රුහුණේ ප්‍රාඥයා දිවි මඬලෙන් බැස යයි | සිළුමිණ

රුහුණේ ප්‍රාඥයා දිවි මඬලෙන් බැස යයි

‘ඔන්න මං අකුරු කියෙව්වම හොඳ පුතා වගේ අකුරු කියන්න’

සරසවි මුල් පොතේ මුල් පිටුව පෙරළමින් නාහිමියෝ කීහ.

‘අ’... යන්න.’

‘අ’ යන්න....’ ලොකු සාදු ‘අ’ කිව්වම ඇති. යන්න ඕනෙ නැහැ.’

‘හා... හරි...හරි.. දැන් ආ යන්න කියන්න.’

‘යන්න ඕනෙ නැහැ හාමුදුරුවනේ... ‘ආ’

‘ලොකු සාදු මම මේ අකුරු ටික ඔක්කොම කියන්න ද?’

‘බොහොම හොඳයි..බොහොම හොඳයි... පුඵවන්නම් කියන්න’

‘අ..ආ..ඇ...ඈ...ඉ..ඊ...උ..ඌ...එ...ඒ..ඔ..ඕ..ක..ග..’ යනුවෙන් දරුවා එක හුස්මට කියා ගෙන ගියේය.

‘ලොකු සාදු..මට මේක කවියක් විදියටත් කියන්න පුඵවන්..’

‘කවියක් විදියට..?’

‘ඔව්... මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ කවිය තාලෙට කියන්න පුඵවන්..’

‘අපූරුයිනේ.. පුතා...’

‘ඊළඟට ‘අ’ මුලට යොදල වචන කිහිපයක් කියවමු.’ ‘අද..අර..අට..අප’ ආදී තවත් වචන නාහිමියෝ කියැවූහ.

‘ඇයි ලොකු සාදු... අම්මා,අක්කා...අයියා..’ දරුවා කියවාගෙන ගියේය.

‘බොහොම අපූරු දරුවෙක්. මේ වගේ දරුවෙක් මගේ ජීවිතේටම දැක්කමයි. අනාගතයේ හොඳ උගතෙක් වේවි. රටට ජාතියට ජනතාවට වැඩදායක පුද්ගලයෙක් වේවි. මම දරුවට ආශීර්වාද කරනවා. ’

දඩල්ලේ වාලුකාරාමාධිපති රාජකීය පණ්ඩිත රජ්ගම පඤ්ඤාසේකර නාහිමියෝ මීට අවුරුදු අසූ අටකට පමණ පෙරදී අකුරු කියවීමට ගොස් එසේ ආශීර්වාද කළ දරුවා වූයේ අන් කවුරුවත් නොව ඉකුත් හය වැනි දින මළ හිරු බැස යාමේ අනූතුන් වසරක් දිවි ගෙවා දැයෙන් සදහටම සමුගත් මහ විද්වතෙකු මෙන්ම පඬිවරයකු වූ මහාචාර්ය බන්දුසේන ගුණසේකර සූරීන්ය.

තිදරු පියෙකු වන ඒ මහතා මිය යන තෙක්ම දිවි ගෙවුයේ ගාල්ල දුම්රිය නැතුම් පොළ ඉදිරිපිට පිහිටි ‘මහාචාර්ය බන්දුසේන ගුණසේකර මාවතේ‘ අංක 48 දරන ‘සහනය’ නිවෙසේ ය.

රජ්ගම පඤ්ඤාසේකර නාහිමියන් කියූ පරිදිම බන්දුසේන ගුණසේකර දරුවා පාාසල් වියේ සිටම දස්කම් දැක්වූයේ ‘හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේවි’ යන්න සනාථ කරමින්ය. කුඩා වියේ සිටම අයුක්තියට අසාධාරණයට එරෙහිව කටයුතු කිරීමෙන් ජීවිත තර්ජන වලට පවා මුහුණ පෑමට සිදුවිය.

