ගාල්ලට ගුවනින් ආ සිව්වැනියා සහ සත් වැනියා | සිළුමිණ

ගාල්ලට ගුවනින් ආ සිව්වැනියා සහ සත් වැනියා

 

ඔවුන් දෙදෙනා තවදුරටත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ලොතරැයියක් ද යන්න තීරණය කරන්නේ මෙම තරගාවලියෙන් අනතුරුවය.

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දුයවන්නන් අතර සිව්වැනියා හා සත්වැනියා මේ දිනවල සිටින්නේ ගාල්ලේ ය. ඔවුන් එසේ ගාල්ලට ආවේ කුණාටුවකට ගසාගෙන ආ නෞකාවකින් නම් නොවේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ආරාධනාවකට අනුවය. මේ ඔවුන් ගැන කතාවය.

ටෙස්ට් කඩුලු ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත්තේ මුත්තයියා මුරලිදරන් ය. ඒ ටෙස්ට් කඩුලු අටසියය කි. පිළිවෙලින් දෙවැනියා හා තෙවැනියා ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් (708) හා ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ (619) ය. ඔවුන් තිදෙනාම දඟ පන්දුයවන්නන් වන අතර මේ වනවිට ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන බොහෝ කලක් ගතව තිබීම ද සත්‍යයකි.

එහෙත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර සිව්වැනියා තවමත් කඩුලු දඩයමේ නියැලෙන්නෙකි. ඔහු එම කඩුලු සටහනේ සත්වැන්නා ද සමඟ එංගලන්ත පිල හා එක්ව මේ වනවිට ගාල්ලට පැමිණ සිටියි. ඒ ශ්‍රී ලංකාව හා ආරම්භවී ඇති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ය. තවත් ආකාරයකින් ඔවුන්ව හඳුන්වන්නට හැකිය. වත්මන් පිටියේ වඩා භයානකම වේග පන්දු යුගලය වශයෙනි ඒ. ඉන් සිව්වැනියා වන ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 600 ක් ද සත්වැන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 514 ක් ද දවාගෙන සිටිති.

එංගලන්තය ටෙස්ට් පිටියේ දෙපයින් සිට ගැනීමට සමත්වද්දී ඇන්ඩර්සන් හා බ්‍රෝඩ් සැබැවින්ම පළල් කාර්යයක් ඉටු කළහ. ඇන්ඩර්සන් දකුණතින් මඳ වේග පන්දුයවද්දී ක්‍රිකට් විචාරකයන් ඔහු පන්දු දෝලනයේ රජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ එකී කාර්යයේ අති ශූරයකු වන හෙයිනි. එය ඔහුට නිතැතින් හිමිවන්නේ පොල් ගස් කරටියක් තරම් (ආසියානු ක්‍රීඩකයන්ට සාපේක්ෂව) ඉහළකින් මුදාහරින ඔහුගේ පන්දු යැවීමයි. ඇන්ඩර්සන්ට එය ලැබී ඇත්තේ ඔහු අඩි හයයි අඟල් දෙකක් උස හෙයිනි.

ස්ටුවර්ට් බ්‍රෝඩ් ඊට නොදෙවැනි උසකින් යුක්ත ය. ඔහුගේ උස අඩි හයයි අඟල් හයකි. එය පන්දුව තණතීරුවට තදින් වද්දා ඉහළට ඉපිලීමට සලස්වා පිතිකරුවන් අන්දමන්ද කිරීමට ප්‍රමාණවත් ය.

‘අපි දෙන්නා එකවගේ නෙවෙයි. දෙවිධිහකින් පන්දුයවන එක සාර්ථක වුණා. දීර්ඝ කාලයක් පන්දුයැවීමේ යුගලයක් වශයෙන් සාර්ථක වෙන්න එය වෙසෙන වැදගත්.’ ඇන්ඩර්සන් තමන් හා බ්‍රෝඩ් අතර ඇති දීර්ඝ සම්බන්ධය පිළිබඳ පවසන්නේ ය.

ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියේ උරුමය තම දක්ෂතාවයෙන් පමණක් උරගා සොයා ගනිද්දී බ්‍රෝඩ්ට නම් එය ලැබුණේ පිය උරුමය ද සමඟය. ඒ ක්‍රිස් බ්‍රෝඩ්ගේ ය. ක්‍රිස් අසූව දසකයේ එංගලන්තය නියෝජනය කළ වමත් පිතිකරුවෙකි. වර්තමානයේ අයි.සී.සී. තරග තීරකයෙකි.

ස්ටුවර්ට් බ්‍රෝඩ් සිය ක්‍රිකට් දිවිය සාර්ථක කරගැනීමට පියාගෙන් ලැබුණු දායකත්වය ගැන අදහස් දක්වා තිබුණේ මෙසේය. ‘ඔහුගෙන් විශාල සහායක් ලැබුණා. හැබැයි ඒ පිතිහරඹයට නොවෙයි. මොකද ඔහු පිතිකරුවෙක් නිසා මට තිබුණේ දිගින් දිගටම ඔහුට පන්දුයවන්නයි. ඒ නිසයි මම පන්දු යවන බ්‍රෝඩ් කෙනෙක් වුණේ.’

එය එසේ කීවාට බ්‍රෝඩ් මෙන්ම ඇන්ඩර්සන්ද පිත්ත අතට ගත්විට ලකුණු රැස්කරන්නටත් අමතක කරන්නේ නැත. ඇන්ඩර්සන් අර්ධ ශතකයක් සමඟ ටෙස්ට් ලකුණු දහස ඉක්මවද්දී බ්‍රෝඩ් ටෙස්ට් ලකුණු තුන්දහස ඉක්මවා ඇත්තේ ශතකයක් ද සමඟිනි.

පසුගියවර අළු බඳුන ටෙස්ට් තරග මාලාව ඇන්ඩර්සන්ට මඟ හැරුණේ ආබාධයක් හේතුවෙනි. ‘මම දැන් ශාරීරිකව සුවපත්. පසුගිය වසරේදී ක්‍රීඩා නොකර දීර්ඝ කාලයක් බලා සිටින්න අපට සිද්ධ වුණා. ඒක ශාරීරික සුවතාව වර්ධනය කරගන්න වෙස්වලාගත්ත ආශිර්වාදයකුත් වුණා.’ ඇන්ඩර්සන් පවසන්නේ ය.

‘මේ තරගමාලාවේ දී ශ්‍රී ලංකාවට වැඩි වාසි තිබෙනවා. මොකද ඔවුන් දකුණු අප්‍රිකාව එක්ක ටෙස්ට් තරගාවලියට සහභාගි වුණා. නමුත් අපි අගෝස්තුවෙන් පස්සේ කිසිම තරගයකට සහභාගිවෙලා නෑ.’ ඔහු පවසන්නේ තමන්ගේ කණ්ඩායමට ඇති අවාසි සම්බන්ධවය.

කෙසේ නමුත් ඇන්ඩර්සන් මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගවලදී එතරම් සාර්ථකවී නැත. හෙතෙම තරග හයකදී දවාගෙන ඇත්තේ කඩුලු 12ක් පමණි. එහෙත් එයට ඉනිමක කඩුලු පහක් දවාගැනීමේ එක් අවස්ථාවක් එක්කරගැනීමට සමත්ව ඇත. එම දස්කම ඔහු දක්වා ඇත්තේ ගාල්ලේදීම වීම ඇන්ඩර්සන්ගේ පාර්ශ්වයෙන් විශ්වාසය වැඩිදියුණු කර ඇතැයි කිව හැක.

ඔවුන් දෙදෙනා තවදුරටත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ලොතරැයියක් ද යන්න තීරණය කරන්නේ මෙම තරගාවලියෙන් අනතුරුවය. කෙසේ නමුත් ඇන්ඩර්සන් හා බ්‍රෝඩ්ගේ මෙහෙයුම ශ්‍රී ලංකා පිතිකරුවන්ට නම් හිතකර වනු ඇතැයි විශ්වාස කරන්නට බැරිය.

 

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments