කාදිනල්තුමාට අපහාස නැඟූ කුවේණියගේ අවතාරය | Page 2 | සිළුමිණ

කාදිනල්තුමාට අපහාස නැඟූ කුවේණියගේ අවතාරය

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

විවිධ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර දියත් කිරීම වත්මන් සමාජයට ආගන්තුක වූවක් නොවේ.එවැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන් ඔවුන් සිදු කරන එවැනි අනුචිත ක්‍රියාවන්හි බරක් පතළක් නොදකිති. ඒ බව යළිත් වරක් සනාථ වූයේ පසුගියදා එක්තරා කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කළ අපහාසාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් හේතුවෙනි.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අගදරගුරු හිමිපාණන්ගේ පරිපාලන ලේකම් ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා පැවසුවේ එම කාන්තාව විසින් මුහුණුපොත හරහා සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝ හඬ පටයේ අන්තර්ගතය සාවද්‍ය , පදනම් විරහිත, අපහාසාත්මක සහ ජනතාව නොමඟ යවන සුළු අභූත ප්‍රකාශයක් බවයි. එම තැනැත්තිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු සඳහා තමා අදාළ ආයතන සහ අංශවලට පැමිණිලි බාර දී තිබෙන බවද උන්වහන්සේ එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

ඒ අනුව පසුගිය 19 වැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්විය. ඇය දීප්ති සමන්කුමාරි මදනායක නමැති 43 හැවිරිදි කාන්තාවකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙසේ පැවසීය.

"මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයන් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ජාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් එම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය විසින් මුදා හැර ඇති වීඩියෝව මඟින් යම් ආකාරයකට බෞද්ධ භක්තිකයන් ඒවගේම කිතුනු භක්තියකින් අතර යම් ආගමික වෛරයක් ඇති කිරීමට උත්සාහ දරා ඇති බවට පෙනී ගොස් තිබෙනවා. ආගමික කණ්ඩායම් අතර වෛරය හා සතුරුකම අවුස්සන ප්‍රචාර වැළැක්වීමට අපි නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා වගේම ඒ සඳහා නීතිය බලාත්මක කරනවා”

රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය 19 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය 7 වැනිදා සැකකාරිය විසින් මුහුණුපොත තුළ පවත්වාගෙන යන "තනි මම හෙට වෙනුවෙන්" නම් ගිණුම මඟින් කතෝලික ආගමේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට ද්වේශ සහගත සහ අපහාසාත්මක අයුරින් ප්‍රකාශයක් සමාජගත කර ඇති බවයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තියට යටතේ හා පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇති බව විමර්ශනවලින් අනාවරණය වන බවත් සැකකාරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් ඇයගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට නියෝග කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එහිදී කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න කරුණු දක්වමින් පැවසුවේ කාදිනල්තුමන්ට එරෙහිව කුමන්ත්‍රණකාරී බලවේගයක් තිබේදැයි සැකයක් පැන නැඟෙන බවය. 

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ජාතික මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමටද නියෝග කළේය.

සැකකාරිය වන දීප්ති මදනායක මුහුණු පොතේ පවත්වාගෙන ගිය ගිණුම පරීක්ෂා කර බැලීමේදී අනාවරණය වන්නේ ඇය මීට පෙරද ඒ තුළින් විවිධ පුද්ගලයන්ට අපහාසාත්මක ප්‍රකාශ ඇතුළත් වීඩියෝ හඬපට මුදා හැර තිබෙන බවයි. විටෙක ඇය තමා තමාට ඊෂ්වර දෙවියන්ගේ බලපෑම තිබෙන බවත් තමා කුවේණිය බවත් පවසයි. කලින් කලට එවැනි ප්‍රකාශ කරන පුද්ගලයන් මතුවීම අරුමයක් නොවේ. එහෙත් ආගම් නායකයන් ඈදා ගනිමින් සිදු කරන ප්‍රකාශ සුළුවෙන් තැකිය හැකි ඒවා නොවන්නේ එවැනි ප්‍රකාශ ආගම් අතර ගැටුම් ඇති කරවීමට තරම් බරපතළ ඒවා විය හැකි නිසාය. මීට පෙරද ඇතැම් දේශපාලඥයනට මහානායක ස්වාමින්වහන්සේලා මෙන්ම කාදිනල්තුමන්ද විවේචනය කරමින් විවිධ ප්‍රකාශ සිදු කරනු දක්නට ලැබිණ.

