කොළඹ සරසවියේ අවනඩුව අසනු මැනවි! | Page 2 | සිළුමිණ

කොළඹ සරසවියේ අවනඩුව අසනු මැනවි!

කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඇති සිසුවියන් හා කාන්තා ශිෂ්‍යාවන් 550 කට පමණ නේවාසික පහසුකම් සපයන නේවාසිකාගාරයක් වන්නේ කොළඹ 2 මුත්තයියා පාරේ පිහිටි නේවාසිකාගාරයයි. 1995 වසරේ සිට අක්කර 2.5 ක භූමි භාගයක පිහිටි මේ භූමිය කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් බවට පත් වී ඇත්තේ සිසුන් විසින් දියත් කළ නේවාසිකාගාර දැවැන්ත අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. රජය සතු වූ මේ භූමිය එතෙක් පරිහරණය කළේ ගංගාරාම විහාරස්ථානයේ බවද වාර්තා වෙයි. ග්‍රාමීය දුෂ්කර පෙදෙස්වලින් පැමිණි අඩු ආදායම්ලාභී දරුවන්ට පමණක් නොව විශේෂ අවශ්‍යතා සිසුන්ගේ පහසුකම් වෙනුවෙන් සකස් වූ මේ මුත්තයියා නේවාසිකාගාරය විශ්වවිද්‍යාලයට ආසන්නයෙන්ම පිහිටි එක් නේවාසිකාගාරයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසික ප්‍රශ්නය බොහෝ දුරට විසදෙන්නේ මෙම නේවාසිකාගාරය ඇතුළු කිහිපයකිනි.

කෙසේ වෙතත් කලා පීඨයේ සිසුවියන් වෙනුවෙන් වූ මෙම නේවාසිකාගාරය හා විශ්වවිද්‍යාල භූමිය තුළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතට යාබදව පිහිටි ග්‍රහලෝකාගාරය අවට ඉඩමද මේ වන විට යම් අභියෝගයකට ලක්ව ඇතැයි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු පිරිසක් චෝදනා කරති. ඔවුන් මතු කරන චෝදනාව වන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර 2.5 ක ඉඩම මේ වන විට නාගරික සංවර්ධන අධිකාරයට පවරා ගැනීමේ සූදානමක් පවතින බවකි. අනෙක් චෝදනාව වන්නේ ග්‍රහලෝකගාරය වටා පිහිටි විශ්විද්‍යාල භූමිය සතු ඉඩම් කුසලතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය විසින් පවරා ගැනීමේ සූදානමක් පවතින බවකි. 

කොළඹ විශ්වවිද්‍යාලය සතු කාන්තා නේවාසිකාගාර අතරින් රත්මලානේ පිහිටි තෙලවල නේවාසිකාගාරය, බුලර්ස් පාරේ පිහිටි නේවාසිකාගාරය හා මෙම මුත්තයියා නේවාසිකාගාරය ප්‍රධානය. පුරුෂ නේවාසිකාගාරයක් ඇත්තේ බොරුල්ල කිත්තයාකරයය. එහෙත් වාර්ෂිකව නේවාසිකාගාර ඉල්ලන ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් තරමේ හෝ පහසුකම් සපයන්නට මේ නේවාසිකාගාර ප්‍රමාණවත් නැතිබව සැලය. 2021 වසරේදි කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවා වසර 100 ක් ගත වන්නේය. මේ වන විට මෙම විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ ඉහළම තලයක පසු වන්නේ ඒ කාලය තුළ ලබා ගෙන තිබූ සාධනීය තත්ත්වය නිසාවෙනි. මෙවන් පසුබිමක් තුළ මෙවැනි පවරා ගැනීම් කරද්දි මෙයට ආදේශයක් ලබා දෙන්නේද, මෙවැනි පවරා ගැනීමක් කරන්නේ කුමක් සඳහාද, මේ සම්බන්ධයෙන් විශ්වවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කුමක් පවසන්නේද , ඉන් විශ්වවිද්‍යාලයේ ගුණාත්මක බවට වන හානිය යන කරුණු පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් නොමැති බව මෙම ආචාර්ය සංගමයේ චෝදනාවය.

“ මුත්තයියා නේවාසිකාගාර ප්‍රශ්නය අලුත් එකක් නෙමේ. මෙය විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක්. 1995 වසරේ සිටම මෙය පරිහරණය කරනවා. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම වැඩි කිරීම රජයේ එක් ප්‍රතිපත්තියක් නම් අපිට ඒ සඳහා දායකත්වය දෙන්න සිදු වෙනවා. එසේනම් ඒ සඳහා භෞතික පහසුකම් වැඩි දියුණු විය යුතුයි. මෙම නේවාසිකාගාරය අලුත්වැඩියා කරන්නේත් විශ්වවිද්‍යාලයේ මුදලින්. විශ්වවිද්‍යාලය තුළ විවිධ සංවර්ධන වැඩ පිළිවෙළ තියෙනවා. මේවා නොතකා තමයි මේ පවරා ගැනීම් කරන්න කටයුතු කරන්නේ. ඒ වගේම කුසලතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය විසින් පවරා ගැනීමට සුදානම් වන ග්‍රහලෝකාගාර ඉඩමේ විශ්වවිද්‍යාලයේ විවිධ සංවර්ධන සැලසුම් දියත් කරමින් සිටිනවා. මෙහි ඉංජිනේරු පීඨයට අවශ්‍ය ඉඩමකුත් තියෙනවා. ඒ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් ය.

ඔවුන් පවසන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නවාතැන් දිය හැකි එකම නේවාසිකාගාරය මෙය වන බවකි. එසේම කලා අංශයේ ඉගෙනුම ලබන බහුතරයක් සිසුවියන් වන අතර ඔවුන්ගේ එකම නවාතැන වන්නේද මෙය වන බවකි. කෙරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට සිසුන් සියල්ල නිවෙස් වලට ගොස් ඇති අවධියක මෙවැනි පවරා ගැනීමක සූදානම සදාචාරයට පටහැනි බව මොවුන්ගේ පිළිගැනීමයි.

මෙම නේවාසිකාගාරය 1995 වසරේ සිසු අයතියට පත්වී ඇත්තේ ඒ වන විට සිදු කළ දිගු නේවාසිකාගාර අරගලයක ප්‍රතිපලයක් වශයෙනි. මේ ඒ අරගලයේ එක් නියමුවරයෙකුගේ අදහසයි. එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුව සිටි 1990 - 1994 වසර දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි කරුණාරත්න පරණවිතාන පවසන්නේ මෙවන් අදහසකි.

“මෙම ඉඩම විශ්වවිද්‍යාලයට පත්වුණේ 1994 වසර අවසානයේදී. ඒ සිසුන් විසින් සිදුකළ දිගු නේවාසිකාගාර අරගලයක ප්‍රතිඵලයක් විදියට. මේ වන විට නේවාසිකාගර ගැටලුව තදින්ම තිබුණා. ඒ වන විට මේ ඉඩම පරිහරණය කරමින් තිබුණේ කොළඹ ගංගාරාම විහාරස්ථානයයි. ඔවුන් කැමැත්තෙන්ම මෙය ලබා දුන්නා. එත් දැන් මෙය වෙනත් ආයෝජයක් කරන මුවාවෙන් පවරා ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඒ වගේම ග්‍රහලෝකාගාරයට යාබද ඉඩම් පවරා ගැනීමේ සූදානමකුත් තියෙනවා. නමුත් මේ වන විට එම අදහස පමණක් ඉවත් කරගෙන තියන බව ආරංචියි. මුත්තයියා නේවාසිකාගාර ඉඩම ගැනීමත් නැවතිය යුතුයි. මෙහි සිසුන් 1000 කට පමණ වුවත් නොවාසිකාගාර ඉදිකරන්න පුළුවන්.

