දකුණෙන් බිහිවෙන නව නිපැයුම් රැල්ල | සිළුමිණ

දකුණෙන් බිහිවෙන නව නිපැයුම් රැල්ල

 

සිංහලයෝ, උණුකිරිම, තැම්බීම බැදීම හා දිය ගෙන ඒම පිණිස විවිධ මැටි බදුන් තැනීමෙහි දක්ෂයෝය „ සිංහලයන්ගේ කර්මාන්ත ගැන රෝබට් නෝක්ස් එදා හෙළදිව ග්‍රන්ථයේ එසේ සඳහන් කොට ඇත්තේය. හැළිය, කළස වළද යනු සැම හැළිංවලටම භාවිත කරන පොදු වචනයකි. සැබවින්ම සිංහලයන්ගේ විවිධ උත්සව, ගෘහ නිර්මාණ සහ ගේ දොරකටයුතු සඳහා භාවිත කරණ මැටි භාණ්ඩ වර්ග බැලුබැල්මට බෙහෙවින් විවිධය. නා නා මාදිලියේ විවිධ මැටි භාණ්ඩ සැදිමට අපේ ඇත්තන් අතිතයේ සිට දක්ෂයෝය. ඒ කෙසේ වුවද මේ වනවිට මැටි කර්මාන්තය අභාවයට යමින් පවතින කර්මාන්තයක් බවට පත්ව තිබේ.

පසුගිය යහපාලන රජය දේශීය කර්මාන්ත නඟා සිටුවීමට කටයුතු කළේ නැත. දේශීය කර්මාන්ත වලපල්ලට ඇද දැමීමට කටයුතු කළා විනා එම කර්මාන්ත කරුවන් දිරිගැන්වීමට ක්‍රියා නොකළහ. දේශීය කර්මාන්ත සඳහා රජයේ මැදිහත්වීමක් නොතිබුණි. මේ නිසා මැටි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ දුන්හ. ඇතැමුන් මෙකී කර්මාන්තයෙන් ඉවත්වුහ. සැබවින්ම පසුගිය යහපාලන රජයට දේශීය කර්මාන්ත රැකගැනීම හා ඒ සඳහා අනුග්‍රහය ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් නොවිය. වතුර බෝතලයේ සිට ඇල්පෙනෙත්ත ඉදිකට්ට පවා විදේශිය රටවලින් ආනයනය කිරිමට කටයුතු කරනු ලැබීය. දකුණු පළාතේද කුඹල් කර්මාන්තයේ නිරත වීමෙන් විශාල පිරිසක් තම බඩවියත සරි කරගනිති. කොරෝනා වසංගතයත් සමඟ මොවුන් ද ගැටලු රැසකට මුහුණ පෑහ.

කෙසේවුවද අභාවයට යමින් පවතින දේශීය කර්මාන්ත යළි රැකගැනීම සඳහා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය හා දකුණු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ඉදිරිපත් වී තිබේ. ඒ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ ගේ පුර්ණ සහයෝගය හිමිවී තිබේ. මෙකී ආයතනවල මැදිහත් වීමෙන් මිටියාගොඩ රතු මැටි නිමවුම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත්තේය. මීටියාගොඩ කොහොමත් මැටිවලට ප්‍රසිද්ධ පළාතකි. ඒ විතරක් නොව මිටියාගොඩ ගැන සඳහන් කරනවිට අපේ මතකයට එන්නේ චන්ද්‍ර පාෂාණය. රතු මැටි නිමවුම් මධ්‍යස්ථානයේ මුලදී සාදනු ලැබුවේ ගෑස් වළං පමණි. කෙසේවුවද මේ වනවිට සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන මැටියෙන් සැදූ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරිම අරඹා තිබේ. වත්මන් ආණ්ඩුකාරවරයාගේ උපදෙස්මත දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති නිලංග හෙන්දවිතාරණ ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙකී කර්මාන්තය නවීකරණය කොට ඇත. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර කර්මික සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබේ.

දකුණු පළාතේ ඇති දේශිය කර්මාන්ත යලි නගා සිටුවිම සදහා උදව් පදව් කිරිම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ බලාපෙරොත්තුවයි. මෙකි කර්මාන්තවලට යලි පණදිම සදහා ආණ්ඩුකාරවරයා තුල ඇත්තේ දැඩි උනන්දුවකි. ඕනැකමකි. මිටියාගොඩ රතුමැටි නිමවුම් ප්‍රදර්ශනාගාරය පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිරික්ෂණය කළේය. එහිදි ආණ්ඩුකාරවරයා පැවසුවේ දේශීය කර්මාන්ත රැකගැනීම වත්මන් අාණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් බවයි.

