ඇඟැ­ලුම් ක්ෂේත්‍රයේ හෙට දවස | Page 2 | සිළුමිණ

ඇඟැ­ලුම් ක්ෂේත්‍රයේ හෙට දවස

කෝවිඩ් - 19 වසංගතය මේ වනවිට රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එකිනෙකාට අත දිගු කරගනිමින් මෙහි සුල මුල සම්බන්ධයෙන් නොයෙක් පිරිස් අර්ථකථන කරමින් සිටිති. මේ කටකතාවල සත්‍ය අසත්‍යතාව කෙසේවෙතත් මේ වන විට රට පුරා බොහෝ දිස්ත්‍රික්කවල රෝගීන් හමුවී ඇති අතර රටේ බොහෝ ස්ථානවලින් ආසාදිතයන් වාර්තාවන තත්ත්වයක් ඇතිවීම තුළ නැවත මේ වසංගතය පැතිරයාමේ භීතිය ජනතාව තුළ මතුවී තිබේ.

ඇඟැලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිත සේවකයන් මෙයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. පසුගිය කාලය පුරා ඇද වැටුණු ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට සැරසීමත් සමඟ මේ වසංගතය පැතිරීම නිසා සංචාරක ව්‍යාපාරය සහ විදේශ ව්‍යවසායකයින්ගෙන් ලැබෙන විනිමය සියල්ල අහිමි වී යාමත් සමඟ නැවත ඇඟැලුම් ක්ෂේත්‍රය ගොඩ නැගීමට යත්න දරන අවස්ථාවක මේ ව්‍යසනය සිදුවීය.

මේ තත්ත්වය රටක් ලෙස දරා ගත නොහැකි විශාල පාඩුවකි. මේ පැතිර යන කෝවිඩ් - 19 රැල්ලත් සමඟ ඉදිරියේදී බරපතළ ආර්ථික පීඩාවකට පත් වීමට ඉඩ නොතැබිය යුතුය. ඒ වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍යය.

අවදානම ඇති ප්‍රදේශවල කර්මාන්තශාලා විශාල සංඛාවක් වසා දමා ඇත. සේවකයන්ට නිසි ආකාරයෙන් අයිතීන් ලබා දුන්නේද යන්න පිළිබඳවද ඇතැමුන් අතර මතයක් පවතී. එසේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළා නම් සේවකයන් මෙසේ අනතුරට පත් නොවන බව ඇතැම්හු පවසති. ජන ජීවිතය කඩා වට්ටමින් දියුණු රටවල පවා ආර්ථිකය බිමට සමතලා කරමින් මේ වසංගතය පැතිර යද්දී රටක් ලෙස අපි තවමත් නැඟී සිටින්නෙමු.

රටේ ජීවනාලියක් බඳු ඇඟැලුම් කර්මාන්තය රැක ගැනීම අප කාගේත් යුතුකමකි.

විසඳුම සාමූහිකව සෙවිය යුතුයි

ඇඟලුම් කර්මාන්තයක් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන්නේ ‘ටේලර් ෂොප්‘ විතරයි. ඇඟලුම් කර්මාන්තයක් නම් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය සියලු දේ ලංකාවේ නිෂ්පාදනය කරන්නට අවශ්‍යයි. එහෙම කරන කර්මාන්තයක් ලංකාවේ නැති නිසා තමයි කෝවිඩ් - 19 ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට දරුණු ආකාරයට බලපෑම් කළේ. සියලු අමුද්‍රව්‍ය අපි පිටරටින් ආනයනය කරන නිසා සැපැයුම්දාමය තමයි දෙදරා ගියේ.

