කැටවත්තට බසයක් ගන්න ගම්මුලාදෑනි විඳි දුකේ අමරණීය මතකය | සිළුමිණ

කැටවත්තට බසයක් ගන්න ගම්මුලාදෑනි විඳි දුකේ අමරණීය මතකය

ව පළාතේ ඈත එපිට කඳු වළලු අතරට මැදිව පිහිටි අති දුෂ්කර ගම්මානයකි. කැටවත්ත නම් වන මේ ගම්මානයට පැමිණීමට නම් බදුල්ලට පැමිණ මහියංගණ මාර්ගයේ කිලෝ මීටර 30 ක් ගිය තැනදී මුණගැසෙන මීගහකිවුල හන්දියෙන් දකුණට විහිද යන පටු තාර පාරේ තවත් කිලෝ මීටර12 ක් පැමිණිය යුතුය. මේ ගමේ නායකයා වූ අප්පුහාමි ගම්මුලාදෑනිය. ඔහු ගම්මුන්ට නායකත්වය දුන්නා පමණක් නොව ගමේ අනාගතයට හෙට ලොව දකින්නට මංපෙත් විවර කළේය.

එහෙත් මේ ගමට හරිහමන් මගී ප්‍රවාහන සේවාවක් නැත. මේ සම්බන්ධයෙන් ගම්පතිවරයා ද පසුවුයේ බලවත් කම්පාවකිනි. ගමට ආසන්නම නගරය වූයේ මහියංගණයයි; අනෙක් පසින් බදුල්ලයි. දහසකුත් එකක් උවමනා එපාකම් වෙනුවෙන් ගම්මුන්ට නගරය වෙත යාමට ඔවුනට සිදුවුයේ පා ගමනිනි.

බස් ජනසතුව සමඟ ඇති වූ ප්‍රවාහන පුනරුදය අප්පුහාමි ගම්පතිතැනගේ කනටද වැටුණේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ගම්පතිවරයා ගමට බස්රථයක් ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් සකස් කරගෙන එවක බලයේ පැවති රජයේ ප්‍රදේශයේ නියෝජිතයා හමුවට ගොස් කරුණු පැහැදිලි කර ලිපියද බාර දුණි. මන්ත්‍රීවරයාද මුලාදෑනියා ගෞරවයෙන් පිළිගෙන සැලකිලි දක්වා ලිපියද පිළිගෙන කාරණාව ඉටු කරදීමට මහන්සි ගන්නා බවට පොරොන්දු වූ නමුත් එයත් එක් පොරොන්දුවක් පමණක් විය. එහෙත් අධෛර්යට පත්වුයේ ඔහු නොවේ. ලිපියේ පිටපත් කීපයක්ම සිය ජාතික ඇඳුමේ කබා සාක්කුවට ලාගෙන හිතවත් ගැමියන් කිහිප දෙනෙකුද කැටිව පයින්ම කඳු නැඟ බසිමින් පළමුව මහියංගණ ඩිපෝවට ගියේය.

"කැටවත්තට මොන බස්ද යන්න පාරක්වත් නෑ"

ඉල්ලීමට ලැබුණු පිළිතුරය. ඔවුහු ඊළඟ දවසේ පාන්දරින්ම බදුලු ඩිපෝවට ගියහ. එහි පිළිතුරත් එවැනිම විය.

"කමක් නෑ මේ ලියුම බාර ගන්නකෝ" ඩිපෝ දෙකේ අධිකාරීවරුන්ට ලිපිය බාර දුන් ගම්පති ඉන් නොනැවතී ඉඩ ලද සෑම අවස්ථාවකදීම එ් ගැන සොයා බැලීය. කල්යනවිට ඔහු සමඟ එකතු වූ පිරිස හැලී ගම්පතිතැන පමණක් ඉතිරිවිය. දිනක් ඔහු තනිවම බදුලුගිය අවස්ථාවක හෝටලයකට ගොඩවිය. මේ කාලය වනවිට ලංකාවේ හතර අත ස්ථාපිත කර තිබූ ලංගම ඩිපෝ මඟින් දුර ගමන් සේවා ආරම්භ කර තිබිණි. පානදුර ඩිපෝවෙන් පටන්ගෙන තිබු පානදුර-මඩකලපුව(බදුල්ල හරහා)බසයද මගීන්ට තේ පානය සඳහා හෝටලය අසල නවතා තිබිණි. ගම්පතිතැනද ඉඳගෙන තිබුණේ මඩකලපු බසයේ රියදුරා තේ පානය කරමින් සිටි මේසයේමය. දෙදෙනා අතර ආගිය කතා විමසීමේදී පොදු කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන මේ මිනිසා දෙස දයාවෙන් බැලූ රියදුරු තැන අවසානයේ ගම්පතීගේ ලිපිය රැගෙන පිටවිය.

ඉන්පසුව සෑම දිනකම මඩකලපුව බසය එන වේලාවට බදුල්ලට ගිය ගම්පති බස් රියදුරු මුණගැසීමට බලා සිටියත් ඉටුනොවීය.

ඒ කාලයේ දුරගමන් සේවා බස්රථවල රියදුරැ කොන්දොස්තරවරු දින14න් 14ට රාජකාරි මාරැවීම් සිදුවෙයි. කෙසේ වෙතත් ගම්පතිතැනට දින කිහිපයකට පසු එම රියදුරු හමුවිය. දින, සති ගෙවුණත් ඉල්ලීම ඵලදරන බවක් පෙනෙන්නට නොවිනි. මේ අතරතුර වට වැස්සෙන් මාර්ගය සේදී ගොස් පෙර තිබු සේම වළගොඩැලි මතුවිය. දිනක් වළගොඩැලි මතින් ආ කබල් ජිප් රථයක් ගුරුපාර අවසන්වන ගම්පතිතැනගේ නිවෙස අසල නතර කෙරිණි.

"අපි ලංකා ගමනාගමන මණ්ඩලයෙන්. ගමට බස් එකක් ඉල්ලලා තිබුණා. පාර හොඳද බලන්නයි ආවෙ". ගම්පතිතැනගේ මුවට ලොකු සිනාවක් ආවේය. එදා රාත්‍රිය ගම්මුලාදෑනි තැනගේ නිවසේ නවාතැන් ගත් පිරිස පසුදින ආපසු යාම⁣⁣ට සමු ගන්නාවිට මුලාදෑනිතැනගේ දෑස් අග කඳුළක් රැඳී තිබිණි.

තවත් මාස දෙකක් පියාඹා ගියේය. දිනක් වළගොඩැලි හැදී ගල්මතුව තිබු මාර්ගයේ පැමිණි කුඩා ප්‍රමාණයේ තනි දොරේ බසයක් ගම්පතිතැනගේ කඩය අසල නතර කෙරිණි. පානදුර-බදුල්ල හරහා කැටවත්ත ලෙසට නම සඳහන්ව තිබූ මෙහි ඉදිරිපස හා පසුපස පහළ දෙකෙළවර පානදුර ඩිපෝව ලෙසට පින්තාරු කර තිබුණි. ගැමියන්ට එදා රජ මඟුල්ය. ගැමි ලියන්ගේ රබන් හඬ මහ රෑ වනතුරු ඈත කඳුවළල්ලේ හැපී දෝංකාර නැංවීය.

එදා සිට අද දක්වා නොකඩවා වසර 56 ක් පානදුර ඩිපෝවෙන් මෙම සේවාව පවත්වාගෙන යමින් එපමණ කලක් දවසක් නෑර යන එන දුරගමන් සේවාව ලෙසට පානදුර-කැටවත්ත බසය සේම පානදුර ඩිපෝවද ඉතිහාස ගතවීය. එදා මෙන්ම අදත් කැටවත්ත ගැමියෝ බසයට මෙන්ම ⁣එහි සේවකයන්ටද පුද සත්කාර කරති. බස්රථයත් සේවකයනුත් මේ වනවිට ගම්මුන්ගේ නෑදෑ සහෘදයන් මෙනි. කැටවත්තේ බස්රිය නවතන තැනින් එපිට තවත් දුෂ්කර ගම්මාන රැසකි. මොරහැල, සුරියගොල්ල, මලාබඩගල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල දක්වා ⁣බසයට යාමට අවසර නැත්තේ මාර්ගයේ අබලන් නිසාය. මෙම ගම්මානවල වෙසෙන්නෝ තම වගා අස්වනු බසය ළඟට රැගෙන එන්නේ තවලම් වලිනි.

අද අප්පුහාමි මුලාදෑනිතැන මෙලොව හැර ගොසිනි. ඔහුගේ ආදරණීය බිරිඳ බණ්ඩාර මැණිකේ වියපත් වුවත් අදටත් සුවෙනි. මේ වන විට ඇයගේ ඇස් පෙනීම අඩු වුවද මතකය අලුත්ය. පියාගේ වගකීම ගෙන කටයුතු කරන ගම්පතිතැනගේ වැඩිමහල් පුතු ධනපාල මුදලාලි විසිනි. දැන් කැටවත්තද පෙරට වඩා දියුණුය. පාරට තාර වැටී ඇත. දැන් බස් රථය මොරහැල දක්වා ගමන් කරයි.

වසර15ක් පානදුර-කැටවත්ත බස්රථයේ රියදුරෙක් ලෙසින් සේවය කළ සමන්ත ගුණසේකර එදා මේ බසයේ රාජකාරියේ යෙදිණි. "හරිම සතුටෙන් රාජකාරි කරපු කාලයක්. හැමදාම අපි කැටවත්තට යන්නෙ නෑදෑයන් බලන්න යනව වගෙයි. ගමේ හැම පොදු කටයුත්තකදීම අපි සහභාගි වෙනව. බස් එකත් සමඟම ඇතිවුණු ඒ බැඳීම තවමත් එහෙමමයි. බණ්ඩාර මැණිකේ මෑණියන්ට බස් සේවකයන්ට කන්න බොන්න දීපූ පිනම ඇති නිවන් දකින්න."

 

Comments