විසිඑක්වන සියවසේ අබියස ඇති ශාසනික අභියෝග | සිළුමිණ

විසිඑක්වන සියවසේ අබියස ඇති ශාසනික අභියෝග

ආචාර්ය ඡුලම්පිටියේ පුඤ්ඤසාර හිමි 
ආරාධිත කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

බුදු සමය සමාජ අවශ්‍යතා මිස අන් කිසිවක් නියෝජනය නොකරයි. බුදුන්වහන්සේ ධරමාන සමයෙහි තිබූ සමාජ ආර්ථික දේශපාලනික හා වෙනත් කවර හෝ ආකාර ප්‍රශ්නවලට බෞද්ධ ත්‍රිපිටකය විසඳුම් සපයා ඇති බව පැහැදිලිය. මුල් බුදු සමයට අනුව බුදුන්ගේ ශ්‍රාවකයන් බුදුන් කරා පැමිණියේ සත්‍ය ගවේශනය සඳහා පමණී. එකල වෙහෙර විහාර හෝ ආගමික දේපළ හෝ පිළිබඳව තොරතුරු සඳහන් නොවේ. ඉන් ගම්‍ය වන්නේ අෂ්ට පරිෂ්කාරය පමණක් සඝ සතු දේපළ වූ බවයි. ගිහිකළ ශ්‍රාවකයන් සතු දේපළ ඔවුන් සතුව තිබුණු බවට සාධක උපාලි වැනි ගෘහපතියන්ගේ සාක්ෂිවලින් පැහැදිලි වේ.

බුද්ධත්වයෙන් පළමු විසි වර්ෂයෙන් පසුව බුද්ධ ශ්‍රාවකයන් ගණනින් හා සංඛ්‍යාවෙන් වැඩිවීමත් සමඟ සංඝ සමාජයේ ගැටලු සහගත තත්වයන් මතුවන්නට විය. ඒ ඒ යුගවල භික්ෂූන්ගේ අවශ්‍යතා හා ආකල්ප වෙනස්කම් වලට බදුන් වන්නට විය. විනය නීති පැනවිමේ අවශ්‍යතාවයන් ද ඇති විය. එම ඇතැම් ගැටලුවලට තත්කාලීන සමාජයේ හා නෛතික රාමුවේ පිහිට ද අවශ්‍ය විය.

ඇතැම් රටවල ශාසනික දේපළ පිළිබඳව මූලික රාජ්‍ය නීතිය පමණක් ක්‍රියාත්මක කොට තිබීම සුවිශේෂී කරුණකි. නිදසුනක් ලෙස චීනය, වියට්නාමය, ලාඕසය, දකුණු කොරියාව, උතුරු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව කාම්බෝජය ඉන්දියාව ආදී රටවල් දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායට වර්ෂ දෙදහස් පන්සියයකට අධික කාලයක් ගත වී ඇත. ලාංකික සම්ප්‍රදාය තුළ ශාසනික දේපොළ පාලනය වන නීති රීති පිළිබඳව මෙතෙක් කිසිදු විද්‍යාත්මක හැදෑරීමකට ලක් නොවී ඇති බව ප්‍රකාශ කළ යුතුය. ලාංකික රජවරුන් ස්වකීය රාජ්‍යයට උදව් කළ ශාසනික සම්ප්‍රදායන්ට කළ උපකාර මහා වංශයේ සඳහන් වේ.

රජවරුන්ට උරණව ගිය භික්ෂූන්ගේ ශාසනික සම්ප්‍රදායන්ට අයත් වෙහෙර විහාර ගිනිබත් කර විනාශ කළ බව මහා වංශය සාක්ෂි දරයි. මින් පැහැදිලි වන්නේ බෞද්ධ දේපල මූලික රාජ්‍ය නීතියට අනුගතව පාලනය වූ බවයි. ලක්දිව ශාසනික දේපළ පාලනය පිළිබඳව පූර්වාදර්ශ අනුරාධපුර යුගයේ සිට දැකිය හැකිය ඒ සඳහා කදිම නිදසුන ජෙතවනාරාම සංස්කෘත පුවරු ලිපිය හෙවත් දැනට අභයගිරි සංස්කෘත පුවරු ලිපිය නමින් හැඳින්වෙන ශිලා ලේඛනයයි. රුවන්වැලි සෑ සලපතළ මළුවෙන් හමුවන ලිපියක ටංක නම් වු මුල්‍ය විශේෂයෙන් 200 මුදලක් වියදම් කොට රුවන්වැලිසෑයට ජලය සපයා ඇතිබවට සාධක හමු වේ. මින් පැහැදිලි වන්නේ තත්කාලීන සමාජයේහි ද භික්‍ෂුන් ධනවතුන් වී සිටි බවයි. සංඝ සමාජයේහි ගැටලු ද සංකිර්ණ වූ බවය. සංකිර්ණ බවෙහි දිගුවක් ලෙස භික්‍ෂුන් වහන්සේලා ස්වකීය ශාසනික දේපළ වෙනුවෙන් අරගල කරනු දැකිය හැකිය. මෙය සමහරවිට හුදු අරගලයක් නොව සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් වන කතිකාවතකි.

රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් බුදු සසුනට පූජා කළ ශාසනික දේපළට හෙවත් වෙහෙර විහාරවලට ලැබුණු නෛතික උරුමය අනුප්‍රාප්ත කිරිමට ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවන් ලාංකික නීතිය තුළ බොහෝ නඩු තින්දුවල තුළ ලීඛිත සාක්‍ෂි ලෙස දැකිය හැකිය.

විවිධ කතිකාවත් මගින් භික්ෂූන් විසින් පවත්වාගෙන ආ කතිකාවත්, චාරිත්‍ර, නීති, සිරිත් බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතින් රාජ්‍ය නීති බවට පත්විය. එසේ ලිඛිත නීතියක් පවතිද්දී විවිධ නිකායන් සහ පාර්ශ­්වයන් ඒ ඒ නිකායන්ට පාර්ශ්වයන්ට බලපාන ලෙස විවිධ කතිකාවත් මගින් භික්ෂූන් වහන්සේලා අත්තනෝමතිකව පාලනය කරන්නට යෑම නීති පද්ධතිය තුළ අවිනිශ්චිත බවක් හා ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමටත් ශාසනික අර්බුද ඇති කිරීමටත් හේතු වේ. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව විහාර දේවාල වලට අයත් දේපළ පුද්ගලික දේපළක් නොවිය යුතු යැයි සම්මත කොට රාජ නීතියට අනුගත කොට ඇත. එවා විකිණිමට ඇති ඉඩකඩ ද වසා දමා ඇත. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත යටතේ රටේ ප්‍රධාන විහාරස්ථාන වන දළදා මාලිගාව හා අටමස්ථානය වැනි ප්‍රධාන විහාරස්ථාන හැරුණු කොට විහාර දේවාලගම් පනතට අනුව විහාරයක අධිපති භික්ෂුවක් පත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදනයක් නැති බව සඳහන් කළ යුතුය.“පාලක විහාරාධිපති” පත්කර ගන්නේ කෙසේද යන්න පැහැදිලිව දක්වා නොමැති නිසා එම හිඩැස පුරවා ලනු ලබන්නේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා නීතියයි.

එසේ වුවත් විහාරයකට අධිපති තනතුරක් අවශ්‍ය වන හෙයින් අනාදිමත් කාලයක සිට පැවත එන සම්මතයට අනුව ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා නීතිය පිළිගත් නෛතික සිද්ධාන්තයක් බවට සුදු අධිරාජ්‍ය සමයේ සිට ලාංකීය රාජ්‍ය අධිකරණය ද අධිකරණයේ පූර්වාදර්ශ මගින් නැවත නැවතත් තහවුරු කොට ඇත. ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව ප්‍රධාන නීතිය වන අතර සිවුරු පරම්පරාව ලෙස ලංකාවේ පන්සල් කීපයකට පමණක් බලපාන ව්‍යතිරේකයක් පවතී. එය සිවුරු පරම්පරාව ලෙස හඳුන්වනු ලැබේ. එම ව්‍යතිරේක නිතීය මගින් විහාරයේ අධිපති භික්ෂුවක් අපවත් වු කල එම විහාරයක අධිපති භික්ෂුවගේ ලේ ඤාති ශිෂ්‍ය භික්ෂුවක් විහාරාධිපති බවට පත්වේ.

එසේම, පවතින නීතිය අනුව පාලක විහාරාධිපතීන් වහන්සේ අපවත් වූ කල්හි ඊළඟ විහාරාධිපතීන් වහන්සේ පත් කිරිමේ බලයක් කිසිදු නිකායකට හෝ සංඝ සභාවට නොමැත්තේය. එසේම යම් නිකායකට හෝ සංඝ සභාවකට විහාරාධිපතිධුරය සම්බන්ධයෙන් ක්‍රීයාත්මක කළ හැකි බලතල අතර පාලක විහාරාධිපතීන් වහන්සේ අපවත් වූ විට එකී තෙරුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ ඊළඟ පාලක විහාරාධිපතිධුරයට අනුප්‍රාප්ත වීම ස්ථිර කිරීමේ අවසරය පමණක් පවතින අතර, එකි පත්වීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම් දීමේ අවසරයක් පමණක් හිමි වේ.