ඒ නිසා ඇඟලුම් කර්මාන්තයට මෙය දරුණු ලෙස බලපෑම් කළා. කෝවිඩ් - 19 නිසා ඇඟලුම් කර්මාන්තයට බරපතළ පාඩුවක් සිදුවෙනවා කියලා. ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ සංසදය සහ ඊට අදාළ ආයතන දිගින් දිගටම මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ වගේම ඒ අය කියා සිටියා ලක්ෂ පහක් වන ඇඟලුම් සේවිකාවන්ගෙන් ලක්ෂ තුනක් සේවයෙන් ඉවත් කරන්නට වෙන බව අපි සොයා බැලූවිට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද සමීක්ෂණයක් අනුව 2019 සංඛ්‍යා ලේඛන සහ 2020 මැයි, ජූනි, ජූලි, අගෝස්තු සැප්තැම්බර් අපනයනය කරන ලද ඇඟලුම් වටිනාකම සහ 2019 ඇඟලුම්වල වටිනාකමයි සංසන්දනය කරද්දි එහි ලොකු වෙනසක් නැහැ.

වැදගත්ම දේ තමයි 2019 සිටි සේවක සංඛ්‍යාවට වඩා අඩු සේවක සංඛ්‍යාවක් තමයි 2020 නිෂ්පාදන කරල තියෙන්නේ. ඒ අනුව අඩු පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් ලබාගෙන ඇති නිසා මෙය ඇඟලුම් නිෂ්පාදනයට ආශිර්වාදයක් බවට පත්වෙලා තියෙනවා. අනෙක් පැත්තේන් බලන විට සේවකයන්ට තමයි මෙහි උපරිම හානිය සිදුවුණේ. සේවකයන් විශාල සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කරලා තියනවා නිල නොවන ආකාරයට. එමෙන් ම වැඩකරන සේවකයන් කර්මාන්තශාලාවල සේවකයන්ගේ අප්‍රේල් මාසයේ ප්‍රසාද දීමනාව ඉවත් කර තියෙනවා. දවස් දහයයි වැඩ නොකර සිටියේ නමුත් ඒ අයගේ ප්‍රසාද දීමනාව කපා හැර තියෙනවා. එමෙන්ම සේවකයන්ට දුන්න ප්‍රවාහන පහසුකම් ඉවත් කර තියෙනවා. සේවකයන්ට දුන්න පැමිණීමේ දීමනාව නවතා තිබෙනවා. ඇත්ත වශයෙන්ම බරපතළ හානියක් කර්මාන්තශාලා හිමියන්ට ඇතිවෙන්නෙ නැහැ.

ඉදිරියේදී මේ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීමේ තත්ත්වයකට පත් වෙන්නෙ නැහැ. එය තීරණය වන්නේ අපි කොතරම් දුරට සාර්ථක වෙලා තියෙන අලුත් තත්ත්වය සමනය කරගන්න අපි සමර්ථ වෙනවාද කියන කාරණාව මතයි. එය ඉක්මනින්ම සමනය කරගැනීමට ගත යුතු පියවර වහා වහා ගත යුතුයි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ වූ සිදුවීම නිසා ඇඟලුම් කර්මාන්තයටම ලොකු කැළලක් වුණා. ඒ කැළල මැකීමට කටයුතු කළ යුතුයි.

ඒ අයට ඇතිවන චෝදනා කිසිදු සැකයකින් තොරව නිර්දෝෂීභාවය සනාථ කළ යුතුයි. මේ සමාගම පමණක් නොවෙයි එවැනි තත්ත්වයක් ඇඟලුම් කර්මාන්තයේම ඇති නොවීමට අනෙකුත් කර්මාන්ත ශාලා කටයුතු කළ යුතුයි. ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් තියෙනවා ඒ කර්මාන්තශාලා එකක්වත් සාමුහික ගිවිසුමක් ඇති කරගෙන නැහැ වෘත්තිය සමිති සමඟ. මේ අය වෘත්තීය සමිති හදන්න දෙන්නේ නැහැ. ප්‍රධාන පෙලේ ඇගැලුම් සපයන්නන් ලෙස ඉන්නේ ඉතා සුළු ආයතන ප්‍රමාණයක් පමණයි. නමුත් ඒ එකකවත් වෘත්තිය සමිති නැහැ.

