උලපනේ ‘තරුණ කැරැල්ලක්’ | සිළුමිණ

උලපනේ ‘තරුණ කැරැල්ලක්’

තරුණ සේවා සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස...

විජේවීර ඝාතනය වූ උලපනේ ශාන්ත මේරි වත්ත හා දොළුව අරලිය උයන වත්ත තරුණ සේවා සභාවෙන් අස්වද්දයි වැඩි කතාබහට ලක් නොවූ උලපනේ මෙරට පමණක් නොව ජාත්‍යන්තරය තුළ පවා ප්‍රචලිත වූයේ එක් රැයකිනි. ඒ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර උලපනේ ශාන්ත මේරි වත්තේදී හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟය. ඒ 1989 නොවැබ්බර් මස 12 දිනය. සිය පක්ෂයේ අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම ගලහ අරලිය උයන නිවසේදී එදින අලුයම තෙක් පවත්වා එහි සිට කිලෝ මීටර 20 ක පමණ දුරක පිහිටි ශාන්ත මේරි වත්තට පැමිණ සිටි විජේවීර මහතා එදින පස්වරු 2.00 ට පමණ අත්අඩංගුවට පත්විය. සිය බිරිඳ හා දරුවන් පස්දෙනා සමඟ උලපනේ ශාන්ත මේරි වත්තේ පිහිටි නිවසේ ගතකළ ජවිපෙ නායකයා එහිදී පෙනී සිට ඇත්තේ නිමලසිරි අත්තනායක යන නමිනි.

බාහිර සමාජය හා වැඩිපුර නොගැටුණු අත්තනායකව එම ප්‍රදේශයේ ජනතාව හඳුනාගෙන තිබුණේ වෘත්තිය වැවිලිකරුවකු ලෙසිනි. බණ්ඩාර‍ෙවල සිට උලපනේට පැමිණ වසරක පමණ කාලයක් තුළ අත්තනායක යනු වෙන කිසිවකු නොව රෝහණ විජේවීරම බව හඳුනාගත් රජයේ ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන පසු දිනම මරා දමනු ලැබීය. විජේවීර අත්අඩංගුවට පත්වන විට විසූ උලපනේ ශාන්ත මේරි වත්ත හා නිවසත් අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වන ලද දොළුව අරලිය උයන වත්ත සහ නිවසත් රාජසන්තක කරනු ලැබීය. පසුව 1997 පෙබරවාරී මස 07 දින ජාතික තරුණ සේවා සුබ සාධක අරමුදල වෙත එම නිවාස හා ඉඩම් පවරා දෙනු ලැබුවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයන් විසිනි.

උලපනේ ශාන්ත මේරි වත්ත පිහිටි නිවස හා ඉඩම කේන්ද්‍රකර ගනිමින් ජාතික තරුණ සේවා සභාව මගින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළත් දොළුව අරලිය උයන වත්ත ලෙසින් හැඳින්වූ අක්කර 10 ක පමණ භූමියේ විධිමත් වැඩසටහනක් මෙතෙක් ක්‍රියාත්මක වී නොතිබිණි. මෙයට දෙවසරකට පමණ ඉහතදී මෙම භූමියේ අක්කර දෙකක පමණ කොටසක් එළිපෙහෙළි කර වගා කටයුතු කර තිබුණු අතර ඉඩමේ ඉතිරි අක්කර අටක පමණ ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම නිසා පැවතියේ වල් බිහිව ඝන කැලෑවක තත්ත්වයෙනි. මෙම භූමිය එළිපෙහෙළි කොට ගොවිපොළක් බවට පත් කිරීමට තරුණ සේවා සභාපති අධ්‍යක්ෂ ජනරාල් තේසාර ජයසිංහගේ උපදෙස් මත දොළුව තරුණ සේවා සභා ස්ථානභාර නලධාරිනි රම්‍යා කුමාරි පියවර ගත්තේ මේ අතරතුරය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යය දැක්ම වැඩසටහනට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ මඟ පෙන්වීමෙන් තරුණ සේවා සභාවට අයත් සෑම භූමියක්ම ආර්ථික කෘෂි බෝග වගාවන් සහිත ගොවිපොළක් බවට පත් කිරීමේ වැඩසටහන අනුව යමිනි. 

මෙයට තිස් එක් වසරකට පෙර උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ ඇතුළු දේශපාලන මණ්ඩල සාමාජිකයින් රෝහණ විජේවීරයන් සමඟ අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වූ භූමිය අපනයන කෘෂි බෝග වලින් හා අන්තර්කාලීන බෝග වගාවන් ගෙන් පොහොසත් කර එම මුඩු බිම රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් එක්කරන තෝතැන්නක් කිරීමේ වගකීම කරට ගනු ලැබුවේ රම්‍යා කුමාරි ය. වගා වැඩපිළිවෙළ සම්බන්ධව ඇය මෙසේ අදහස් දැක්වීය.

