මේ කොහෙන් පාත්වුණු එකෙක් ද? | සිළුමිණ

මේ කොහෙන් පාත්වුණු එකෙක් ද?

දෙල්කඳ මංසන්ධියේ සිට මීටර් තුන්සියයක් පමණ ඉදිරියෙන්, විජේරාමයේ මහජන බැංකුව අසළින්ම වැටී ඇති පටු මාවත ඔස්සේ පිය මනිද්දී හමුවන බොහෝ නිවාස අතර තාප්පයකින් වටව ඇති පැරණි පන්නයේ නිවසක් දැකගත හැකිය. එම නිවසේ අපට හමු වන්නේ තියුණු හඬ පෞරුෂයක් සහිත සුන්දර සිනහවකින් මුව සරසාගත් ප්‍රේමසර ඈපාසිංහයෝය. 'ක්‍රීඩා' අපි ඈපාසිංහයන්ගේ සන්නිවේදන ජීවිතයේ ප්‍රභාමත් අතීතය සිහිපත් කරන්නට ජීවිතයේ සැඳෑසමය ගෙවමින් සිටින ඔහු ගේ කැදැල්ලටම ගොස් ඔහුගේ ඉපැරණි මතකයන් තුළ සක්මන් කළෙමු.

‘කාලය විසින් බොහෝ දේ වෙනස් කර ඇත. එහෙයින් කළුවන් කෙස් වැටිය පුළුන් වන් සුදෝ සුදු පැහැයට හැරී තිබේ. එහෙත් ඔහුගේ සුපුරුදු සිනහවේත්, අඛණ්ඩ කියැවීමේත්, හඬේ ඇති ගැඹුරු ධ්වනියේත් කිසිදු වෙනසක් සිදුව නැත. ඉදින් ඒ ප්‍රේමසර ඈපාසිංහ නම් වූ උත්තුංග ක්‍රීඩා සන්නිවේදකයාගේ හඬට අපි සවන් යොමු කළෙමු.’

ඇත්තටම එදා තදටම ඉර පායල තිබුණු දවසක්. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. චන්ද්‍ර,සූර්ය නිවාස දෙකේ සාමාජිකයෝ මාර ගස් පෙළ යට වෙන වෙනම රොද බැඳිලා බලා ගෙන ඉන්නවා. ටෙරී පිටියේ ක්‍රීඩකයන් සකස් කරනවා. ඒ විධිහට පිටියේ ක්‍රීඩකයන් සූදානම් කරලා තමයි ටෙරී වේගයෙන් දුවගෙන ඇවිල්ල විදුලි වේගයෙන් ‘ෆුල් ටොස් ’ පන්දුවක් දැම්මෙ. මම ලද අවස්ථාවෙන් කිසිම පැකිලීමක් නැතුව මගේ පා ඉන්න පැත්තට යන්න ඒ පන්දුවට පහරක් එල්ල කළා. පිත්තේ නිසි ආකාරයෙන්ම වැදුණ පන්දුව මම අලුත් ද? ක්‍රිකට් ගහලා නැද්ද කියලා බැලුවේ නෑ. පිත්තේ හරි තැන වැදිලා වේගය උරාගෙන විදුලි වේගයෙන් හතරේ සීමාවට දිවගෙන ගියා. ඒ පහරත් එක්ක මට දුවන්ඩවත් ඉඩක් තිබුණේ නැති තරම්. යසපාල එහා පැත්තේ ඉඳන් කලබල වෙන්ඩ එපා කියනවා වගේ අතින් මට සංඥා කරනවා. ටෙරීගේ දෙවෙනි පන්දුව වැටුනේ පිට ඉන්න පැත්තෙන්. ඒකටත් මම අර වගේම දෑත බදලා ගහපු පහරට පන්දුව කිසිම බාධාවක් නැතිව හතරේ සීමාව පසු කළා. දැන් අපේ නිවාසේ කොල්ලෝ කෑගහනවා ටෙරී මට ඔරවගෙන ඔහුගේ සීමාවට ගියේ හිටපං උඹට දෙන්නම් කියනවා වගේ හැඟීමකින්. තුන් වෙනි පන්දුව වැටුණේ ‘අවුට් සයිඞ් ඕෆ් ස්ටම්ප්’. ඒ කියන්නේ පිට ඉන්නට පිටතින් තමයි ඒක පතිත වුණේ. යසපාල කියපු විදිහට මම ඒ පන්දුවට නිදැල්ලේ යන්න ඉඩදුන්නා. හතරවෙනි පන්දුව පිට ඉන්න දෙසින් මඳක් ඉහළට ඉපිලෙමින් මා වෙත ආවා. මම කිසි දෙයක් නොසිතා එයටත් වැරෙන් පහරක් එල්ල කළා. ක්‍රිකට් භාෂාවෙන් ඒ පහර ‘ස්ක්වෙයාර් කට්’ එකක් බව පසුව තමයි මම දැනගත්තේ. දැන් පන්දු රකින ක්‍රීඩකයෝ නොසන්සුන් වෙලා.