දැන් ඇතිව තිබෙන තත්ත්වයට විසඳුම් සොයන්න ආණ්ඩුවට හෝ හාම්පුතුන්ට හෝ වෘත්තිය සමිතිවලට හෝ තනිවම හැකියාවක් නැහැ. අපි තුන්ගොල්ලොම එකතු වෙලා මේ තත්ත්වයට මුහුණ දීම කළ යුතු සාමූහික කටයුත්තක්.

 

යැපෙන මානසිකත්වයෙන් ඉදිරියේදී මිදිය යුතුයි

 

කෝවිඩ් - 19 හරහා අභියෝගයට ලක් වී ඇති ප්‍රධාන ආර්ථික සාධක දෙකක් වෙනවා. එකක් සංචාරක ක්ෂේත්‍රය, අනෙක ඇඟලුම් ක්ෂේත්‍රයයි. යුරෝපීය රටවල් සඳහායි අපි ඇඟලුම් නිෂ්පාදනය කරනු ලබන්නේ. ඒ රටවල්වල සිදුවී ඇති ආර්ථික තත්ත්වය අනුව ජීවිතය ගෙනයාමේ ප්‍රශ්නය මිසක ඇදුම් පැළඳුම් විලාසිතා පිළිබඳව අවධානය යොමු කරන්න බැහැ.

ඇඟැලුම් සම්බන්ධයෙන් අවධානය අඩුවෙලා තියෙනවා. එක් එක් භාණ්ඩ සපයන සංනාමයන්ගේ ඇණවුම් ප්‍රමාණය සීමා වෙලා තියෙනවා.

මාර්තු, අප්‍රේල් මාසයේ සිට ඇඟලුම් කර්මාන්තයේ ගැටලුවක් ඇතිවෙලා. ඒ නිසා අසතුටුදායක තත්ත්වක් දැනට පවතින්නේ.

හෙට දවස ගැන කියන්න බැහැ. දැනට තියෙන්නේ අවිනිශ්චිතභාවයක්. නමුත් අපි අසුබ ආකාරයෙන් සිතන්නට අවශ්‍ය නැහැ.

අපි තිස්වසරක් පුරා යුද්ධයක් සමඟ ජීවත් වූ පිරිසක්. ඒ නිසා අපිට අභියෝග හුරුයි.

ජපානය, චීනය වගේ රටවල් කෝවිඩ් - 19 සමඟ ජීවත්වීමට හුරුවෙලා තියෙනවා. අපේ රටෙත් මැලේරියාව තිබුණා. දැනට ඩෙංගු තියනවා. ඒ වගේම කෝවිඩ් - 19 තියෙනවා.. අපිට කළ හැකි වන්නේ ප්‍රවේශම්කාරිව ඉන්න එක පමණයි.

මේවා පිළිබඳව වසන් කරමින් කටයුතු කරන්නට ගියොත් තවත් උග්‍ර අතට හැරෙන එකයි වෙන්නේ.

විවෘතව අපේ පැත්තෙන් ගත යුතු ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි.

මේ තත්ත්වය යටතේ යටතේ අපි ජීවත්වීමට හුරුවිය යුතුයි. අපිට රටක් ලෙස ඇඟලුම් කර්මාන්තයට යම් අවදානමක් තියනවා. මෙහි වගකීම ඇත්තේ රජයටයි. ආණ්ඩුව ජනතාවට දුන් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය අනුවයි ජනතාව ක්‍රියා කරන්නේ .

එක් එක් ආණ්ඩු එක් එක් ආර්ථික ප්‍රතිපත්ති ගැන කිව්වා. සංචාරක කර්මාන්ත ගැන කිව්වා, ඉන් පස්සේ ඇඟලුම් කර්මාන්තයෙන් දියුණු වෙන්න පුළුවන් කිව්වා.

මේ නිසා රටේ තාරුණ්‍ය මැෂින් එකකට යට වුණා. මේ කිසි තැනක අපිට නැඟී සිටින්නට පුළුවන්ද කියන ගැටලුව තියනවා.

තරුණ පිරිසට යම්කිසි ජාතික ප්‍රතිපත්තියක් මාර්ගෝපදේශයක් අත්වැලක් පෙන්විය යුතුයි . ඇඟලුම් කර්මාන්තයෙන් දියුණු වෙන්නට හෝ ඒ මත යැපෙන මානසිකත්වයට අපි වැටෙන්නට අවශ්‍ය නැහැ. ඒ මානසිකත්වයෙන් ඉදිරියේදී අපි මිදිය යුතුයි.

 

ලොකුම අර්බුදය අමු ද්‍රව්‍ය ගෙන්වා ගැනීමයි

පොදුවේ මම මේ කාරණාව දකින්නේ ඇඟලුම් කර්මාන්තය රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙසයි. එය ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. රජය ඇගලුම් කර්මාන්තයේදී නියැළෙන ව්‍යාපාරිකයන්ට විශාල සහන ලබා දීලා මේ කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරනවා.

කෝවිඩ් - 19 නිසා මුහුණ දෙන ලොකුම අර්බුදය වන්නේ අමු ද්‍රව්‍ය ගෙන්වා ගැනීමයි. අනෙක් කාරණාව ඒ කර්මාන්තවල යෙදිලා ඉන්න සේවක සම්පත ආරක්ෂා කරගත යුතුයි. මේ තත්ත්වයත් අනුව ආණ්ඩුව මීට වඩා මැදිහත් වෙන්න අවශ්‍යයි. කෝවිඩ් - 19 තත්ත්වයත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්තශාලා වැසී තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය හරහා විශාල කර්මාන්ත ශාලා ප්‍රමාණයක් කේන්ද්‍ර ගත වී තියෙනවා.

කෝවිඩ් - 19 හරහා මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්නට ඒ ආයතනවල වැඩ කරන සේවකයන්ගේ අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳ සොයා බැලීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. ඒ පිරිස්වලට ආහාර පාන පවා අහිමි වන තත්ත්වයක් ඇති වුණා. රටේ ශ්‍රම බලකාය අනිවාර්යෙන් ආරක්ෂා විය යුතුයි.

මහ පරිමාණ ව්‍යාපාරකයන් ගැටලු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් රජය විසින් යමක් කළ යුතුයි. කෝවිඩ් -19 හරහා ඇඟලුම් කර්මාන්තශාලාවලට කෝටා ලැබෙන්නේ නැහැ. ඒ නිසා සේවකයන් කප්පාදුව සිදුවෙනවා. රැකියා වියුක්තියක් ඇතිවීම ඉදිරියේදී සිදුවිය හැකියි. ඇඟලුම් කර්මාන්ත සහ කෝවිඩ් - 19 හරහා ඇතිවන බලපෑම සම්බන්ධයෙන් යම් කොමිසමක් හෝ පත් කළයුතුයි. සේවක - සේව්‍ය පාර්ශ්ව ආණ්ඩුව වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් ඒකාබද්ධව විසඳුම් සෙවිය යුතුයි.

ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දියයුතුයි පළමු වැනි වතාවේදී සංචාරක ව්‍යාපාර විදෙස් ව්‍යවසායකයන් ආයෝජකයන් සියල්ලට විදේශ විනිමය ලැබෙන මාර්ගවලට පහර වැදුණා. මෙවර ඇඟැලුම් ක්ෂේත්‍රයට පහර වැදීම ඉතාමත් අහිත කරයි. ගැඹුරින් බලා මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. හෙට දවසේ අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකියි. ඉදිරියේදී මේ කර්මාන්තශාලා ආශ්‍රිත විශාල පිරිසක් ඉන්නවා.

