දහසක් පැතුම් පොදි බැඳ විවාහ දිවියට එළැඹි චමිල හා අචලාගේ එකම අපේක්ෂාව වූයේ ඉක්මනින්ම තෙවැන්නෙකු පවුල වෙත එක්කර ගැනීමය. ආදරය දෝරේ ගලමින් පැවැති එම යුවළගේ අපේක්ෂාවන් ඉටු වන්නට වැඩි කාලයක් නොගියේය. අඟහිඟකම් ගේ මානයට හෝ ගෙන්වා නොගැනීමට තරම් ආර්ථික ශක්තියක් ව්‍යාපාරිකයකු ලෙස ගොඩනගාගෙන සිටි චමිල නීතිඥවරියක් වූ අචලා රැකියාවක නිරත වනවාටද අකමැති වූයේ ඇගේ ආදරය හා දැවටෙමින් සෑම මොහොතකම ඇය හා කල් ගෙවන්නට ලොබ බැඳි නිසාය. චමිල හා අචලා ගොඩනැගූ ආදර මන්දිරය සුන්දර කරන්නට එන දූ සිඟිත්ත පිළිගන්නට දෙදෙනාම බලා සිටියේ ඇඟිලි ගනිමින්ය. කුසට සත්මසක් වෙත්දී ඡායාරූප ටිකක් ගන්නට දෙදෙනාම කල්පනා කළහ. මංගල ඡායාරූප ගත් තම හිතවතාටම කතා කළ චමිල මහනුවර සුන්දර ස්ථාන කිහිපයකට ගොස් ඡායාරූප පෙළක් ගත්තේ උපදින්නට සිටින දූ සිඟිත්තට කවදා හෝ ඒවා පෙන්වන්නට ඕනෑ යැයි කියමිනි.....
දැන් සියල්ල අවසානය. චමිල, අචලා හා ඔවුන්ගේ දියණිය ඔනෙලාගේ දිවි ගමන නතර වී ඇත.ඒ කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතකය.මහනුවරට මහ වැසි ඇද වැටුණු පසුගිය 19 වැනි රාත්‍රියේ චමිල හා අචලා නින්දට ගියේ තමන්ගේ නිදන කාමරයට ඉහළින් තිබූ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ප්‍රාසාදය හිස මතට කඩා වැටේ යැයි සිහිනයකදු නොසිතාය .කඩා වැටුණු ගොඩනැගිල්ලේ කැබලි වලට යටවී චමිල,අචලා කැඳල්ල කුලුඳුලේ උපන් දියණියද සමඟ සුනු විසුනු වී ගියේ මොහොතකිනි. චමිල ප්‍රසාද් උපන්නේ 1985 වසරේය. 1987 ජූලි 31 දින අචලා ඒකනායක උපන්නාය.ඔවුන්ගේ කැදැල්ලට එක්වූ ඔනෙලා උපන්නේ මෙම වසරේ අගෝස්තු මස 01 දාය. ඔවුන් සියලු දෙනාගේ ජීවන ගමන නතර වූයේ පසුගිය 20 වැනි දින අලුයම එකම මොහොතකය. ඒ වනවිට ඔනෙලා මෙලොව එළිය දැක ගතකර තිබුණේ හරියටම දින 49 කි.
"චමිල හා අචලා ආදර සම්බන්ධයකින් විවාහ වුණේ. පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි ඒ දෙන්නගේ වෙඩින් එක තිබ්බේ. මම තමයි එයාලගේ වෙඩින් එකේ ෆොටෝ ගත්තේ. එයාලගේ දුව ඇත්තට ම හනිමූන් බේබි කෙනෙක්. චමිල අම්පාරේ උපන් කෙනෙක්. අචලා බණ්ඩාරවෙල. චමිල හොඳ ව්‍යාපාරිකයෙක්. කඩා වැටුණු ගොඩනැගිල්ලට පහළින් එයා හෝටලයක් පවත්වාගෙන ගියා. විවාහයෙන් පස්සේ එයාලා පදිංචිව සිටියෙත් හෝටලයේම ඉහළ මහලේ කාමරයක. දුව ලැබෙන්න ඉද්දී දෙන්නා ෆොටෝ ෂූට් එකක් කළා. ඒකේ ඡායාරූප ගත්තෙත් මමයි. දරුවා උපන්නට පස්සේ දෙන්නගෙම ලෝකය වුණේ ඔනෙලා. මේ සුන්දර ලෝකය අද සුනුවිසුනු වෙලා. මහා විනාශයක් කරපු අය අද නිදැල්ලේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියන සැකය අපිට තියෙනවා. මෙච්චර ලොකු ගොඩනැගිල්ලක් කඩා වැටුණම ඒකේ මොනතරම් බඩු තියෙන්න ඕනද? මෙයලා සිද්ධිය කලින් දැනගෙන ගෙදර තියෙන බඩු අරන් ගිහින් කියන සැකය අපිට තියෙනවා.ගොඩනැගිල්ල කඩා වැටෙන්න මොහොතකට කලින් ඉවත් වුණා කියන එක රංගනයක්. සී. සී. ටී. වී දර්ශන කිසිවක් එළියට එන්නේ නැහැ. නගර සභාව,පොලීසිය සිද්ධිය යට ගහනවා කියන එක තමයි අපේ හැඟීම. මේක අනවසර ඉදිකිරීමක්ද නැද්ද කියලා කියන්න නගර සභාවට සිද්ධිය වෙලා දින හයක් යනතුරුත් බැරිවෙලා." මියගිය චමිලගේ මිතුරෙකු වන ධනුෂ්ක අරවින්ද පැවසුවේය.
පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටෙත්දී චමිල හා අචලා දරුවා සමඟ නිදාසිටි කාමරයට යාබද කාමරයේ සිටියේ අචලාගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මියයි. ඇය එහි සිට ඇත්තේ ඥාති දියණියක ද සමඟනි. තම දියණියත්, බෑනාත් දරුවාත් නිදා සිටි යාබද කාමරය කොන්ක්‍රීට් තට්ටු කඩාවැටී කුඩු පට්ටම් වී යත්දී ඔවුන්ගේ ජීවිත බේරී තිබුණේ අනූනවයෙනි. එදින සිද්ධිය ජයන්ති මෙසේ විස්තර කළාය." දරුවා ලැබෙන්න ඉද්දී මම දුවට අපේ ගෙදර එන්න කිව්වා. මහත්තයා බිස්නස් කරන නිසා දෙන්නටම එන්න බැරි නිසා දුවත් එන්න බෑ කිව්වා. ඒ නිසා මම උදව්වට මෙයාලා ළඟට අවා.එදා දවසම වැස්සා.දුවයි පුතයි දරුවයි නිදා ගන්න කාමරේ තියෙන්නේ අපේ කාමරේට අල්ලලා. පුංචි දරුවා රෑට හදිස්සියේ හරි ඇඬුවොත් මට ඇහෙනවා. එතකොට මම දුවලා ඒ කාමරේට යනවා. එදා උදේ පාන්දර ලොකු ශබ්දයක් එක්ක පොළව දෙදරලා වගේ ගියා. ඇඟට මොකක්දෝ කඩාගෙන වැටුණා වගේ දැනුණා. මගේ ඇඳට උඩින් ගොඩනැගිලි කොටස් මූණ ළඟටම ඇවිත් තිබුණා. මොනවා වෙලාද කියලා හිතාගන්න බැරිවුණා. අවට අතගානකොට ෆෝන් එක අහුවුණා. මම 119 අංකයට කෝල් කරලා කරදරයක් කියලා කිව්වා. ටික වෙලාවකින් පොලීසිය ආවා. හමුදාවේ කට්ටියත් ආවා. ගිනි නිවන එකේ අයත් ආවා. ඒ අය ලණු දාලා මාවයි කාමරේ හිටිය අනිත් දුවයි උඩට ගත්තා. මගේ දරුවෝ හිටපු කාමරේ ඔක්කොම යටවෙලා තිබුණේ. මම හිතුවා ඇතුළේ ඒ අය හිරවෙලා ඇති ඉක්මනට ගත්තොත් ජීවිත බේරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයලා අපිව දාලා ගියා."