“ කවුද බං මූ? කෙහෙන් ආපු එකෙක්ද?” ස්ලිප් එක පැත්තෙ කතාවෙනවා මට ඇහුණා. ඒ කතාව අහපුවම මට පුංචි හිනාවකුත් ආවා. ඒ අතර යසපාල පිත්තෙන් මැට්න් එකට කොට කොටා මා දිහාවට ආවා.

“අයිසේ තමුසේ ක්‍රිකට් ගහලා නැහැ කිව්වා නේද?” යසපාල ඇහුවෙත් විමතියෙන් වගෙයි.

“ඔව්.” මම කෙටි උත්තරයක් දුන්නා.

“ එහෙනම් ඔය ගහන්නෙ. බලාගෙන හෙමින් ගහනවා.” කියලා ඔහු තමන්ගෙ සීමාවට ගියා. ඒ පන්දුවාරේ ඉතිරි පන්දු දෙක මම නිදැල්ලේ යන්න ඇරියා. තෙවැනි පන්දුවාරේදී යසපාල හුගක් ප්‍රවේසමෙන් පන්දුවට මුහුණ දුන්නත් ඒක ඔහුටම නරකට හිටියා. මොකද සුමිත්ගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදිලා යසපාල පිටියෙන් ඉවත් වුණා. ඇත්තටම එදා යසපාලගේ දිනය නෙමේ එදා මගේ දිනය වෙලා තිබුණා. අහම්බෙන් ක්‍රිකට් ගහන්ඩ ආපු මම අනෙක් සගයින් එක්ක එකතු වෙලා මගේ නිවාසෙට ලකුණු හැත්තෑ නමයක් ලබා දුන්නා. මගේ ලකුණුත් සමග අපේ නිවාසය මුළු ලකුණු 148 යි. තරගය අපි දිනුවා.

තරගෙන් අනතුරුව හැමෝම මට සුභ පැතුවා. හැබැයි හුඟ දෙනෙක් මා දිහා බැලුවේ අමුතු විදිහට. සමහර විට මම කෝඩුකාරයෙක් නිසා ඒවගේ දෙයක් බලාපොරොත්තු නොවුණු නිසා වෙන්න ඇති.

පාසල අහවරවෙලා මම එදා ගෙදර ගියේ හරිම සතුටෙන්. ඒත් මගේ සතුට බෙදා ගන්න අම්මා හිටියේ නෑ. එහෙම හිටියනම් ඇය කොයිතරම් සතුටු වෙයිද ? ඒත් තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකන් මම හිටියේ ඉස්පාසුවක් නැතිවයි. වෙනදාට වඩා වේලාසනින් එදා තාත්ත ගෙදර ආවා ද පරක්කු වුණා ද කියන දෙගිඩියාව මට ඇතිවුණා. මගේ කතාවෙන් තාත්තා සතුටට පත්වුණ බවක් පෙනුණා. ඒත් මගේ තාත්තා කවදාවත් හැගීම් පිටතට පෙන්නපු කෙනෙක් නොවෙයි.

පහුවෙනිදා උදෙන්ම පාසල්ගිය මට සුබපැතුම් කෝටියයි. පාසලේ වැඩකටයුතු ආරම්භවෙලා පැයක් පමණ ගත වුණා. සුගතමුණි ඥානසිරි මහත්තයගේ කාල පරිච්ඡේදය වෙලාවෙ හතේ පංතියේ ළමයෙක් ඇවිත් ඥානසිරි සර්ට‍ පණිවිඩයක් භාර දුන්නා. එය කියවපු ඥානසිරි සර්..,

“ ඈපාසිංහ දැන්ම ගිහින් මිස්ටර් කන්දසාමිව හම්බ වෙන්න.” කියලා කිව්වා. ඒ ලද අවසරයෙන් මම ඒ කාලෙ ක්‍රිකට් ක්‍රීඩාව භාරව කටයුතු කළ කන්දසාමි සර්ව මුණ ගැහෙන්න එතුමා හිටපු ප්‍රාථමිකය පැත්තට ගියා. එතුමා නාලන්දාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට සේවයක් කළ හොඳ ගුරුවරයෙක්. එතුමා නාලන්දාවෙන් ජාතික තලයට ක්‍රිකට් ක්‍රීඩකයින් පෙළක් හඳුන්වා දුන්නා.

ඒ අතර ඈෂ්ලි ද සිල්වා, කාල් ඔබේසේකර, ස්ටැන්ලි ජයසිංහ වගේ අගනා ක්‍රීඩකයින් තිදෙනා විශේෂයි. ස්ටැන්ලි ජයසිංහ පසු කාලෙක එංගලන්තයේ ‘ලෙස්ටර්ෂයර්’ ප්‍රාන්තයට ක්‍රීඩා කරමින් රටටට කීර්තියක් ලබා දුන්නා. කොහොම හරි මම කන්දසාමි සර් හිටපු පන්තියට ගියා. ඔහු මාව දැක්ක ගමන් “කම් හියර්” කියලා බොහොම රළු හඬකින් මට ළඟට එන්න සන් කළා.

ලබන සතිය

කන්දසාමි සර් ඈපාසිංහට තරු පෙන්නයි !

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments