ක්‍රීඩාවත් කලාව වගේම භාවනාවක් ඉස්සර මමත් හොඳ ක්‍රීඩකයෙක් | සිළුමිණ

ක්‍රීඩාවත් කලාව වගේම භාවනාවක් ඉස්සර මමත් හොඳ ක්‍රීඩකයෙක්

 

 ක්‍රිකට් වලටත් මම කැමතියි. එතැන වැඩිපුරම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි අර්ජුන රණතුංග. සචිත්‍ර සේනානායකටත් කැමතියි. ඔහු සංගීතය ඉගෙන ගත්තේ මගෙන්. ඒවගේමයි මම තිලකා ජිනදාසටත් කැමතියි.’

ක්‍රීඩාවත් කලාවක්. ඒ නිසා කලාව සමඟ ක්‍රීඩාවට තියෙන්නෙත් අවියෝජනීය සම්බන්ධයක්. ක්‍රීඩාව හා බැදුණු කවි, ගී, චිත්‍රපට, පත පොත ආදී කලා නිර්මාණ බිහිවන්නේත් එවැනි පසුබිමක සිටයි.

කලාකරුවන්ගේ ජීවිතයේ පවතින ක්‍රීඩා අවකාශය සම්බන්ධයෙන් විශේෂාංගයක් ආරම්භ කරන්න තීරණය කළේ එවැනි පසුබිමකයි. එහි පළමු විශේෂාංගය වෙනුවෙන් අප මුණගැසුණේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතායි.

කලාව තුළ ක්‍රීඩා අවකාශයක් සොයා යද්දී අපිට මිරිහානේ සංගීත අසපුවට යන්න හිතුණා. උත්තුංග දේහධාරී කලාකරුවකු වු අපේ කතානායකයා තුළ ක්‍රීඩාවට බොහෝ ආදරය කරන ක්‍රීඩා ප්‍රේමියෙක් ජීවත්වන බව අපි දැන අසා තිබුණු නිසයි ඒ. අප යනවිට පවුලේ සාමාජිකයන් සියලු දෙනාම නිවසේ සිටියා.

ඉතින් අපි ඔහුගේ කලා ජීවිතයෙන් සම්පූර්ණයෙන් පරිබාහිරව ක්‍රීඩාව ගැන කතාකළා.

'කොහොමද මහාචාර්යතුමා ක්‍රීඩාව එහෙම?' අපි කතාවට මුලපිරුවා.

‘බොහෝම ඉස්සර ඒ කියන්නේ හැටේ දසකයේ පාසල් යන කාලෙ මමත් හොඳ ක්‍රීඩකයෙක්. හැබැයි දැන්නම් ක්‍රීඩා කරන්නෙ නෑ’ දෙනෙත් පියාගනිමින් සුපුරුදු ඉරියව්වකට සමවැදුණු මහාචාර්ය තුමා පවසයි.

ඉස්කෝලෙ යන කාලෙ ඔබතුමා ක්‍රීඩා කරලා තියෙනවදැයි අපි අතුරු ප්‍රශ්නයක් නැගුවා. ඒක අහපුවහම එතුමා පියාගෙන සිටි දෙනෙත් විවර කරලා පිළිතුරු දුන්නා.

‘මගේ ඉස්කෝලේ ගොතටුව මහා විද්‍යාලය. ඒ කාලේ මම ගැහුවේ එල්ලේ. ජවය තියෙන කෙනාට තමයි එල්ලේ ක්‍රීඩා කරන්න පුලුවන් වෙන්නෙ. හැබැයි මලල ක්‍රීඩකයෙක් විධිහටත් මම දක්ෂතා දක්වලා තිබෙනවා. ඒ කාලේ මම හොඳ කෙටි දුර ධාවකයෙක්. මීටර් 100 තරගවලදි කුසලාන එහෙමත් දිනුවා. ඒ ලබපු කුසලාන එකතුව තියෙන්නේ මගේ මහ ගෙදර. හැබැයි දෙක -තුනක් තමයි.’ ඔහු කීවේ සැහැල්ලුවෙන්.

‘ඒ කාලේ කොලොන්නාව මගේ ගමේ ඉඳලා පන්නිපිටියේ ධර්මපාල පිට්ටනියට ඇවිල්ලා තමයි මම දුවන්න පුරුදු වෙන්නෙ. එතකොට අපි සහාය දිවීම තරගවලටත් ඉදිරිපත් වුණා. මම තමයි අන්තිම රවුම දුවන්නෙ. අන්තිමට යෂ්ඨිය ගත්තත් පස්සෙන් දුවගෙන ගිහින් හරි අනිත් අයව පහුකරන්න මට පුලුවන්. අන්තිමට යෂ්ටිය හම්බවුණත් කොහොම හරි පළමුවැනියා විධිහට තරගය ඉවර කරනවා.’ මහාචාර්යවරයා කිව්වා. එහි අභිමානයක් ගැබ්වෙලා තිබුණා.