සිද්ධිය සැලවීමත් සමඟ මහනුවර පොලීසිය, යුද හමුදාව, නාගරික ගිනි නිවීම් ඒකකය හා ශ්‍රී දළදා මාලිගාවට අනුයුක්ත ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ක්ෂණිකව එම ස්ථානයට ළඟාවී තිබිණි. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත්කර යටවී සිටින අය බේරා ගැනීම අති දුෂ්කර කාර්යයක් විය. සුන්බුන් අතර සිරවී සිටි බිලිඳියගේ සිරුර සිද්ධියෙන් පැය තුනකට පසු සුන්බුන් අතරින් පිටතට ගැනීමට හැකිවිය. එකම මොහොතක එකම ස්ථානයකදී අවසන් සුසුම් හෙළූ චමිල හා අචලාගේ නිසල සිරුරු කොන්ක්‍රීට් කණු හා බිත්ති අතරින් මතුකර ගැනීමට පැය නවයක පමණ මෙහෙයුමක් දියත් කිරීමට නිලධාරීන්ට සිදු විය.
මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟ එහි ප්‍රමිතිය සම්බන්ධව දැඩි කතාබහක් ඇතිවිය.සැලසුමට පිටින් ගොස් එයට අමතර තට්ටුවක් එක්කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති රැස්වීමකදී අනාවරණය කළේ මහනුවර නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරු පාලිත අබේකෝන් ය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. "මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ නිම්නාකාර තැනක. ජල පහරක් ගොඩනැගිල්ලට පහළින් ගමන්ගෙන තිබෙනවා. මේ නිසා එහි පාදම හැරීමකට ලක්ව තිබෙනවා. භූමියේ ස්වභාවයට හා තත්ත්වයට ගැළපෙන ලෙස ඉදි කිරීම් සිදුකර නැති බව පැහැදිලිව පේන්න තිබෙනවා. එහි බර රඳවා තබා ගැනීමට කොන්ක්‍රීට් බීම් හා කොලම් වලට හැකියාවක් නොතිබූ නිසා ගොඩනැගිල්ල කඩා වැටී තිබෙනවා. මේක ස්වභාවික නාය යෑමක් නිසා සිදුවූවක් නොවෙයි. ඉදිකිරීමේ ප්‍රමිතියේ ගැටලුවක් නිසා ඇතිවූවක් බව කියන්න පැහැදිලි සාක්ෂි තිබෙනවා. ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර පූර්ව ලක්ෂණ මතුවෙන්න ඇති. ඒත් මෙවැනි ස්වභාවයේ ගිලා බැසීමකදී ක්ෂණිකව තමයි ලක්ෂණ මතුවන්නේ. මේ සිදුවීමත් එක්ක මේ භූමියේ යම් අස්ථාවර භාවයක් ඇති වෙනවා. ගිලා බැසීම සිදුවූ ගොඩනැගිල්ලට යාබද තවත් ගොඩනැගිලි හතරක් අවදානම් ලෙස අපි හඳුනා ගත්තා. ඔවුන් නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා."
අවදානම් ස්ථානයක ප්‍රමිතියෙන් තොර ඉදි කිරීමක් කරන තෙක් මහනුවර මහ නගර සභාව උඩබලාගෙන සිටියේද යන්න සම්බන්ධව ජනතාව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. මේ පිළිබඳ අප කළ කරුණු විමසීමකදී මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් දැක්වූ අදහස් මෙසේය." කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල මහනුවර මහ නගර සභාව මගින් අනුමත කළ සැලසුමට අනුව ඉදිකර තිබෙන්නේ ද යන්න සම්බන්ධව සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්, ඉංජිනේරු අංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒකාබද්ධව මෙම පරීක්ෂණය සිදුකර වාර්තාවක් සකස් කිරීමට නියමිතයි. මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් 2007 වසරේ ආරම්භ කර තිබෙනවා. ගොඩනැගිල්ලට යටවීම නිසා නිවැසියන් සතුව අනුමත කළ සැලසුම් මේවන විට නැහැ. නගර සභාවේ ඇති එම සැලසුම් අපි පරීක්ෂා කරනවා.
