පුරා දින පහක් කොළඹ එකෙළි කරන යෞවනයේ ක්‍රීඩා සැණකෙළිය | Page 2 | සිළුමිණ

පුරා දින පහක් කොළඹ එකෙළි කරන යෞවනයේ ක්‍රීඩා සැණකෙළිය

තිස් දෙවැනි ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ කොවිඩ් 19 වසංගතය නිසා මේ වසරේ පැවැත්වීමට නොහැකි වුවද ලබන වසරේ (2021) දී මෙකී ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ප්‍රථමවරට වැඩිම තෑගි මුදල් සමඟින් දින පහක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ පවසයි. 

මේ අනුව තිස් දෙවැනි ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙකී තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට ආරම්භ කර තිබේ.

ක්‍රීඩා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතැනකට ගාල් කරලා දින තුනකදි මේ තරගාවලිය නිමා කිරීම සාර්ථක නොවන බව පවසන තෙෂාර ජයසිංහ, සාමාන්‍යයෙන් මෙතෙක් කල් කළේ දින තුනකට තරගාවලිය සීමා කරලාම පටන් ගන්නවා. අවසන් කරනවා. මේ ක්‍රමය සාර්ථක නෑ කියලා තේරෙනවා. ඒ නිසයි ලබන අවුරුද්දේ පවත්වන තිස් දෙවැනි ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ දින පහකට ගෙන යන්න තීරණය කළේ. දින දෙකක්ම විශේෂාංගවලට වෙන් කරන්න තීරණය කරලා තියෙනවා.

මේ අතර ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තණකොළ සහිත ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම සුදුසු නොවන බවද පවසන තෙෂාර ජයසිංහ, මලල ක්‍රීඩා ඉසව් අනිවාර්යෙන්ම සුගතදාස හෝ දියගම වගේ පහසුකම් තියෙන ක්‍රීඩාංගණවල පැවැත්විය යුතුයි. ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ අපේ රටේ පැවැත්වෙන දෙවැනි විශාලම ක්‍රීඩා උලෙළයි. මේ තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තණකොළ සහිත ක්‍රීඩාංගණවල තරග කරන එක සුදුසු නෑ. මේ ගමෙන් නගරයෙන් මතුවන ක්‍රීඩා අංකුරවලට කෘත්‍රිම ධාවනපථවල අත්දැකීම් ලබා දිය යුතුයි. එහෙම නැතුව ඔවුන්ට ඉදිරියට යන්න අමාරුයි.

මේ අතර තිස්තුන්වැනි ජාතික යොවුන් ක්‍රීඩා තරගාවලිය ද ලබන වසරේ දෙසැම්බර් මාසයේම පැවැත්වීමට ද බලාපොරොත්තු වන බව තෙෂාර ජයසිංහ පවසයි. මින් ඉදිරියට පැවැත්වෙන ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ විශේෂාංග රැසක් එක් කරමින් පැවැත්වීමට තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය ලැබී ඇතැයිද හෙතෙම පවසයි. මේ අතර දැනට ජාතික තරුණ සේවා සභාව, වොලිබෝල් සංචිතයට අමතරව, කබඩි, නෙට්බෝල්, පාපන්දු සහ කාන්තා රග්බි සංචිත අලුතින් ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබේ.

ඒ අතර දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩාවට දක්ෂ තරුණ තරුණියන්ට ක්‍රීඩා ප්‍රවේශය සඳහා ‘ටැලන්ට් හන්ට්’ නමින් අලුත් වැඩසටහනකට අතගසා තිබේ. මේ සඳහා වයස අවුරුදු 16 - 25ත් අතර තරුණ තරුණියන්ට සහභාගිවීමට අවස්ථාව හිමිවෙයි. මේ තුළින් මතුවන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා සංචිත සඳහා ඇතුළත්වීමට අවස්ථාව හිමිවෙයි. මේ ක්‍රීඩා පුහුණු සංචිත පවත්වාගෙන යාමට සහ මෙහෙයවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පූර්ණ දායකත්වය සපයයි. ජාතික තලයට දක්ෂයකු හඳුන්වා දීම මෙහි මූලික අරමුණයි.

ඡායාරූපය - රංජිත් අසංක

Comments