වියපත් වූ නමුදු ලොව අති සුන්දරය එක්දින ක්‍රිකට් රස අන්දරය උණුසුම් | Page 2 | සිළුමිණ

වියපත් වූ නමුදු ලොව අති සුන්දරය එක්දින ක්‍රිකට් රස අන්දරය උණුසුම්

මෙම තරග රටාව කොතරම් වේගයකින් ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කළේද යත් 1500 වැනි තරගය පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වුණේ 1999 වසරේදීය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවලට කොතරම් වයස ඇත් ද? ඇතැම්විට එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදි මතකය දිවයනු ඇත්තේ පෲඩන්ෂල් ලෝක කුසලාන ක්‍රිකට් අතීතයට වන්නට පිළිවන. එහෙත් එය එසේ නොවේ. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඇරැඹී පනස් වැනි සංවත්සරය යෙදි ඇත්තේ මෙම වසරට ය.

හරියටම ලොව එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වූයේ 1971 වසරේ ජනවාරි 05 වැනිදා ය. එම තරගය ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර සුප්‍රකට මෙල්බර්න් පිටියේදී පැවැත්විණි. මෙම පළමු එක්දින ගැටුම අහම්බෙන් සංවිධානය කළ එකකැයි කිවහොත් එය වඩා නිවැරැදි ය. ඒ 1970-71 තරගවාරයේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වුණු ‘අළු බඳුන’ ටෙස්ට් තරගාවලිය අතර මැද දී ය. ඊට ඉවහල්ව තිබුණේ තෙවැනි ටෙස්ට් තරගයට අවාසනාවන්ත අයුරින් වර්ෂාව හරස් වීම ය. මේ හේතුවෙන් තරගයේ මුල් දින තුන ක්‍රීඩා නො කළ අතර දෙපිලේ ම ක්‍රීඩකයෝ ක්‍රීඩාගාරයට වී අලසව කාලය ගත කළ හ.

බලාපොරොත්තු සුන් වූ ක්‍රිකට් ලෝලීන්ට කිසියම් ආස්වාදයක් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීහු එක්ව තීරණයකට එළඹුණ හ. ඒ අනුව එක් පිලකට පන්දු අටකින් යුත් පන්දුවාර හතළිහකින් සමන්විත තරගයක් කඩිනමින් සංවිධානය කෙරුණේ ය. තරගයට යොදාගත්තේ ටෙස්ට් තරගයේ පස්වැනි දිනය යි. එංගලන්තයේ පැවැති ‘ජෝන් ප්ලේයර්’ එක්දින ලීග් තරගාවලියේ නීති රීති අනුව එම තරගය පැවැත්විණි. මෙම අමරණීය පළමු තරගයේ තොරතුරු මෙසේ ය.

පැවැත් වූ දිනය - 1971 ජනවාරි 05 වැනිදා - මෙල්බර්න් පිටිය

කණ්ඩායම් මෙහෙය වූ නායකයින් - බිල් ලෝරි (ඔස්ට්‍රේලියාව) සහ රේ ඉලිංග්වර්ත් (එංගලන්තය)

විනිසුරුවරුන් - ටී.එෆ්. බෲක්ස් සහ එල්.පී. රෝවන්

කාසියේ වාසිය - ඔස්ට්‍රේලියාව දිනාගත් අතර මුලින් ම පන්දුවට පහරදීම එංගලන්තය සිදුකරනු ලැබිණි.

ප්‍රේක්ෂකත්වය - ක්‍රිකට් ලෝලීන් 46000ක් තරගය නැරඹූ හ. ඔස්ට්‍රේලියානු ඩොලර් තිස් පන්දහසක ආදායමක් ලැබිණි.