නිදහස් කියවීම් ශාලාවක් ආරම්භ කළේ පාසල් වියේදීමය. මෙවැනි පොදු කටයුතු වලට විරෝධය දැක්වූ ඥාතියකු වූ ගමේ ගම්මුලාදෑනියාගෙන් ගම්මුන්ට වන අසාධාරණ කම්වලට එරෙහිව කොමියුනිස්ට් පත්තරේට කවියක් ලියා යැව්වේ ‘දඩල්ලේ සේකර’ නමිනි. ජ්‍යෙෂ්ඨ විභාගය සමත්ව සිටිය දී මෙම කවිය ලියූ නිසා ගමෙන් පිටත් කොට කොළඹ යැවුයේ ආරාක්ෂාවටය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

කොළඹ දී කවියන් රැසක් හමුවීමෙන් වූයේ මොහුගේ කවි දිවිය තවත් සරුවීමය. එහි සිටිය දී පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසල් වල පැවති ගුරු පුරප්පාඩුවට අයදුම් පතක් යොමු කළ බන්දුසේන තරුණයා සම්මුඛ පරීක්ෂණයේදී රැකියාව ගැන නොතකා කවියෙන් පහර ගැසුවේ පරීක්ෂණ මණ්ඩලයේ දී වූ අසාධාරණ කමකට විරුද්ධවය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති පී. ද ඇස්. කුලරත්න මහතා ඉදිරියට යන විට වෙනත් අයකු ආරාධනාවකින් තොරව පැමිණ ඉදිරියෙහි වූ පුටුවේ වාඩි වී විනාඩි දහයක් පමණ කතා කරන තුරු බන්දුසේන මහතා ට හිටගෙන සිටීමට සිදුවිය.

සම්මුඛ පරීක්ෂණයේ දී හිටිවන කවියක් කියැන්නැයි කළ ඉල්ලීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් ගුණසේකර ශූරීන්...

කරුණක් නැතිව ගත වන එක තත්පරය

සැහැසිම පාපදායි බවකට බරය

රැකගනු කැමැත්තෙමි ජාතිය පරපුරය

මී මැසි පොදියකට වැඩියෙන් කඩිසරය

තල්පෙ වැල්ලේතොට සුගතානන්ද විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ඇරඹූ ගුණසේකරයන් නිට්ටඹුව ගුරු විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබුවේය. එයින් පසු විශ්වවිද්‍යාලයට ඇතුළු වී 1963 වර්ෂාවසානයේ පැවැත් වූ සිංහල ගෞරව උපාධි පරීක්ෂණයෙන් ගුණසේකර මහතා සමත්වූයේ ද්විතීය ඉහළ සමාර්ථයක් ලබමිනි. විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයකට රඳවා ගත යුතු වූ නමුත් ඒ අවස්ථාව මොහුට අහිමි විය. ගින්තොට විද්‍යාලයට විදුහල්පති ලෙස පැමිණ එම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්කරමින් අමරණීය සේවාවක් ඉටු කළේය.

එම විද්‍යාලයෙන් සිසුන් සෑම වසරකම විශ්වවිද්‍යාලයට යවමින් කළ සේවාව අදත් ගම්වැසියෝ ආදරයෙන් සිහිපත් කරති. විශ්වවිද්‍යාල සේවාවට ඇතුළු වූ බන්දුසේන මහතා ආචාර්ය උපාධිය ලබමින් එහිදී ද අමරණීය සේවාවක් ඉටුකර තිබේ.

රුහුණේ සිටින කවියන්ගේ කලාකරුවන්ගේ එකතුවක් ගොඩනඟාගෙන කලාවට දස්කම් දක්වන අය ඇගයීමකට ලක්කිරීමකට උනන්දු වුණේය. 1947 සැප්තැම්බර් මාසයේ ‘රුහුණු කලා රැලිය’ ආරම්භ කිරීම ද බන්දුසේනයන්ගේ සාර්ථක පියවරක් විය. කුඹල්වැල්ලේ තල්ගහහේන සුමනාරාමයේ තල්ගම්පළ උදිත හිමියන්ගේ එකමුතුවෙන් ආරම්භ වූ මෙම කලා රැලියට රජ්ගම ටී. ලියනගේ, නීතිඥ බාබට් සිල්වා, අධිනීතිඥ ප්‍රේමවංශ තිලකරත්න, කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන, මතුගම සේනාරත්න, කමල් සිවුරුපිටිය, ආරියවංශ නිගමුණි, වයිමන් ජයතිස්ස යන කවියෝ එකතු වූහ.

පසුව ‘රුහුණු කලා හවුල’ නමින් කීර්තිධර කලා සංගමයක් වූයේ එයයි. වර්තමාන සභාපතිත්වය ආචාර්ය සේන අම්බලන්ගොඩයන් හොබවන අතර එහි සම ලේකම් ධුරයක් හෙබවීමට මම ද වාසනාවන්ත වීමි.