යම් විහාරයක ශිෂ්‍යයන් සහිත ගුරුවරයෙක් අපවත්වී ඇති අවස්ථාවක එම ගුරුවරයාගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා වැඩ සිටිය දී එම ශිෂ්‍යයන්ට විහාරාධිපතීත්වයන්ට පත් නොකොට වෙනත් ශිෂ්‍ය නොවන බාහිර භික්ෂූන් නිකායන් මගින් පත් කරන්නේ නම් එය නීති විරෝධී හා විනය විරෝධී වේ. එය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමකි. එය නිකාය බලධාරින් විසින් නීතිය අතට ගැනීමකි. එ මගින් එසේ විහාර සන්තක දේපළ අයිතිවාසිකම් පැහැර ගන්නා සංඝ සභාවට හෝ නාහිමිවරන්ට පාරාජිකා විය හැකිය. මන්ද යත්, යම් අයකුට අයිති විය යුතු දේපළක් උදුරා ගෙන තවත් අයකුට පැවරීම දේපළ සොරකමක් වන නිසාවෙනි. සොරකම භික්‍ෂුත්වය විනාශ වන ප්‍රධාන පාරාජිකා හතරින් එක් පාරාජිකා සික්‍ෂාපදයකි.

එසේම පවතින නීතිය අනුව මහානායක මාහිමි ඇතුළු උත්තරීතර සංඝ සභාවකට පාලක විහාරාධිපතීන් වහන්සේ පත් කළ හැකි එකම අවසථාව වනුයේ අපවත් වු තෙරුන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව ශුන්‍ය වු විට පමණකි. ඇතැම් නිකායවල කතිකාවත් නීතියක් ලෙස නීති ගත කොට නොතීබිමත් ශ්‍රී ලංකික ප්‍රජාත්‍රාන්තික සමාජවාදි ජන රජයේ ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇති මුලීක මානව අයිතවාසිකම් උල්ලංඝනය වන අයුරින් කෙටුම්පත් කර තිබීමත්, ශිෂ්‍යානූ ශිෂ්‍ය පරම්පරා නීතිය උල්ලංඝනය වන අයුරින් කෙටුම්පත් කර තිබීමත්, රටේ දැනට පවතින විහාර දේවාලගම් නීතියට පටහැනිව සකස් කර තිබීමත්, එම කතිකාවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත කොට නොමැති නිසාත් හා අවම වශයෙන් එම කතිකාවත් චාරිත්‍ර නීතියක් ලෙස වත් අධිකරණය පිළිගෙන නොමැත. මෙතෙක් කෙටුම්පත් කර බල සම්පන්න හා පිළිගැනීමට ලක් වෙනවා යැයි කියාගනු ලබන එම කතිකාවත් පවතින රාජ්‍ය මුලික නිතීය ඉදිරියේ වලංගු නොවන අතර එවා බල ශුන්‍ය වේ.

එම කතිකාවත් නීතිය ඉදිරියේ පිළිගැනීමට ලක් වී නොමැත. රටේ නීති සැකසිමේ බලය සර්ව ජන ඡන්දයෙන් හිමි වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු එම නීති සැකසිමේ බලය සංඝ සභාවලට හෝ නිකායන්ට ප්‍රදානය කර හෝ බලය පවරා නොමැති නිසා රටේ දේපළ නීතියට බලපාන නීති පැනවීමට හෝ දැනට සක්‍රීයව පවතින නීති සංශෝධනයට හෝ නීති ඉවත් කිරීමට හෝ සංඝ සභාවලට හා නිකායන් ට කිසිඳු හැකියාවක් නොමැත.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පනවා ඇති බුද්ධ ආඥාව වන්නේ තමන් වහන්සේ වැඩ සිටින රටේ මූලික රාජ්‍ය නීතියට අනුගතව කටයුතු කරන ලෙසයි. “අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං” මහණෙනි, මම ඔබට රජවරුන්ගේ අණට නීතියට කීකරුව වැඩ වසන්නට අනු දැන වදාරමි.

