විවිධ හේතු නිසා වසර ගණන් අනුන්ගේ රටවල සිරගත වූ මිනිසුන් ගැන ඔබ අසා ඇත. එසේ සිරගත වූවකුට දැනෙන අසරණකම වදනින් කිව නොහැක්කකි. එසේ නම් එසේ සිරගත වීමේ හැඟීම් වචනවලින් ප්‍රකාශ කළ නොහැකි සත්ත්වයකුගේ තත්ත්වය කෙසේ විය හැකිද? මේ කතාව එවැනි සත්ත්වයකු ගැන ය. ඒ, කාවන් නමැති හස්ති රාජයෙකි. වසර 35 ක් ශ්‍රී ලංකාවෙන් බැහැරව පාකිස්ථානයේ සත්වෝද්‍යානයක දිවි ගෙවමින් සිටි කාවන්ට දැන් සදහටම ශ්‍රී ලංකාව අහිමි වන තැනට කටයුතු යෙදී තිබේ. ඒ, කාවන් කාම්බෝජයට යැවීමට සත්ත්ව අවිංහිසා බලධාරීන් තීරණය කිරීම නිසාය.
කාවන් ගැන එහෙම කීවාට මේ කතාවේ අගක්මුලක් කියවන ඔබට නොවැටහෙනවා විය හැකිය. elephas maximus වර්ගයට අයත් කාවන් දැන් වසර 39ක් පමණ වන හස්තියෙකි. ලංකාවේ උපන් කාවන් වයස අවුරුදු 4ක් පමණ වද්දී ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී පාකිස්ථානයට යන්නේ මෙරටින් එරටට පිරිනැමුණු ත්‍යාගයක් ලෙසට ය. ඒ, 1985 වසරේදීය. ඉන්පසු කාවන්ගේ නවාතැන වන්නේ ඉස්ලාමාබාද්හි මුර්ග්සර් සත්වෝද්‍යානයයි. එහෙත් එහි කාවන්ගේ ජීවිතය සුවදායක එකක් වූයේ නම් නැත. පකිස්ථානයේ වනගත අලි නොමැති අතර සත්ත්ව උද්‍යාන කිහිපයක අලි ඇතුන් සිවු දෙනකු පමණක් ජීවත් වන බව පැවසේ. එම නිසා කාවන්ට ගෙවන්නට සිදු වූයේ අතිශය දුක්බර ජීවිතයකි. එය සිරකරුවකුට සමාන ජීවිතයක් කිවහොත් නිවැරදිය. ඔහු වෙනුවෙන් වෙන්ව තිබුණේ හස්තියකුට කිසිසේත් නොගැළපෙන තරම් කුඩා ඉඩකි. එහෙත් 1990දී කාවන්ට සුදුසු සහකාරියක් සොයා දෙන්නට එරට සත්ත්ව උද්‍යාන බලධාරීහු කටයුතු කළ අතර ඒ "සහේලී" නමැති කෙණරකි.
සාරිස්කා දිවි ධේනුව |
බිරියක් ලැබීම නිසා කාවන් ගේ ජීවිතය පෙර තිබුණාට වඩා සතුටින් පිරිණ. ඔහු ජීවත් වූ කුඩා ඉඩ සහේලි සමඟ සතුටින් බෙදා ගත්තේය. සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන නරඹන්නන්ට කාවන්- සහේලි ප්‍රිය දසුනක් විය. ඊට මූලික හේතුව පකිස්ථානයේ සිටි එකම ආසියානු අලියා කාවන් වූ නිසාය. එහෙත් හදිසියේ රෝගාතුර වූ සහේලි 2012 වසරේදී මිය යෑම නිසා කාවන් යළිත් අසරණ විය. පාළුව, තනිකම මෙන්ම සිරුර පෙළෙන දැඩි උෂ්ණත්වය දරාගැනීමට පමණක් නොව ලැබෙන දෙයකින් කුස පුරවා ගැනීමටද කාවන්ට සිදු විය. ඒ නිසා කාවන් ප්‍රචණ්ඩ වූ බවද පැවසේ. ඒ නිසාම 2000 වසරේ සිට කාවන්ගේ පාදවලට විලංගු දමා තිබූ බවද හෙළි වී ඇත. නමුත් එහෙත් කාවන් වෙනුවෙන් හඬක් නඟන්නට කිසිවකු සිටියේ නැත. තෑග්ගක් දුන් පසු යළි ඒ ගැන විමසුම් කරන සිරිතක් නැති නිසාදෝ මෙරට බලධාරීන්ද යළි කාවන් ගැන පකිස්ථානයෙන් විමසන්නට නොගියහ.
එහෙත් කාවන් කම්පා වූ හදවතක් ඔහු වෙනුවෙන් හඬ නඟන්නට තීරණය කරන්නේ එවැනි පසුබිමක් තුළදී ය. ඒ පකිස්ථානයේ කාවන් රඳවා සිටි සත්වෝද්‍යානයට ආ ඇමෙරිකානු පොප් ගායිකාවක වන චේර් ගේ නෙත කාවන් වෙත යොමු වීම නිසාය. සත්ත්වයකු වුවද කාවන් විඳින වේදනාව ඇය මැනවින් දුටුවාය. ඒ සැණින් ඇය ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් එක් කරගනිමින් කාවන් නිදහස් කර ගැනීමේ සටන ඇරඹුවාය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පරිසරවේදීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සත්වෝද්‍යානයට සහ එරට වන ජීවී බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමයි. එපමණක් නොව කාවන් නිදහස් කරගන්නට අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමද ඔවුන් ආරම්භ කළ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් ජනයා කාවන්ගේ නිදහස වෙනුවෙන් මේ අන්තර්ජාල පෙත්සමේ අත්සන් තබා තිබිණ. ඉස්ලමාබාද් මහාධිකරණය කාවන් වෙනුවෙන් ලබා දුන් තීන්දුව වූයේ වහාම කාවන් නිදහස් කරන ලෙසයි.