අධ්‍යාපන මෙන්ම කලා කටයුතු කරගෙන ගිය බන්දුසේන ගුණසේකර මහතා මේ කටයුතු මධ්‍යයෙහි ලේඛන කටයුතු වලටද යෙදුණේ වයස අවුරුදු විස්ස සම්පූර්ණ වීමටත් පෙරය. ටයිම්ස් ආයතනයෙන් නිකුත් වූ ලංකාදීප පුවත්පතේ බන්දුගේ පිටුවේ ‘කුහුඹුවා කුඩා වූ හැටි’ හිසින් නිර්මාණයක් පළවීමෙන් පසු ධෛර්යට පත් ඔහු සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, නිදහස, ඇත්ත, පෙරමුණ, දිනමිණ, සිඵමිණ, යන පුවත්පත්වලට ශාස්ත්‍රීය ලිපි ලිවීය. දිය ඇල්ල, අඹවනය, මීවදය, අතිරස වැනි කවි සඟරාවලට කවි ද ලිවී ය. ලේඛකයකු කවියකු ලෙස ඔහුගේ නම මහත් ප්‍රසිද්ධියකට ගියේ ය. ලේඛන කලාවට දස්කම් දැක්වූ ඔහු වැඩි වශයෙන් ම යොමු වූයේ ශාස්ත්‍රීය ලිපි ලියා ජනතාව දැනුම්වත් කිරීමට යි.

‘ශ්‍රී ලංකා’ සඟරාවට සිංහල ජාතික සංස්කෘතිය පිළිබඳව ලිපි පෙළක් ලිවීමෙන් උගතුන්ගේ අවධානයට පාත්‍රවීමට ඔහු සමත් විය. ගන්දර වීරසූරිය මහතා බන්දුසේන ගුණසේකර වියත් ලේඛයා හමුවීමට දිනක පැමිණියේය. බන්දුසේන මහතා දැක ඔහු පුදුමයට පත්විය. ඇසිපිය නොහෙළා විනාඩි දෙක තුනක් එක එල්ලේ බලා සිටියේ ය.

‘මම ආවේ අවුරුදු විස්සක කොලු ගැටයෙක් දකින්නට නොවෙයි. අවුරුදු හතළිහක පනහක පඬිවරයෙක් දකින්නටයි.’ ඔහු බන්දුසේන තරුණයා බදා ගනිමින් කීවේ මහත් සතුටිනි.

‘පුතේ ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. දිගට ම මේ ගමන යන්න’ යි ආශීර්වාද කළේය.

වැඩිහිටි හිතමිතුරන්ගේ ආශීර්වාද ලැබ ආරම්භ කළ ලේඛන දිවිය අසනීප වී ලෙඩ ඇඳේ දී පවා අත්හැරියේ නැත. ලිවිමට අතේ වාරු නැති විට සිය අදහස් දරුවන් ලවා ලියවා පොත පත පළ කළේය. මිය යන විට ළමා, යොවුන් නව කතා, ඓතිහාසික නව කතා, පර්යේෂණ ග්‍රන්ථ, පරිවර්ථන ආදී ග්‍රන්ථ රාශියක් වයසේ ප්‍රමාණයටම ලියා පළ කරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට ගත් උත්සහය අප කාටත් ලොකු ආදර්ශයකි. ආචාර්ය, මහාචාර්යවරු වැනි ශිෂ්‍යයන් විශාල පිරිසක් සිටිය දී එතුමාගේ ජීවිත කතාව අලළා ‘දිසාපාමොක් මිණි පහන’ ග්‍රන්ථය ලිවීමට මා හට පැවරීම සිතා ගත නොහැකි කරුණකි. ඒ මා ලද පෙර පිනක් දැයි සිතෙන වාර අනන්තය.

අංකුර ලේඛකයන්ට නිතර අත හිත දීමට ඉදිරිපත් වූ මහා පඬිවරයාගේ නිසල දේහය ජනවාරි 8 වැනිදා මළ හිරු බැස යද්දී ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී බුර බුරා නැගෙන ගිනි දැල්වලින් දැවී අඵවී ගියේ කමලා ගුණසේකර සිය බිරිය හා දූ දරුවන්ගේ පමණක් නොව පැමිණි සිටි විශාල පිරිසගේ සෝ සුසුම් මැදය.

අනුර යසමිත්

Comments