‘මේ ඉඩම ඝන කැලෑවක් විදිහට තිබ්බේ. දොළුව තරුණ සේවා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හා තරුණ තරුණයන් එක්ව මේ කැලෑව ශුද්ධ කළා. කිසිම යන්ත්‍ර උපකරණයක් නැතුව මේක කළේ. අක්කර දෙකක පමණ ප්‍රදේශයක අපි ගම්මිරිස් පැළ 650 ක් හිටෙව්වා. අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් මේ පැළ සියල්ල අපට නොමිලේ ලබා දුන්නා. ඉදිරියේදී තවත් ගම්මිරිස් පැළ 350 ක් සිටුවීමට සැළසුම්කර තිබෙනවා. අපේ මධ්‍යසථානයේ කාර්ය මණ්ඩලයේත් පුහුණුව සියලුම දරුවන්ගේ ශ්‍රමය මේ පිටුපස තිබෙනවා. ගොවිපොළ බාරව කටයුතු කරන චාමර හා රුවන් දෙදෙනාත් ආරක්ෂක අංශයේ නිලධාරීනුත් කළ සේවය අති විශාලයි. ඒ වගේම දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න, තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක අජන්ත විජේතිලික, අපනයන කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ කලමණාකාර විජිත සම්පත්, දොළුව තරුණ සේවා නිලධාරී චාමර රුවන් යන මහත්ම මහත්මීන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා‘

ගම්මිරිස් වගා භූමිය කෘෂි පාඨමාලා හදාරන්නන්ට ආදර්ශකයක් ලෙස ගොඩනැගීමට නියමිත අතර ඊට අවශ්‍ය පූර්ණ තාක්ෂණ උපදෙස් ලබා දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගිනි. භූමියේ ඉතිරි කොටසද ගොවි බිමක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට තරුණ සේවා සභාව සැළසුම්කර තිබේ. රජයේ අපේක්ෂාව වී තිබෙන්නේ මුඩුබිම් බවට පත්ව ඇති භූමි ප්‍රදේශ මෙන්ම තරුණ සේවා සභාවට අයත් සියලු භූමි ප්‍රදේශවල තරුණ කොටස් සහභාගීත්වයෙන් ආර්ථික බෝග වගා කොට ඒ හරහා තරුණ කොටස් කෘෂිකර්මාන්තය වෙත නැවතත් ආසක්ත කරගැනීම මෙන්ම කෘෂිකර්ම ව්‍යාපාරික හා කෘෂිකර්ම ව්‍යවසායක තරුණ පරපුරක් බිහිකොට ඔවුනට නවීන හා වාණිජ කෘෂිකර්මය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීමත් එම ආර්ථික බෝග සඳහා නිසි වෙළෙඳපොළක් ලබා දීමත්ය.

ඒ සඳහා ශක්තියක් වෙමින් තරුණ සේවා සභාව ආරම්භ කර තිබෙන මෙම වගා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති, අධ්‍යක්ෂ ජනරාල් තෙසාර ජයසිංහ මෙසේ පැවසුවේය.

‘මව්බිම පුරා ඇති සෑම බිම් අඟලක්ම රටේ උන්නතිය උදෙසා යොදවන්න ඕන. වගා කළ හැකි ඒත් වගා නොකළ තැන් බොහොමයක් අපේ රටේ තිබෙනවා. මේත් ඒ වගේ තැනක්. අපේ බලාපොරොත්තුව මේ කැලෑ වැදී තිබෙන භූමිය ගොවි බිමක් බවට පත්කරන්නයි. කෘෂි සංචාරක කලාපයක් බවට මේ ප්‍රදේශය පත් කිරීම අපේ බලාපොරොත්තුවයි. නව තාක්ෂණය ඔස්සේ හරිතාගාර ක්‍රමෝපායන් මේ බිමට හඳුන්වා දෙනවා. අපනයන කෘෂිබෝග වන කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා, පුවක්, බුලත්, ඉඟුරු, කහ, වැනිලා, සේර, බෙල් පෙපර් වැනි බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මෙමඟින් උපයන මුදල් තරුණ සේවා සභාවට නොව කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සහභාගීවන තරුණ පිරිසට හා තරුණ සේවා කොට්ඨාස කාර්යාල වෙතම ලැබීමට සලස්වා මෙම කටයුතු තව තවත් ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිතුමන්ගේ මෙන්ම තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ගේ ද බලාපොරොත්තුවයි. මෙම ආර්ථික කෘෂි වැඩසටහන් සඳහා ජපානයේ සහ කොරියාවේ තාක්ෂණික දැනුම හා ආධාර ලබා ගැනීමට අප සැලසුම්කර තිබෙනවා‘

මෙයට තිස් වසරකට පෙර දොළුව අරලිය උයන වත්ත තුළ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ ඉදිරි පෙළ නායකයන් සැලසුම් කළේ රටේ පාලන බලය අල්ලා ගැනීම සඳහා තරුණයින් පෙළ ගස්වන්නටය. එවකට බලයේ සිට එජාප ආණ්ඩුව එම තරුණ කැරැල්ල මර්දනය කරනු ලැබුවේ දහස් ගණනයක් තරුණ ජීවිත ටයර් සෑ වල පුළුස්සා දමමිනි. රෝහණ විජේවීර ඝාතනය වීමත් සමඟ උලපනේ ශාන්ත මේරි වත්ත හා දොළුව අරලිය උයන වත්ත තරුණ සේවා සභාව යටතට පවරා දෙනු ලැබීය. දැන් එහි යළිත් තරුණ කැරැල්ලක් ආරම්භ වී තිබේ. ඒ අවුරුදු ගණනාවක් වල්වැදී තිබූ අක්කර 10 ක භූමි ප්‍රමාණය ගොවි බිමක් කිරීමටය.

Comments