‘පාසල් අධ්‍යා-පනයෙන් පස්සේ මම සංගීතය ඉගෙන ගන්න ඉන්දියාවට ගියා. හැබැයි එහෙදි ක්‍රීඩා කරන්න වෙලාවක් ලැබුණේ නෑ. අනෙක භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලය ක්‍රීඩාව තිබුණේ නැති තරම්. ඒත් මම ඉන්දියාවෙදි පාපැදි තරග පදින්න ගියා. ඒත් ඒවායේ තැනක් ගන්න නම් බැරිවුණා.’ ඔහු කීවේ හැටේ දසකයේ මතකය අලුත් කරමින්.

‘ඒ කාලේ මම බොක්සිං තරග බලන්න හරිම ආසයි. හැබැයි බොක්සිං ගහන්න නෙවෙයි. ඒත් තරුණ කාලේ මටත් හොඳට ගහගන්න පුලුවන්. නමුත් මම ගහගන්නේ නම් නෑ. හැබැයි ඒ කාලේ කොළඹ තිබුණු සාමාජ ශාලාවක පැවැත්වුණු බොක්සිං තරග බලන්න මම පුරුදුවෙලා හිටියා. මම, මල්කාන්ති එක්කත් බොක්සිං බලන්න ගිහිල්ලා තියෙනවා.’ මෙහෙම කියද්දී මහාචාර්යවරයාව අපිට පෙනුනේ ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩකයකු වගේ.

‘ක්‍රීඩාව තුළ ක්‍රිකට් වලටත් මම කැමතියි. එතැන වැඩිපුරම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි අර්ජුන රණතුංග. සචිත්‍ර සේනානායකටත් කැමතියි. ඔහු සංගීතය ඉගෙන ගත්තේ මගෙන්. ඒවගේමයි මම තිලකා ජිනදාසටත් කැමතියි.’ තම කැමතිම ක්‍රීඩකයෝ ගැන ඔහු කිව්වෙ එහෙමයි.

‘ක්‍රීඩාව රසවිඳිද්දී හුඟාක් වෙලාවට මම පුංචි ළමයෙක් වගේ. හැබැයි බොක්සිං වලදී මම කැමති පරාද වෙන ක්‍රීඩකයාට. මොකද ඔහු පරදින්නේ සුළු අඩුපාඩුවකිනුයි. අනෙක ක්‍රීඩා කරන්නේ දිනුම පැරදුම දෙකම බලාගෙනනෙ. ඉතින් ඒවගේ තරගයකදී පරදින්නේ දක්ෂ ක්‍රීඩකයෙක්ම තමයි. මම ඉන්නෙ ඔහුගෙ පැත්තෙ.’ මහාචාර්ය සනත් නන්දසිරි අලුත් මානයකින් කියවන්න පුලුවන් ක්‍රීඩා රසිකයෙක් බව අපට දැනුණා.

‘විදේශීය ක්‍රීඩකයන්ටත් මම කැමතියි. ඒ අතරින් ෂොයිබ් අක්තාර්ට වගේම සචින් ටෙන්ඩුල්කාර් විශේෂයි.’ ඔහු කිව්වා. ක්‍රීඩා අතර විශේෂයෙන් ක්‍රිකට් ගැන සනත් නන්දසිරි මහතාට වෙනම ම කියැවීමකුත් තිබුණා.

‘පිත්තයි, බෝලෙයි තිබුණ කියලා ක්‍රිකට් ගහන්න බෑ. එතන තාක්ෂණයක් තිබෙනවා. තාක්ෂණය තිබුණු ක්‍රීඩකයන් අතරින් සචින් වගේ ක්‍රීඩකයෝ තමයි විශේෂ.

‘මම හිතන්නේ ක්‍රීඩකයන්ට සංගීතය හොඳ චිකිත්සාවක්. ඒකෙන් ඔවුන්ගේ මනස ස්ථාවර කරගෙන, ක්‍රීඩා තාක්ෂණයට අනුගත වෙන්න පුලුවන් වෙනවා. අදත් මම ක්‍රීඩකයන්ගේ හිතවතෙක්. ක්‍රීඩකයෝ සියලු දෙනාම වගේ මටත් කැමතියි. රසිකයෙක් හැටියට ලංකාවේ ක්‍රීඩා පත පොත පළවෙනවා නම් මම කියවනවා. පාලිත පෙරේරාටත්, ප්‍රේමසර ඈපාසිංහගේ විස්තර කථනයටත් මම හුඟාක් කැමතියි. මොකද ඔවුන් විස්තර කථකයන් වශයෙන් අපේ මනස ඇතුළේ වදන් සිතුවම් ඇන්ඳා.’ සනත් නන්දසිරි කියන්නේ සතුටින්. තවදුරටත් එතුමා විඩාපත් නොකර සංගීත අසපුවෙන් නික්ම එන්න අප තීරණය කළා. එතකොට ඔහු කියපු දේ අපේ හිතේ තදින් රැඳුණා.

‘කලාව කියන්නේ භාවනාවක් වගේම ක්‍රීඩාව කියන්නෙත් භාවනාවක්මයි. මේ දෙකෙන්ම එගොඩවෙන්න පුලුවන් වෙන්නේ තමන් නියැලෙන ක්‍රීඩාව හෝ කලාව භාවනාවක් බවට පෙරළා ගත්තොත් විතරයි.’

 

Comments