ප්‍රතික්ෂේප කෙරෙන ඡන්ද පත්‍රිකා | සිළුමිණ

ප්‍රතික්ෂේප කෙරෙන ඡන්ද පත්‍රිකා

අගෝස්තු මස 05 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිසමේ සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර, එස්. රත්නජීවන් එච්. හූල් යන අයගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

01 . 2020 අගෝස්තු මස 05 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමා කැමති පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ නම ඉදිරියෙන් කතිර (“X“) යොදා, ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සිදුකළ යුතුය.

02 . ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයන් තුන්දෙනකුට නොවැඩි අපේක්ෂකයන් ගණනකට, මනාප අංක ඇතුළත් කොටු තුළ අදාළ අංක මත කතිර (“X“) ලකුණක් යෙදීමෙන් ස්වකීය මනාප සලකුණු කළ හැක.

03 . ඡන්ද ගණන් කිරීමේ දී, ප්‍රතික්ෂේප කෙරෙන ඡන්ද පත්‍රිකා :

3.1 කිසිම දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය සලකුණු කර නොමැති හෝ

3.2 පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට ඡන්දය සලකුණු කර ඇති හෝ

3.3 ස්වාධීන කණ්ඩායම් එකකට වඩා වැඩි ගණනකට ඡන්දය සලකුණු කර ඇති හෝ

3.4 පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනක හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනක හෝ පක්ෂ හා කණ්ඩායම් සංකලනයකට හෝ ඡන්දය සලකුණු කර ඇති හෝ

3.5 ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ඡන්ද පත්‍රිකාව මත ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් හෝ

3.6 ඡන්ද සලකුණු කර ඇත්තේ කුමන පක්ෂයකට/ස්වාධීන කණ්ඩායමකටදැයි යන්න අවිනිශ්චිත වේ නම් හෝ එවැනි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරේ.

04. ඡන්දය නිසි ලෙස සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීමේ දී සලකා බලනු නොලැබේ : 

05. මනාප ගණන් කිරීමේ දී වලංගු නොවන ඡන්ද පත්‍රිකා:

5.1 කිසිම අපේක්ෂකයකුට මනාප සලකුණු කර නොමැති

හෝ

5.2 අපේක්ෂයන් තිදෙනකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් මනාප සලකුණු කර ඇති

හෝ

5.3 මනාප සලකුණු කර ඇත්තේ කුමන අපේක්ෂකටදැයි අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීම සඳහා වලංගු නොවේ.

Comments