ලකුණු සාරාංශය - එංගලන්තය 190 (පන්දුවාර 39.4) ජෝන් එඩ්රිච් 82, කීත් ප්ලේචර් 24, ඇලන් නොට් 24, බැසිල් ඩී ඔලිවේරා 17, ඈෂ්ලි මැලට් 3/34, කීත් ස්ටැක්පෝල් 3/40

ඔස්ට්‍රේලියාව 191/5 (පන්දුවාර 34.6) ඉයන් චැපල් 60, ඩග් වෝල්ටර්ස් 41, බිල් ලෝරි 27, ග්‍රෙග් චැපල් (නොදැවී) 22, රේ ඉලිංග්වර්ත් 3/50

මෙලෙස ඇරැඹි එක්දින තරග රටාව 1975 පළමු ලෝක කුසලාන තරගාවලියක් වශයෙන් පැවැත්වීමට තීරණය කරද්දී ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්තානය එක්දින තරග පවත්වා අත්දැකීම් ලබා සිටිය හ. ශ්‍රී ලංකාව 1975 දී ත්, සිම්බාබ්වේ කණ්ඩායම 1983 දී ත්, බංග්ලාදේශය 1986 දී හා දකුණු අප්‍රිකාව 1992 දී එක්දින තරග වරම් දිනා ගනු ලැබූහ.

එක්දින තරග පිටියේ සිහිවටන කීපයක් ගෙනහැර නොදක්වන්නේ නම් එය මහත් අඩුවකි. ඒ අනුව සියවැනි එක්දින තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හිදී වන අතර ඊට වසර පහකට පසු පන්සිය වැනි එක්දින තරගය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ 1995 වසරේ ට්‍රෙන්ට්බ්‍රිජ්හිදී පැවැත්විණි. මෙම තරග රටාව කොතරම් වේගයකින් ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කළේද යත් 1500 වැනි තරගය පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වුණේ 1999 වසරේදීය.

2000 වැනි තරගය පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර 2003 දී සාජා හි දී පැවැත්වෙද්දී 3000 වැනි තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2010 වසරේ දී දඹුලු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමිනි.

එක්දින තරග 1000ක් සම්පූර්ණ වූයේ 1995 දීය. එම පළමු තරග 1000 දී තරග 961ක් ජය පරාජයන් සහිතවත්, තරග 30ක් විසඳුමක් නැතිවත් තවත් තරග නවයක් ලකුණු සමවත් අවසන් විය. එක්දින තරග ආරම්භවී පනස් වැනි සංවත්සරය උදාවද්දී වාර්තා වූ ප්‍රධාන දස්කම් ගැන සටහනක් මෙලෙසිනි.

වැඩිම කණ්ඩායම් ලකුණු - පන්දුවාර පනහේ තරගයකදී එංගලන්තය ලකුණු 481/6, (ඔස්ට්‍රේලියාව සමඟ 2018 දී (ට්‍රෙන්ට් බ්‍රිජ්)

අඩුම කණ්ඩායම් ලකුණු - සිම්බාබ්වේ 35 ( ශ්‍රී ලංකාව සමඟ හරාරේ නුවරදී පැවැති තරගයකදී)

ලකුණු හඹාගොස් ලැබූ හොඳම ජයග්‍රහණය - දකුණු අප්‍රිකාව 438/9 (ඔස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී 2006)

පිතිකරුවකුගේ වැඩිම ලකුණු - රෝහිත් ෂර්මා (ඉන්දියාව) 264 (ශ්‍රී ලංකාවට එරෙහිව 2014 දී කොල්කටා)

එක්දින තරගවල පළමු ද්විත්ව ශතකය - සචින් ටෙන්ඩුල්කාර් දකුණු අප්‍රිකාවට එරෙහිව 2010 දී

හොඳම පන්දුයැවීම - චමින්ද වාස් සිම්බාබ්වේ පිලට එරෙහිව 8/19 (2001 කොළඹ දී)

එක්දින තරගවල වැඩිම ලකුණු ලාභියා - සචින් ටෙන්ඩුල්කාර් තරග 463,ඉනිම 452 කදී ලකුණු 18426 (44.83) ශකක 49, අර්ධ ශතක 96

පළමු දිවා රාත්‍රී තරගය ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සිඩ්නි හි දී

වැඩිම ලකුණු සම්බන්ධතාවය 365/1, ජෝන් කැම්බෙල් සහ ෂායි හෝප් (බටහිර ඉන්දීය කොදෙව්) අයර්ලන්තය සමඟ 2019 දී (ඩබ්ලින්)

Comments