අග නාගරික විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම තත්ත්වය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද ඇය මේ පිළිබඳව මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් ලබා නුදුන්නාය. විශ්වවිද්‍යාල සියල්ල පාලනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද මේ වන විට මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබා දි තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ පිළිබඳව ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා පාරේ පිහිටා ඇති මෙම කාන්තා නේවාසිකාගාරය පිළිබඳව මේ වන විට සමාජයේ නොමඟ යැවෙන සුලු මතයක් ඇතැම් පිරිස් විසින් ගොඩ නඟා ඇති බවකි.

“ මෙම භූමිය 1980 දශකයේ සිට භූ විද්‍යා සමික්ෂණ දෙපාර්තමේන්තුව හා කර්මාන්ත අමාත­්‍යාංශය ස්ථාපිත කර තිබූ ස්ථානයයි. පසුව මේ ඉඩම ඉන් ඉවත් කරගෙන ගංගාරාම විහාරස්ථානය වෙත කාර්මික විද්‍යාලයක් හා පූජා භූමි සංවර්ධන කටයුතු වෙනුවෙන් පැවරීමක් සිදුවිය. ඉන්පසු එවකට පැවැති රජය 1996 වසරේදී ගංගාරාම විහාරයේ අවසරය ඇතිව නේවාසිකාගාරයක් පවත්වා ගෙන යාමට තාවකාලිකව මේ ඉඩම ලබා දී ඇත. මෙම ඉඩම රජය සතුයි. ඒ හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයට මෙහි කිසිදු ඉදිකිරිමක් සිදු කිරීමට නෛතික අවකාශයක් නැත. වර්තමාන රජයේ “ සෞභාග්‍ය දැක්ම“ ප්‍රතිපත්ති රාමුව යටතේ බහුමාන වාණිජ නගර ලෙස සංවර්ධනය කිරීමේදි කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම භූමිය හරිත කලාපයක් හා ආර්ථිකමය වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය තාවකාලිකව පවත්වා ගෙන යන මෙම මුත්තයියා පාරේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවට නව නේවාසිකාගාරයක් ඉඳි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු ඔරුගොඩවත්තේ පිහිටි ඉඩමක් පවරා දීමේ කටයුතු සුදානම් කරමින් පවතියි. එසේම විකල්ප යෝජනාවලියක් ලෙස කලින් ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබූ කොළඹ 7 ජාවත්ත පාරේ පිහිටි ගොඩනැගිල්ල නේවාසිකාගාරයක් ස්ථාපිත කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය වෙත ලබා දීමේ ශක්‍යතාවයද නිරීක්ෂණය කරමින් පවතියි. ඔරුගොඩවත්තේ ඉදි කිරීමට අපේක්ෂිත නේවාසිකාරය ඉදිකිරීමෙන් අනතුරුව අවම වශයෙන් ශිෂ්‍යාවන් 1000 කට නේවාසික පහසුකම් සැපයිය හැකියි. එසේම දැනට නේවාසිකාගාරයේ සිටින ශිෂ්‍යාවන් කොළඹ නගරය තුළ තාවකාලික ගොඩනැගිල්ලක් කුලියට ගෙන ආරක්ෂිත නවාතැන් සඳහා පහසුකම් බලා දීමට කටයුතු කරනු ඇත. “ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ ඉදිරියේදි ශිෂ්‍යයන් වැඩි පිරිසකට නේවාසික පහසකම් සැපයිය හැකි ගොඩනැගිල්ලක් කොළඹ විශ්වවිද්‍යාල අයිතියටම ලබා දෙන බවය. එහි ආරක්ෂාව, පහසුකම් උපරිමයෙන් සිසුන්ට හිමිවන බවය. ඒ අනුව මේ භූමිය කොළඹ නාගරික සංවර්ධන සැලැස්මේ ආර්ථික මධ්‍යස්ථානයක් හා හරිත කලාපයක් ලෙස සංවර්ධනය වනු ඇති බවකි.

Comments