම වෙනුවෙන් මෙම ක්‍රමය ඇරඹූ බව පුහුණුකරුවා පැවසූයේය. ‘ඕනෑම ක්‍රීඩාවක් මේ ක්‍රමය යටතේ පුහුණු කළ හැකියි. කාන්තා - පිරිමි පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා පාපන්දු තරග විනිසුරු වරුන් 300ට අධික පිරිසක් මෙම ඔන් ලයින් පාපන්දු පුහුණුවට එක්ව සිටිනවා.’ ඔහු තම ඔන්ලයින් පාඨමාලාවේ වැදගත්කම සම්බන්ධයෙන් පැවසීය.

ඒ අනුව පළමුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ, පුහුණුකරුවන්ගේද, පාපන්දු විනිසුරුවන්ගේද මානසික දිරිගැන්වීම ඉහළට ඔසවන ආකාරයට කටයුතු දේශන දියත් කර තිබිණි. ‘ පළමු වැඩසටහන ඉතාමත් සාර්ථකයි. ඒකෙන් පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා විද්‍යායතනයේ සහයෝගය අපට ලැබුණා. එහිදි ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතාත් මේ ඔන්ලයින් පුහුණු වැඩමුළුවට එක්වුණා.’ මහින්ද ගලගෙදර මහතා තම වැඩසටහනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පවසයි.

‘මේ වැඩසටහන අදියර තුනක් යටතේ වයස් භේදයකින් තොරව සංවිධානය කෙරෙනවා. අවබෝධය පහසුව පිණිස සරල සිංහල භාෂාවෙන් තමයි වැඩසටහන පවත්වන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මාසයකට වරක් පැය දෙකත්, දෙකහමාරත් අතර පූර්ණ දේශන පහක් අවසන් කර තිබෙනවා. සැම මාසයකම අවසාන ඉරුදින තමයි මේ සදහා වෙන් කර තිබෙන්නේ.’ ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම මස අවසාන ඉරිදා පැවැත්වෙන්නේ පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය ශාරීරික අභ්‍යාස පුහුණුවේ නියමාකාරයෙන් නියැලෙන්නේ කෙසේද? ව්‍යායාම නිසි ලෙස ප්‍රගුණ කරන්නේ කෙසේද? පුහුණු අභ්‍යාස මෙවලම් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

‘යම් දේශනයකදී පැන නගින ගැටලු දුරකථනයෙන් විමසන්නත්, ඔන්ලියන් ඉන්බොක්ස් ක්‍රමයට යොමුකර ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරනවා.’ එම ව්‍යාපෘතිය සංවිධානය කරන ආකාරය ගැන ඔහු පැහැදිලි කළේය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුද සම්බන්ධවී ඇතැයි ඔහු පැවසීය. ‘ඔහු තායිලන්තයේ විශ්ව විද්‍යාලයක ක්‍රීඩා අංශයේ ප්‍රධානියෙක්. මගේ මේ වැඩසටහන සමග එක්ව අපව දැනුවත් කළා අපව දිරිමත් කළා. ඔහු පවසා සිටියා කොවිඩ් වසංගතයට විසදුමක් හිමි වු සැණින් කිහිපදෙනෙකු තායිලන්තයට කැදවා දින හතක ප්‍රයෝගික පාපන්දු දැනුමක් විශ්වවිද්‍යාල මට්ටමින් ලබාදිමටත් දින හතක තායිලන්ත ප්‍රධාන පාපන්දු කණ්ඩායමක් සමග පුහුණු සැසියක් ලබාදීමටත් කටයුතු කරන බව ඔහු කීවා.’ එය මේ ව්‍යාපෘතියේ ඇති සාර්ථක භාවය පෙන්වන ලකුණුයැයි මහින්ද ගලගෙදර මහතා සඳහන් කළේය.

‘කොවේඩ් වසංගතය අවසන් වුණාම මේ වැඩසටහන සමඟ සම්බන්ධ සියලු දෙනාම ක්‍රිඩා පිටියට කැඳවනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයද අනුග්‍රහකත්වය පිරිනැමෙනවා. බැද්දගාන පාපන්දු පිටිය ලබාදිමටද කැමැත්ත පළකර තිබෙනවා. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට රිනවුන් පාපන්දු ක්‍රීඩා ඇකඩමිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යාංශය ද කැමැත්ත පළකර තිබෙනවා.’ ඔහු පැවසුවේය.

‘රටවල් 14ක සාමාජිකයන් අප සමග එක්ව සිටිනවා. ඒ වගේම දේශිය වශයෙන් කොළඹින් බැහැරව මහනුවර, අනුරාධපුරය, කුරුණැගල, කැගල්ල, ගාල්ල මාතර හම්බන්තොට පුත්තලම වගේම හොරොව්පතාන, පොලොන්නරුව, මාවනැල්ල වගේ ප්‍රදේශ වලින් දේශනවලට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම ඉතාලිය.ඔස්ට්‍රේලියාව, ප්‍රංසය හා තායිලන්තය වැනි රටවල් වලින් මට අනුග්‍රහකත්වය පිරිනමා තියෙනවා. ඉදිරියේදීත් පිරිනැමිමට කටයුතු කරමින් සිටිනවා. තායිලන්තයෙන් පාපන්දු ක්‍රීඩා උපකරණ හා සපත්තු ලැබීමට නියමිතයි.’ ඔහු පවසන්නේ සතුටිනි.’

මේ සඳහා දුරකතන අංකය වන 0714140057 අංකයට ( MG Online ) එස්.ඒම්.එස්. (SMS) පණිවුඩයක් එවීමෙන් එහි සමාජිකත්වය හිමිකරගත හැකියි.පාඨමාලාව වෙනුවෙන් කිසිදු අයකිරීමක් නොමැති වීමද විශේෂත්වයකි.

Comments