මුලින් අනුමත කළ තට්ටු ප්‍රමාණයට පසුව තට්ටු කිහිපයක් මේ අය එකතු කරලා තියෙනවා. ඒ සඳහා 2015 දී පමණ අපිට අලුත් සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. 2011 වසරේදී මේ මුළු ප්‍රදේශයම නාය යෑමට හැකි ප්‍රදේශයක් ලෙසට හඳුනා ගත්තා. 2011 වසරෙන් පසු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ නොමැතිව ගොඩනැගිලි ඉදිකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. නගර සභාව අනුමත කරන සැලසුමට පිටින් ගිහින් ඇතැම් අය ඉදි කිරීම් කරනවා. මේවා සියල්ල සොයා බලන්න අපිට ප්‍රමාණවත් සේවකයින් නොමැති ගැටලුව තිබෙනවා. මම හිතන්නේ නගර සීමාවේ ඉදිකිරීම්වලට අදාළ නීති රෙගුලාසි යම් වෙනස්වීම් වලට ලක්විය යුතු බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට ගියේය. ඉන් අනතුරුව මහාචාර්යවරයා දැක්වූයේ මෙවන් අදහසකි.
‘මහනුවර බෑවුම් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවාහි ගොඩනැගිලි රැසක් ඉදිකර තිබෙන බව පේන්වා.මේ කඩා වැටුණු ගොඩනැගිල්ල එවැනි අවදානම් සහිත ස්ථානයක තිබෙන එක් ගොඩනැගිල්ලක් විතරයි. මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා. මේ ගොඩනැගිල්ල පිහිටලා තිබෙන්නේ බූවැලිකඩ. මෙහි පොළොවේ තියෙන්නේ බූවැල්ල. මේක හදලා තියෙන්නේ ඒ බූවැල්ල මතයි. පොළව යට පාෂාණය තෙක් හාරලා ගොඩනැගිල්ලේ පාදම කම්බි වලින් ඇමිණුවා නම් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුරුදු 10 කට කලින් මහනුවර සිදුකර තිබෙන ඉදි කිරීම්වලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය අරගෙන නැහැ."
සිද්ධිය කල්තියා දැන කිසිවකුට හෝ නොදන්වා නිවසේ ඇති කළ බල්ලන් පවා රැගෙන පලා ගිය බවට නිවසේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේවරයකු වන අනුර ලෙව්කේට චෝදනා එල්ල වෙමින් තිබේ. නිවෙස කඩා වැටීමෙන් පසු අසල්වැසි හිතවතකුගේ නිවසේ තාවකාලිකව දරු දෙදෙනා හා බිරිඳ සමඟ ඔහු නවාතැන් ගෙන සිටියේය. තමන් මුහුණ දුන් අත්දැකීම වචනවලට ඔහු මෙසේ පෙරළුවේය. "මගේ දුව මේ පාර උසස් පෙළ විභාගය ලියනවා. ඒ නිසා එයා රෑ වෙනකල් පාඩම් කරනවා. අපිත් ගොඩක් වෙලාවට දුව නිදාගන්නකල් ඇහැරලා ඉන්නේ. එදා අපි ටීවී බලලා නිදාගන්න ගියා. එතකොට වෙලාව පාන්දර 1.30 ට විතර ඇති. පාන්දර එකපාරට ලොකු සද්දයක් ආවා. කොහෙන්ද කියලා හිතාගන්න බැරිවූණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර සමරසිංහ මහත්තයයි නෝනයි ටෝච් ගහලා අපට කතාකරලා කිව්වා පහළ කොන්ක්‍රිට් කණු කැඩෙනවා ඉක්මනට පැනගන්න කියලා. ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැනුණා. ටයිල් කැඩි කැඩී ඉස්සුණා. පුතා එතකොටම කෑ ගැහුවා, අප්පච්චි එළියට එන්න කියලා. මම ෂර්ට් එකක් හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළියට පැන ගත්තා. මම දුවගෙන යද්දි නෝනයි දුවයි පුතායි පාරේ. අපි වාහනෙන් යනකොටම වගේ ගේ කඩාගෙන ගියා. මේක මම පදිංචි වෙලා ඉන්න ගෙදර. නිසි ප්‍රමිතියට හදලා තියෙන්නේ. අපි මේක කල්තියා දැනගෙන කාටවත් නොදන්වා පැනගත්තා කියලා අභූත චෝදනා කරනවා. බල්ලො අරන් ආවා කියනවා. බල්ලො දෙන්නා හොයලා ගෙනත් දුන්නේ හමුදාවෙන්. ඒවා අමූලික බොරු. මේක අනුමත සැලසුමකට හදපු එකක්."