මාතර අකුරැස්ස ඓතිහාසික රජමහා විහාරයක විහාරාධිපති පදවිය පිළිබඳ වර්ෂ 22 ක වැනි තරම් දීර්ඝ කාලයක් පැවැති නඩුව විනිශ්චයවීමෙන් අනතුරුව පැමිණිලිකාර ස්වාමීන් වහන්සේට හෝ විත්තිකාර ස්වාමීන්වහන්සේට හෝ යන දෙපාර්ශ්වයට කිසිදු නෛතික අයිතියක් නැති බව මාතර මහාධිකරණය තවුරු කොට තිබේ. ඉන් පැහැදිලි වන්නේ බෞද්ධ විහාර සන්තක දේපළ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට හිමිවිය යුතුය යන්නයි. ඇතැම් විහාරවල අයිතිය සඳහා කතිකාවත් සකසා ඇති නමුත් ඒවාට නෛතික බලයක් විහාර දේවාලගම් පනතින් හෝ වෙනත් රාජ්‍ය නීතියකින් ප්‍රතිපාදන සකසා හෝ නැත. සංඝ සභාවලින් පත් කෙරුනු ඇතැම් විහාරාධිපතිවරුන් අධිකරණයේ නඩු තීන්දු මගින් ඉවත් කොට අධිකරණය මගින් නීත්‍යානුකූල හිමිකාර භික්ෂුවක් එම විහාරාධිපති පදවියට පත්කරන්නේ “දෙයක් වේ නම් සුදුස්සාට අයිති විය යුතුයි” යන ශුද්ධ සර්ව සාධාරණ කියමන සනාථ කරමිනි. මේ සඳහා ලෙනවර රාජ මහා විහාරයේ සොරත හිමිට එරෙහිව විමලඥාන හිමි 2015 නඩුව උදාහරණ ලෙස දැක්විය හැකිය. නඩුවේ අභියාචනා තීන්දුව ද එයම විය.

සංඝාධිකරණයට යම් බලයක් ලබා දෙන්න යැයි ඇතැම් නිකායන් හා පාර්ශ්වයන් කලින් කල ශ්‍රී ලංකාව පාලනය කළ ජනාධිපතිවරුන්ගෙන් හා අග්‍රාමාත්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලීිම් ස්වකීය නිකායවල නිල පුවත් පුවත්පත්වල හා ජාතික පුවත්පත්වල පවා පළ වී තිබේ. එහෙත් එම ඉල්ලීම් වලට අනුව එම කතිකාවත් නීතිගත වී නොමැත. ඉන් පැහැදිලි වන්නේ රටේ මූලික මිනිස් අයිතිවාසිකම් අබිබවා සංඝ සභාවලට තීන්දු තීරණ ගත නොහැකි බවයි. බෞද්ධ විහාරාරාම සතු දේපළ සාංඝික දේවල් වන අතර එහි උරුමකරුවෝ හා භුක්ති විඳින්නෝ බෞද්ධ භික්ෂූන් හා බෞද්ධයෝ යුත්තාහ.

ඒ අනුව බෞද්ධ භික්ෂූන් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අනුවම අයිතිවිය යුතුය යන කතිකාවත් හා සම්ප්‍රදායන් අමතක කොට රටේ පවතින මූලික රාජ්‍ය නීතියද අමතක කොට කටයුතු කරන්නේ නම් ජනතාවගේ ස්වෛරී බලය ව්‍යවස්ථාදායක විධායක අධිකරණ වශයෙන් බෙදා වෙන් කොට පාලනය කරන රටක අධිකරණය සතු විය යුතු අධිකරණ බලය සංඝාධිකරණයට අත්පත්කරදීම යෝග්‍ය නොවන අතර සංඝාධිකරණ වලින් සිදුවන අසාධාරණවලට ලක්වන භික්ෂූන් වෙනුවෙන් පිහිටට අධිකරණය හැර පිහිටට පැමිණෙන්නේ ඉන්ද්‍රාදී දෙවියන්ද? කතිකාවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත් ලෙස සම්මත කොට නොමැති අවස්ථාවක සංඝ සභා විසින් නීතිය ඉදිරියේ වලංගු නොවූ කතිතාවත් ඉදිරිපත් කරමින් නීතිය තමන්ගේ අතට ගැනීමට ක්‍රීයාකිරිම යොග්‍ය නොවේ.

බුදු රජාණන් වහන්සේ ගේ විනය නීති පද්ධතිය දැනට ශ්‍රි ලංකාවේ පවතින සියම්, අමරපුර, රාමඤ්ඤ නිකායත්‍රයටම සමානව ක්‍රීයාත්මක වේ. බුදු රජානන් වහන්සේ ධර්මය හෝ විනය නීති එක් එක් නිකායන් ට වෙන වෙනම පනවා නැත. එම නිසා එක් එක් නිකායන්ට ආවේණික කතිකාවත් කෙටුම් පත් කර ගත හැකිය. එනමුත් එවා නෛතික කෙටුම් පත් බවට පත් නොවේ. මක්නිසාද යත් එවා බුද්ධ නීතිය ඉක්මවා ගිය කෙටුම් පත් නිසාය. එමගින් සංඝ සාමාග්‍රීයට ද හානි පමුණුවනු ලබයි. බුදු රජානන් වහන්සේ සංඝ සාමාග්‍රීය බෙහෙවින්ම අගය කළ ශාස්තෘවරයෙකි. එබැවින් මේ ශාසනික සටහන උතුම් බුදු සසුනේ චිරපැවැත්මට සංවාදයක් වනු දැක්ම මාගේ පරමාභිලාෂයයි.

Comments