ගෑස් වළං, විසිතුරුභාණ්ඩ, මැටිපහන් ඕකිඩ් මල්බදුන්, විදුරු,පිගන් භාණ්ඩ, වෙඩින් ඇසුරුම්, ටෙරාකොටා ආදි නිෂ්පාදන මෙකී මධ්‍යස්ථානය තුළ සිදු කෙරේ. මේ භාණ්ඩවල ඇති විශේෂත්වය වන්නේ කිසිදු රසායනික අලේපනයක් මෙම භාණ්ඩවල ආලේප නොකිරිමයි. කොටින්ම කිවහොත් මෙවා පාරිසරික හිතකාමී නිෂ්පාදනය. වසරකට මැටිපහන් ලක්ෂ 06ක් පමණ මෙහි නිෂ්පාදනය කරණු ලබන අතර නිෂ්පාදනය කරනු ලබන වළං සංඛ්‍යව 6000කට අධිකය. මෙකි මධ්‍යස්ථානයේ නිමවුම් පළාත් කර්මාන්ත අමාත්‍යංශයට අයත් රුහුණු විස්කම් අලෙව්සැල් හරහා අලෙවි කෙරේ. මේ තුලින් රැකියා අවස්ථාවන්ද නිර්මාණය වී තිබේ. ඒ විතරක් නොව මෙකි මධ්‍යස්ථානය තුළ ඉකුත් සතියේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරිමට දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය මගින් පියවර ගනු ලැබීය.

අලුතෙන් ආරම්භකරණු ලැබු පොල්තෙල් නිෂ්පාදනාගාරය ගැන කාර්මික සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සම්බන්දිකාරක නිශාන්ත චතුරංග මෙසේ කිවේය.

අධිකාරිය මගින් මේ සඳහා රුපියල් ලක්ෂ 10කමුදලක් ලබා දුන්නා. පිරිපහදු කරනු ලැබු පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කිරිම අපි ආරම්භ කළා. යන්ත්‍රානුසාරයෙන් තමයි පොල්තෙල් සිඳීම සිදුකරන්නේ. පැයකට තෙල් ලිටර් 50ක් විතර නිෂ්පාදනය කරන්න පුළුවන්. පොල්කුඩු වලින් පුනක්කු නිෂ්පාදනය කරනවා. අපේ අධිකාරිය මගින් පාලනය වන රිදිගම මත්ස්‍ය බිජ අභිජනන මධ්‍යස්ථානයේ මත්ස්‍ය පැටව් සඳහා කෑම වශයෙන් ඒවා ලබාදෙනවා. සභාපතිතුමා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ සිට කම්කරුවා දක්වා සියලු සේවකයින් කණ්ඩායමක් වශයෙන් වැඩකරනවා. ඒ නිසා තමයි දේශීය කර්මාන්ත නගා සිටුවන්නට අපේ අධිකාරියට මැදිහත්වීමට හැකිවෙලා තියෙන්නේ. දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති නිලංග හෙන්දවිතාරණ මෙසේ කිවේය. දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය පළාත් සභාවට සුදු අලියෙක් කියලා වසා දමන්න තිබු ආයතනයක්. ඒ කාලයේ එහෙම පළාත් සභාවට යෝජනාවක්ද ආවා. නමුත් අපි කණ්ඩායමක් වශයෙන් වැඩ කළා. කම්කරුවන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නවා. අපේ අරමුණ තමයි දේශීය කර්මාන්ත රැකගැනීම. දේශීය කර්මාන්තකරුවන් නගාසිටුවීම තමයි අපේ බලාපොරොත්තුව. ඒක අභියෝගයක්. පොල්තෙල් නිෂ්පාදනාගාරයක් අපි ආරම්භ කළා. ඉදිරියේ දි ගොවිපොළක් ආරම්භ කිරිමට කටයුතු කරනවා.මැටි වලින් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළොත් හොද මිලක් ලබා ගන්න පුළුවන්. දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් තමයි එම නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපිට හොද නිර්මාන කරුවන් ඉන්නවා. ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළද පොළක් තිබිය යුතුයි. ඒ සදහා මැදිහත්වීමටත් අපි බලාපොරොත්තුවෙනවා. සුදු අලියෙක් බවට පත්ව තිබු දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය මේ වනවිට ආදායම් උපයන ආයතනයක් බවට පත්වෙමින් තියෙනවා.

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ජයසිංහ මහතා මෙකි අධිකාරිය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරිම සදහා දැඩි කැපවිමෙන් කටයුතු කරණ නිලධාරියෙකි. ඔහු අපිට කිවේ මෙවැනි කථාවකි.

දේශිය කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන සදහා වෙළදපොළ පහසුකම් හා තාක්ෂණික දැනුම අපේ අධිකාරිය මගින් ලබා දෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරලා අධිකාරිය මගින් ලාභයක්ද උපයාගන්නවා. ඉදිරියේ දි රන්න ප්‍රදේශයේ දි ලුණු සංස්ථාව සමග එකතුවෙලා ලුණු පැකට් කිරිමේ වි්‍යපෘතියක් ආරම්භ කිරිමට සැලසුම්කොට තියෙනවා. දේශිය කර්මාන්ත නගා සිටුවන්න පුළුවන්. පසුගිය කාලයේ එම කර්මාන්තවලින් හරියට වැඩ අරගෙන නැහැ. මේ දිනවල අලුත් වි්‍යාපෘති අපි ආරම්භ කරමින් යනවා.

දේශිය කුළුබඩු එක්ලස් කොට නිමි භාණ්ඩයක් විදියට වෙළදපොළ වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරණවා.අපේ නිෂ්පාදන ගොඩක් දැනට කෘෂිකාර්මික වෙළදසැල්වල තියෙනවා. සභාපතිතුමාගේ සිට සියලුදේනා කණ්ඩායමක් වශයෙන් වැඩකරණවා. මේ වනවිට අපේ ආයතනය ස්වාධිනව නැගි සිටිමේ තත්වයට පත්වෙමින් තියෙනවා යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

Comments