මේ රෝගය වැළඳීමට ඉඩ කඩ වැඩියි. කර්මාන්තශාලා වසා දැමීම තුළ පාඩුව අතිවිශාලයි. ඇතැම් ආයතනවලට දරාගැනීමට නොහැකි තත්ත්වයක්. මේ කොවිඩ් රැල්ල සමඟ ඇඟලුම් කර්මාන්තයට අතිවිශාල පාඩුවක් සිදුවෙනවා. ව්‍යාපාරිකයන්ගේ පාර්ශ්වයෙන් සහ සේවකයන්ගේ පාර්ශ්වයෙන් විමර්ශනය කරලා මේ සඳහා නුදුරේදී විෂ්ලේෂණාත්මක පිළිතුරු සෙවිය යුතුයි. රජයත් මැදිහත්විය යුතුයි. රටක් ලෙස සියලු පාර්ශ්ව එකතු වී කඩිනම් විසඳුමක් සෙවිය යුතුයි.

 

 

අපේ ආකල්පවල වෙනසක් ඇතිකර ගත යුතුයි

ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන දායකත්වය දක්වන්නේ වැටුප් ආර්ථිකය පද්ධතියට එකතු වීම තුළ. එහෙම තත්ත්වයක් මත කෝවිඩ් - 19 ව්‍යාප්තියත් සමඟ එය වඩා අර්බුදකාරි තත්ත්වයකට යනවා. ඇත්තටම මෙය වළක්වාගත යුතු දෙයක්. අපි දන්නවා පසුගිය කාලයේ කෝවිඩ් - 19 පාලන තත්ත්වයක පැවැතියා.

ඇඟැලුම් කම්හල හරහා පැමිණි මේ පොකුර සම්බන්ධයෙන් තවම පැහැදිලි තත්ත්වයක් නැහැ. විවිධ කටකතා පමණයි තියෙන්නේ. ආර්ථිකය දුවවන්න මේ ක්ෂේත්‍රය අවශ්‍යයි. ඇතැමුන් කියන ආකාරයට පිටින් කණ්ඩායමක් පැමිණියේ නම් ඒ කණ්ඩායම යම්කිසි නිරෝධායන පිළිවෙත් මග හැර තියනවා නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. රජය නිවැරැදි නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීම සම්බන්ධයෙන් සහතික වෙනවා. ඒ අතරවාරයේ මේ පිරිස්වලට යම් කිසි ආකාරයට එය මඟ හැරී ඇත්නම් එහෙම වුණේ ඇයි කියලා අපි සෙවිය යුතුයි. බරපතළ අර්බුදයකට ඇඟලුම් සේවිකාවන් පමණක් නොවේ මුළුරටම පත්වෙලා තියනවා. විදුහල්පතිවරුන්ගේ කැපවීමෙන් තමයි විභාග පවත්වන්නේ. ඔවුන් මේ කටයුතු කරන්නේ අනතුර දරාගෙන. මේ තත්ත්වය මත මානසිකත්වය කඩාවැටීම සුළු පටු නැහැ . මෙතැන තියෙන භයානක තත්ත්වය මේ ආසාදනයට ලක්වෙලා තියන පිරිස සමාජයට වරදක් කරලා වගේ ජනතාව ඒ අය දෙස බැලීමයි. එය අපි කරන වරදක්. බොහෝ වෙලාවට කම්කරු සහෝදරයො රෝග වාහකයෝ ලෙසින් රටට වරදක් කරන්නේ කියලා ඇතැමුන් කියනවා.