මහනුවර අවදානම් ස්ථානවල ඇති ගොඩනැගිලි පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ දස පුද්ගල කමිටුවක් පත්කර තිබේ. "මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ ගොඩනැගිල්ල අනවසර ඉදිකිරිමක්ද නැත්නම් සැලසුමට පිටින් ගොස් ඉදිකරන ලද්දක්ද කියලා සොයා බලනවා. කොහොම වුණත් මහනුවර නගර සීමාවේ මේ වගේ අවදානම් ස්ථානවල නිසි ප්‍රමිතියට හදපු නැති ගොඩනැගිලි රැසක් තිබෙනවා. නගරයේ ඉඳලා හන්තාන ප්‍රදේශය බැලුවොත් පේනවා කන්ද මුදුනට යනකල් හදලා තියෙන ගොඩනැගිලි. සමහර ඒවා ඇත්තටම තියෙන්නේ එල්ලිලා වගේ. එක් අයෙක් වැරැද්දක් කළොත් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ තවත් පිරිසකටයි. මේ අවදානම් සහිත ස්ථානවල ගොඩනැගිලි හදන්න අනුමැතීන් ගණනාවක් අවශ්‍යයි. සමහර තැන්වල හදලා තියෙන ගොඩනැගිලි දැක්කම කොහොමද මේ ස්ථාන වල ගොඩනැගිලි හදන්න අනුමැතිය දුන්නේ කියලා හිතා ගන්න බැහැ.ඒත් මේවා කඩා ඉවත් කරන්න තාමත් හැකියාවක් ලැබී නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මොකක් හරි ඛේදවාචකයක් වුණාට පස්සේ ටික කාලයකට නීති තදින් ක්‍රියාත්මක කරලා ඊට පස්සේ සියල්ල අමතක කරලා වැඩකරන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. මේකට නැවතීමේ තිත තබන්න ඕනෑ. "
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ගොඩනැගිල්ලේ හිමිකරු අදාළ ඉදිකිරිම්වලට අවශ්‍යය අනුමැතීන් ලබාගෙන තිබෙන්නේද සැලසුම් වලට පිටින් ඉදි කිරීම් සිදුකර තිබෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පවසයි. මෙම කරුණු තහවුරු කරගැනීමෙන් පසු හිමිකරු නීතියට පිටින් කටයුතු කර තිබෙන බව අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව ද ඔහු කීය.
"අවදානම් මට්ටමක තිබෙන ගොඩනැගිල්ලක් ස්ථාවර කරන්න ක්‍රම තියෙනවා. යම් කෙනෙකුට තමන්ගේ ගොඩනැගිල්ල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිකිරීම් ඉංජිනේරුවරයකු හමුවී අදහස් ලබාගත හැකියි.අපි මුලින්ම සැලසුම් කරලා ස්ථාවර ලෙස ගොඩනැගිල්ලක් හදනවා වගේ නෙවෙයි අස්ථාවර ගොඩනැගිල්ලක් යළි ස්ථාවර කිරීම. ඒකට ලොකු මුදලක් වැයවෙනවා." මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැලසුම්) ඩබ්ලිව්.එම්.ඒ වික්‍රමසිංහ පවසයි.
ඡායාරූප - රුවන් මීගම්මන සහ
ධනුෂ්ක අරවින්ද