සිංහ-බංගලි ටෙස්ට් තරගාවලිය වැට උඩ | සිළුමිණ

සිංහ-බංගලි ටෙස්ට් තරගාවලිය වැට උඩ

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය ද පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

මෙම තරගාවලියට එක්වන බංග්ලාදේශ ක්‍රීඩකයන් දින 14ක කාලයක් කිසිදු පුහුණුවීම් කටයුත්තක නොයෙදෙමින් නිරෝධායනයට ලක් විය යුතු බවට මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී ඇතැයි සඳහන්වේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය දින හතකට යෝජනා කරන නිරෝධායන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූල නොවන හෙයින් එරට ක්‍රිකට් කළමනාකාරීත්වය අපේක්ෂා කරන පිළිතුර ලබාදීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කිරිම අනිවාර්යයි. ක්‍රිකට් කියලා අපට, රටට අවදානමක් ගන්න බෑ. අප මේ තත්ත්වය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. ඒ අය මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගන්න ඕනෑ. ඔවුන් අපේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූල විය යුතුයි. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව බංග්ලාදේශ ක්‍රිකට් පිලේ පැමිණීම පිළිබඳ විශ්වාස කරන්න අපහසුයි

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයන් ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් නවාතැන් ගන්නා හෝටලයේම රැදී සිටිය යුතුය.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 24 වැනිදා මහනුවර දී ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තරගාවලියේ කාලසටහන සහ ජෛව ආරක්ෂක සැලසුම නිල වශයෙන් ඉදිරිපත් කිරීමට සමත් වී නැතැයි වාර්තාවෙයි.

බංග්ලාදේශය මේ වන විට සූදානමින් සිටින්නේ නිරෝධායන කාලසීමාව තුළ දී පුහුණුවීම් සහ සංචිතයේම ක්‍රීඩකයන් අතර පුහුණු තරග ක්‍රීඩා කිරීමටය.

“ඔව්. ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු නොකර දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට එරට ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි අපට තොරතුරු වාර්තා වුණා. තවත් බොහෝ දේ විවිධ පාර්ශ්වයන්ගෙන් අපට දැනගන්නට ලැබුණා. නමුත් ඔවුන් මෙය නිල ජෛව ආරක්ෂක සැලසුම සහ කාලසටහන පැහැදිලි කරන්නේ නැහැ. අපි තරග සංචාරය ගැන අවසන් තීරණයක් ගන්නේ ඔවුන්ගේ සැලසුම් සහ තරග කාලසටහන ලැබුණට පස්සේ. අපි ඒක ඉදිරි දින කිහිපයේ දී බලාපොරාත්තුවෙනවා.”යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සඳහන් කර තිබුණි. මේ අතර මූලික සූදානමකින් තොරව ටෙස්ට් ශූරතාවලියට තරග කිරීමට බංග්ලාදේශයට නොහැකි බව එරට මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ප්‍රකාශ කරයි. “අපි අවසන් වරට කතා කළ විට, බංග්ලාදේශයේ කොවිඩ්19 තත්ත්වය අනුව ශ්‍රී ලංකාව සාපේක්ෂව ආරක්ෂිත යැයි අපට හැඟුණා. රෝගීන් සංඛ්‍යාව ඉතා අඩුයි . ඔවුන් සිය දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා තියෙන්නේ. එය පාලනය කර ගත හැකි යැයි අපි හිතනවා.

Comments