මැල්කම් කාදිනල් රංජිත් හෙවත් ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ යනු නිල වශයෙන් ශ්‍රී ලංකවේ කිතුනුවන්ගේ ආගමික නායකයාය. උන්වහන්සේ මෙරට ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන කොළඹ පදවියේ් අගරදගුරු පදවියද දරනු බයි.

1947 වසරේ නොවැම්බර් 15 වැනිදා පොල්ගහවෙලදී උපන් එතුමාගේ මවුපියන් දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩාය. පවුලේ එකම පිරිමි දරුවා වන එතුමා බොරැල්ල ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයට ඇතුළු වීමෙන් අනතුරුව මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. එවකට කොළඹ අගරදගුරුව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලැබූ මැල්කම් රංජිත් හිමිපාණන් එහිදී පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය. සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි, ජර්මන්, දමිළ, ප්‍රංශ, ඉතාලි, ස්පාඥ්ඤ සහ ඉන්දුසීනියානු භාෂා පිළිබඳ මනා නිපුණත්වයක් ඇති උන්වහන්සේ කෙළෙඹ අගරදගරු පදිවියට පත්වමට පෙර කොළඹ සහායක රදගුරු ලෙස හා රත්නපුර රදගුරු ලෙසද කටයුතු කළහ. උන්වහන්සේ ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්, ඉන්දුනීසියාව සහ නැඟෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ආදී තනතුරුවලද කටයුතු කළහ.

දැනට සිටින එකම ශ්‍රී ලාංකික කාදිනල්වරයා

කතෝලික සභාවේ කාදිනල්වරයකු වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කිතුනුවන්ට වඩාත් සුවිශේෂී වන්නේ උන්වහන්සේ මෙරට දෙවැනි කාදිනල්වරයා මෙන්ම දැනට සිටින එකම ශ්‍රී ලාංකික කාදිනල්වරයා වන නිසාය. පළමු ශ්‍රී ලාංකික කාදිනල්වරයා වන්නේ ස්වර්ගස්ථ තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ය. කාදිනල්වරයකු සතු සුවිශේෂීත්වය වන්නේ දිනක ලෝකයේ කෝටි එකසිය විස්සකට වැඩි කිතුනුවන්ගේ නායකයා වන ශුද්ධෝත්තම පාප්වහන්සේ බවට පත්වීමේ භාග්‍යය හිමිවන්නේ කාදිනල්වරයකුට වන නිසාය. කතෝලික සභාවේ 260 වැනි පාප්වහන්සේ ලෙස කටයුතු කරන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එම ධුරය සඳහා තෝරා පත් ගැනීම වෙනුවෙන් පැවති පාප්වරණයට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද සභගාවී වූහ. ඒ අනුව වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කාදිනල් වරුන් 115 දෙනකු නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් තිස්සේ පස් වතාවක් ඡන්දය පාවිච්චි කර තිබේ. ලෝකයේ අඩුම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වඩාත්ම රහසිගත ඡන්දයකින් සහ ගැඹුරු යාච්ඥාවකින් තෝරා පත් කර ගනු ලබන පාප් පදවියට නිල කාල සීමාවක් නැත. පාප්වහන්සේ කතෝලික සභාවේ නායකයා මෙන්ම ලොව කුඩාම රාජ්‍ය්‍ය වන වතිකානුවේ රාජ්‍ය නායකයා බවටද පත්වේ. එබැවින් රාජ්‍ය නායකයකු සතු නිල බලතල, වරප්‍රසාද සියල්ලම පාප්වහන්සේ සතු වේ.

මෙරට කිතුනු ආගමික ප්‍රතිශතය ජනගහනයෙන් සියයට 7 ක් පමණි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිරන්තරයෙන්ම බෞද්ධාගම ඇතුළු ඇනෙකුත් ආගම් ගරු කටයුතු ලෙස සලකන ආගමික නායකයෙකි. එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පැවති කාලයේ යුද්ධය අතහැර සාමය සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටීමට ප්‍රමුඛපෙලේ එල්. ටී. ඊ නායකයන් හමුවීමට උතුරට ගිය ආගමික නායකයෙකි. මහා නායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය සමඟ ඉතා සුහදව කටයුතු කරන අයකු ලෙසද උන්වහන්සේ ආගම් භේදයකින් තොරව ජනප්‍රසාදය දිනාගෙන ඇත. එම සුහදත්වය විනාශ කර ආගමික ගැටුම් ඇතිකිරීමට ඇතැමුන් දරන නිහීන උත්සාහයන් පරාජය කිරීම බලධාරීන්ගේ වගකීම බව අවධාරණ්‍ය කරමු.

Comments