මේ ආකාරයට ගියොත් ඇඟලුම් ක්ෂේත්‍රයට යොමු වෙන අය අඩුවීමක් සිදුවෙනවා . ඒ පැතිරීම වෙන්නේ ස්වභාවයෙන් මේ හරහා ඇඟලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත පිරිසට බියක් මතු වෙලා තියනවා. මේ අයට විශ්වාසනීයත්වය තහවුරු කළ යුතුයි. ආසාදිතයන් පිළිබදව ඇති ආකල්ප වෙනස් කරන්නට අවශ්‍යයි. එසේ නොවුණහොත් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා. ඇඟලුම් කර්මාන්තශාලාවල ඉදිරිය සම්බන්ධයෙන් දෘෂ්ටිමය වෙනස්කමක් නොවුණහොත් කර්මාන්තය කඩා වැටෙනවා. කම්කරු අයිතීන් කොයිතරම් දුරට කප්පාදු වෙලා තියනවාද කියන කාරණාව අපිට මෙහිදි දක්නට ලැබෙනවා. බොහෝ තැන්වල ඍජුව නැතුව වක්‍රාකාරයෙන් සේවකයන් සේවයට යොදවා ඇති තත්ත්වයක් තුළ වක්‍රාකාර කප්පාදුවට ලක් කරනවා. අපි දුටුවා සේවකයන්ට වෙලා තියෙන අසාධාරණකම්. දැනට මේ සේවකයන්ට වෙලා තියන අසාධාරණය අනාගතයේ දී ඇඟලුම් කම්හල් සේවකයන්ට සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. කෝවිඩ් -19න් එළිදරව් වෙලා තියන මේ සත්‍ය සෙවිය යුතුයි. මෙහිදි පාලකයන්ගේ පැත්ත නොව සේවකයන් කෙරෙහි අවධානය යොමුකර කම්කරු අමාත්‍යාංශය හරහා මේ සේවකයන් වෙනුවෙන් මැදිහත්ව කටයුතු කළ යුතුයි. එසේ නොමැතිනම් ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා.

 

 

ආණ්ඩුවේ අවධානය මදි

ඇඟලුම් කර්මාන්තය පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් අර්බුදයට ලක්වෙලා තියෙනවා. මේ වෙන විට නිදහස් වෙළෙඳ කලාපයේ සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් වහලා දාලා තියෙන්නේ. ඊට බාහිරිනුත් ආයතන කිහිපයක් වහලා දාලා තියනවා. පෞද්ගලිකව ඒ අය පීසීආර් පරීක්ෂණත් සිදු කරනු ලබනවා. ආණ්ඩුව මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

මේ පෞද්ගලික රෝහල් නියම කළේ ඇයි? මෙය ජාවාරමක් කරගන්න මේ අය උත්සාහ කරන්නේ. කටුනායක වැඩ කරන සේවකයන් සහ අනෙක් ආයතනවල සේවකයන් එක බෝඩිමක ඉන්නවා. ආපහු මේ අය වැඩට ගියාම රෝගය පැතිරීම ගැන අපිට කියන්න පුළුවන්ද? ආණ්ඩුව මේ සඳහා මඟ පෙන්වීමක් කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියාව නැතිවෙනවා. අපි ආණ්ඩුවට මේ සඳහා මඟ පෙන්වීම් දහයක් නිකුත් කරලා තියනවා. මෙහෙම ගියොත් ආයතන වහන්න වෙයි. අපි මේ යෝජනා ගෙන ආවේ ඒ නිසයි. ඒ අනුව අවධානය පහව යන තෙක් පෞද්ගලික අංශයේ ආයතනවල නිෂ්පාදන හා සේවා කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කිරීම හා ඒවා අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සේවායෝජකයා ඇති කළ යුතු බවට දැනුම දීම, යම් අවදානමකට ලක්ව ඇති ආයතනයක් වන්නේ නම් එහි සියලු කාර්යය මණ්ඩල පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීම හා නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යොමු කිරීම, රෝගින් හඳුනා ගතහොත් එම ආයතන වසා දමා සෞඛ්‍ය නිර්දේශ අනුව විෂබීජහරණය හා නිරෝධායනයට යොමු කිරීම, සිදු කළ යුතුයි. එමෙන්ම කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දමන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දීම, කෝවිඩ් 19 නිසා වසා දැමීමට ගත් අර්ධ ලෙස නිෂ්පාදනය සේවා කටයුතු සිදු කරන ආයතනවලට පැන නගින මුල්‍ය දුෂ්කරතා සඳහා රජය විසින් සහන කොන්දෙසි යටතේ පහසුකම් සැපයීම කෝවිඩ් - 19 තත්ත්වය නිසා පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස වසා දමන ආයතනවල සේවකයන්ට එම කාලය ආයතනය විසින් ලබාදෙන නිවාඩු ලෙස ලබා දීමට අවශ්‍ය මඟ පෙන්වීම, අර්ධ ලෙස සේවා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවකයන්ටත් එම පවුල්වල සාමාජිකයන්ටත් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, මුඛ ආවරණ විෂබීජනාශක ප්‍රමාණවත් පරිදි ලබාදීමට උපදෙස් දීම, නිරෝධයන ක්‍රියාවලියට භාජන වන ආයතන හා සේවකයින් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාව යටතේ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කිරීමට සැලැස්වීම හා ආහාර ද්‍රව්‍ය ලබා දීම, අවශ්‍ය උපදෙස් ලබාදීම, පෞද්ගලික අංශයේ සේවකයින් නිෂ්පාදන සේවා ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ නම් ඔවුන්ට පෞද්ගලික හෝ ආයතනික ප්‍රවාහන ක්‍රමවේදයකට ගෙන්වා ගැනීම හා නිවෙස් වෙත යැවීමට අවශ්‍ය පහසුකම් සැපයීම. මේ කරුණු අනිවාර්යෙන්ම ඉටු කළ යුතු වෙනවා.