වසර 30කට අධික කාලයක් කාවන් හස්තියාට ක්‍රෑර ආකාරයෙන් සැලකීම 1890 දරන සත්ත්ව හිංසන පනත සහ 1979 වනජීවි සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමක් බවත් එබැවින් වහාම හස්තියා නිදහස් කළ යුතු බවත් එම තීන්දුවෙන් වැඩිදුරටත් සඳහන් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර කාවන් රඳවා තැබීමට සුදුසු ඔහුට සුව පහසුව සැලසිය හැකි සත්වෝද්‍යානයක් හෝ අලි ඇතුන් සිටිනා ස්ථානයක් පිළිබඳ දැනුම් දෙන ලෙසද එරට අධිකරණය පාකිස්තාන වනජීවී දෙපාර්තමේන්තුවට හා සත්වෝද්‍යාන බලධාරීන්ට නියෝග කළේය. එහෙත් කාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රායෝගිකව අසීරුතා මතු කළ කරුණු කිහිපයක් ම තිබිණි. එනම්, ගෘහස්ථ හස්තියකු වන කාවන් නිදහස් කළ යුත්තේ වනයකට ය. එහෙත් පාකිස්ථානයේ සිට දැවැන්ත හස්තියකු වන කාවන් මෙරටට ප්‍රවාහනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එම නිසා කාවන් යළි බාර ගැනීම ශ්‍රී ලංකාවට අසීරු කාර්යයක් වන්නට ඇත. කෙසේ හෝ අවසානයේ උපන් බිම අහිමි වූ කාවන් කාම්බෝජයට යැවීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක සිටින බව සත්වෝද්‍යානයේ වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ.
කාවන්ගේ ඉරණම එලෙස විසඳෙද්දී ශ්‍රී ලාංකික දිවියකුට එංගලන්ත සත්වෝද්‍යානයක් දැක්වූ අපූරු සැලකීමක් ගැන පසුගිය සතියේ වාර්තා විය. පසුගිය 16 වැනිදා එක්සත් රාජධානියේ නොර්ෆොක්හි බන්හැම් සත්ව උද්‍යානයේ දිවි ගෙවූ ශ්‍රී ලාංකික දිවියකු වන සාරිස්කා හදිසියේ මරණයට පත් විය. පසුගිය සති කිහිපය තුළ ඇය රෝගාතුර වී සිටි බව සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ සරිස්කා බරපතළ හෘද රෝගයකින් පෙළී ඇති බවයි. ඊට හේතුව සොයා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවද පැවසේ.
සාරිස්කා දිවි ධේනුවගේ පැටවෙක් |
සාරිස්කා නමැති එම දිවි ධේනුව පසුගිය ජුනි මාසයේදී පැටවුන් දෙදෙනෙකු බිහි කළ නමුත් අගෝස්තු මාසයේදී හදිසියේම එක් පැටවකු මිය ගොස් තිබේ. සාරිස්කා එංගලන්තයේ බන්හැම් සත්වෝද්‍යානයට ගොස් ඇත්තේ 2015 දීය. එතැන් සිට ඇය රැකබලා ගත් බන්හැම් සත්වෝද්‍යානයේ පාලකයන්ට සහ කාර්ය මණ්ඩලයට ඇයගේ මරණය විශාල කනස්සල්ලක් බව දැනගන්නට ලැබී තිබේ. ඔවුහු සාරිස්කාගේ මරණය ගැන වැඩිදුරටත් විමර්ශනය කරන අතර දැනට ජීවතුන් අතර සිටින ඇයගේ අනෙක් පැටවා සුරක්ෂිතව රැකබලා ගැනීමට වැඩි කැපකිරීමක් දරමින් සිටී.
මව අහිමි පැටවාගේ වර්ධනය ගැන එහිදී වැඩි සැලකිල්ලක් යොමු කර තිබේ. එපමණක් නොව මවගේ නම එම පැටවාට තබන්නටද සත්වෝද්‍යාන බලධාරීන් විසින් තීරණය කර තිබේ. ඊට හේතුව නොර්ෆොක්හි බන්හැම් සත්ව උද්‍යානය ශ්‍රී ලාංකික දිවියන් සුරැකීම සඳහා වන යුරෝපීය අභිජනන වැඩසටහනේ හවුල්කරුවකු වශයෙන් කටයුතු කිරීම ය. දිවියන්ගේ උප විශේෂ 9 න් එකකට අයත් මිය ගිය සරිස්කා දිවි ධේනුව ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් බැවින් සරිස්කා ගෙන් ඉතිරි වූ දිවි පැටවා සුරක්ෂිත කරගැනීමට සත්ත්ව බලධාරීන් කටයුතු කිරීම ප්‍රසංශනීය ය. කාවන් නම් ශ්‍රී ලාංකික හස්තියාට පකිස්ථාන සත්වෝද්‍යානය සැලකුවාට වඩා හාත්පසින්ම වෙනස් සැලකීමක් ලැබීමට තරම් සාරිස්කා දිවි ධේනුව වාසනාවන්ත වූයේ එලෙසිනි.