 

සියලු දෙනාම ආරක්ෂා සහිතව කටයුතු කළ යුතුයි

ඇඟලුම් කර්මාන්තය පමණක් නොවෙයි සමස්ත වැඩකරන කර්මාන්ත ශ්‍රමිකයන්ට ආයතනවල පිරිස්වලට කෝවිඩ් - 19 වසංගතය බලපා තියනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න සියලු දෙනා තම ආරක්ෂාව සහිතව කටයුතු කළ යුතුයි.

වෙනත් සේවාවන් වගේ ඇඟැලුම් ක්ෂේත්‍රය නිවසේ රැදී සිට කළහැකි කාර්යයක් නොවෙයි. ඒ නිසා ඒ අයගේ සේවය ආරක්ෂිතව ලබා ගත යුතුයි.

ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ සේවා ලබා ගැනීමට වග බලාගත යුතුයි. ආයතනවල වගකීමක් තමයි උපරිම ආරක්ෂාව ලබාදීම. වෙනදාට වඩා සෞඛ්‍ය උපදෙස් අනුව සේවය ලබා දීම කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ඇතුළත විශාල සේවක පිරිසක් මේ තර්ජනයට මුහුණ පා සිටිනවා. රටක් ලෙස අපි මේ අවස්ථාවේ ඒ දෙස පැහැදිලි මනසින් යුතුව බැලිය යුතුයි.

විශේෂයෙන්ම මේ ආයතනවලට පුහුණු වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දිය යුතුයි. එවැනි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ දී ඇති අවදානම අපි දැන් අත් විදිනවා.

මේ වන විට සංචාරක කර්මාන්තය, විදෙස් ව්‍යවසායක මුදල් සියල්ල ඇන හිට ඇති අවස්ථාවක,

අපි ජනතාවගේ පැත්ත මෙන්ම රටක් ලෙස හෙට දිනයේ නැඟී සිටින්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

අපි අනිවාර්යෙන්ම ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යන්න ඕන. ඇඟලුම් කර්මාන්තය කඩා වැටීමකට ලක්නොවී පවත්වා ගැනීමට අපි වග බලා ගත යුතුයි.

අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබන කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තය රැකගැනීම සියලු පාර්ශවයන්ගේ වගකිමක්. රාජ්‍ය පෞද්ගලික දෙපාර්ශවයටම රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම මේ වන විට පවතිනවා.

Comments